32 C
Colombo
Wednesday, October 27, 2021
- Advertisement -spot_img

වැටුප් අරගලයට මුවා වී විදුහල්පතිවරු කඩකළ පුරවැසි අයිතිය

Must Read

ඔන්ලයින් අධ්‍යාපනය ගැන තොරතුරු විමසූ පාසල් 229කින් තොරතුරු ලබාදී ඇත්තේ පාසල් 12ක් පමණයි

තම වැටුප් අයිතිය ඉල්ලන විදුහල්පතිවරුන් තොරතුරු දැනගැනීමේ පුරවැසි අයිතියට පිටුපායි.

බොහොමයක් විදුහල්පතිවරුන් තොරතුරු පනත ගැන දන්නේ නෑ.

තොරතුරු ඉල්ලූ කලාප අධ්‍යාපන කාර්යාල 25කින් තොරතුරු ලබාදී ඇත්තේ 3ක් විතරයි.

   දිවයිනේ පාසල් තුළ 2021 මැයි මස 03වන දා සිට ජුලි 22 දක්වා කාලය තුලදී  මාර්ගගත ක්‍රමය ඔස්සේ පාසල් දරුදැරියන් හට  අධ්‍යාපන කටයුතු සිදුකළ කාල සටහන් හා විස්තර ඉල්ලා දිවයිනේ දිස්ත්‍රික්ක 08ක පාසල් 229ක් සඳහා තොරතුරු දැනගැනීමේ පනතට අනුව තොරතුරු ඉල්ලා යොමුකළ තොරතුරු ඉල්ලීම් සඳහා නියමිත කාලය තුලදී තොරතුරු ලබාදීමට හෝ නිසි ප්‍රතිචාර දැක්වීමට සමත්වී ඇත්තේ පාසල් 15ක් වන අතර 214ක් ම ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වමින් පුරවැසියාගේ තොරතුරු දැනගැනීමේ  අයිතියට පිටුපා තිබේ.

   එමෙන්ම ඉහත ප්‍රතිචාර දැක්වූ පාසල් 15 අතරින් තොරතුරු ලබාදීමට කටයුතු කර ඇත්තේ පාසල් 12ක් පමණ වන අතර එම තොරතුරු ලබාදුන් පාසල් වන්නේ  හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ශ්‍රී ලංකා සිංගප්පූරු මිත්‍රත්ව විද්‍යාලය ,මාතර දිස්ත්‍රික්කයේ මාතර රාහුල විද්‍යාලය, ශාන්ත සර්වේසස් විද්‍යාලය, ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රිස්තු දේව පිරිමි විද්‍යාලය, සිරිධම්ම විද්‍යාලය, කොළඹ දිස්ත්‍රික්කයේ දේවි බාලිකා විද්‍යාලය , මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර  උසස් බාලිකා විද්‍යාලය, ශ්‍රී රාහුල විද්‍යාලය, පුෂ්පදාන බාලිකා විද්‍යාලය, බදුල්ල දිස්ත්‍රික්කයේ කුඩා කුසුම් බාලිකා මහා විද්‍යාලය, හල්පෙ ජාතික පාසල, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කරුක්කන්කුලම විජයබා ම.වි. යන පාසල් පමණක් වේ.

  මෙම පාසල් 12 අතරින් ද ඉල්ලූ  ආකෘතියට අනුව නිවැරදිව තොරතුරු ලබාදීමට කටයුතු කර ඇත්තේ මාතර රාහුල විද්‍යාලය , ගාල්ල ක්‍රිස්තු දේව පිරිමි විද්‍යාලය, බදුල්ල කුඩා කුසුම් බාලිකා මහා විද්‍යාලය, පමණකි.

 ලංකාවේ දරුදැරියන් හට කොරෝනා වසංගත තත්වය හමුවේ  පාසල් අධ්‍යාපනය මග හැරුණු අතර ඒ සඳහා එකම විකල්පය වී තිබුණේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමය  ඔස්සේ යම්තාක් දුරට හෝ අධ්‍යාපනය ලබාදීමයි. නමුත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ද නිසි අයුරින් පාසල් අධ්‍යාපනය නොලැබුණු බවට දෙමාපියන් විසින් සිදුකළ දැනුවත් කිරීම අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ ලංකාවේ පාසල් තුළ දරුවන්ට අධ්‍යාපනය ලබාදුන් ආකාරය සෙවීම සඳහා නියැදියක් ලෙස තෝරාගත් දිස්ත්‍රික්ක අටක පාසල් 229කට මේ ආකාරයෙන් තොරතුරු අයදුම්පත්‍ර යොමුකරන ලදී.

  එහිදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාථමික පාසල්, මහ විද්‍යාල හා ජාතික පාසල් 90ක් සඳහා තොරතුරු අයදුම්පත්‍ර යොමුකරන ලද අතර ඉන් ප්‍රතිචාර හා තොරතුරු  ලබා දී  ඇත්තේ එකම පාසලක් පමණි. එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ මහ විද්‍යාල  හා ජාතික පාසල් 17ක් සඳහා තොරතුරු අයදුම්පත්‍ර යොමුකර ඇති අතර ඉන් තොරතුරු ලබාදී ඇත්තේ පාසල් දෙකක්  පමණකි. ගාල්ල දිස්ත්‍රික්කයේ මහ විද්‍යාල  හා ජාතික පාසල් 24ක් සඳහා  තොරතුරු අයදුම්පත්‍ර යොමුකර ඇති අතර ඉන් තොරතුරු ලබාදී ඇත්තේ පාසල් දෙකක් පමණ ය. කොළඹ දිස්ත්‍රික්කයේ මහ විද්‍යාල  හා ජාතික පාසල් 26ක් අතරින් තොරතුරු ලබාදී ඇත්තේ එක පාසලක් පමණ ය. මහනුවර මහ විද්‍යාල හා ජාතික පාසල් 20ක් අතරින් තොරතුරු ලබාදී ඇත්තේ පාසල් 03ක් පමණ ය. අම්පාර පාසල් 10කට අයදුම්පත්‍ර යොමුකර ඇති නමුත් එක් පාසලකින්වත් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත. බදුල්ල දිස්ත්‍රික්කයේ මහ විද්‍යාල  හා ජාතික පාසල් 18ක් අතරින් තොරතුරු ලබාදී ඇත්තේ පාසල් 02ක් පමණකි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් 24ක් අතුරින් තොරතුරු ලබාදී ඇත්තේ එක් පාසලක් පමණ ය. මේ ආකාරයෙන් තොරතුරු අයදුම්පත්‍ර යොමුකළ පාසල් අතුරින් සියයට 94ක් ම තොරතුරු නොදීම පමණක් නොව කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා පුරවැසියන්ගේ මූලික අයතියක් වන තොරතුරු දැනගැනීමේ අයිතියට පිටුපා තිබේ.

  මේ අතර මාර්ගගත අධ්‍යාපන ක්‍රමය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදුකිරීම වෙනුවෙන් සිදුකළ වැඩ පිළිවෙලවල් මෙන්ම ලබාදුන් මූල්‍යමය පහසුකම් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා ඉහත දිස්ත්‍රික්ක 08හි කලාප අධ්‍යාපන කාර්යාල  25ක් සඳහා තොරතුරු ඉල්ලුම්පත් යොමුකළ නමුත් ඒ අතරින්   තොරතුරු අයදුම්පත ලැබුණු බව දන්වා ඇත්තේ කලාප අධ්‍යාපන කාර්යාල 07ක් පමණක් වන අතර ඉන් තොරතුරු ලබාදීමට කටයුතු කර ඇත්තේ කලාප අධ්‍යාපන කාර්යාල 03ක් පමණකි.

  2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ  24(3) වගන්තිය පරිදි ඉල්ලීමක් ලැබීමේදී එම ඉල්ලීම ඉදිරිපත් කළ පුරවැසියා වෙත තොරතුරු නිලධාරියෙකු විසින් වහාම එම ඉල්ලීම ලැබීම පිළිබඳ ලිඛිත දැනුම්දීමක් යොමුකරනු ලැබිය යුතු ය. එමෙන්ම  25(1) වගන්තියේ සඳහන් පරිදි තොරතුරු නිලධාරියෙකු විසින් හැකි ඉක්මණින් සහ 24 වන වගන්තිය යටතේ ඉල්ලීමක් ලැබී දින 14ක් ඇතුලත  ඉල්ලා සිටි තොරතුරු සැපයීමට හෝ පනතේ 5වන වගන්තියේ දක්වා  ඇති හේතුවලින් යම් එක හේතුවක් හෝ ඊට වැඩි ගණනක් මත එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හෝ තීරණය කළ යුතු අතර එම තීරණය, තොරතුරු ඉල්ලීම කළ පුරවැසියා හට සන්නිවේදනය කළ යුතු ය. නමුත් ඉහත  තොරතුරු නොදුන් කිසිදු පාසලක් හා කලාප අධ්‍යාපන කාර්යාලයක්   සිය ව්‍යවස්ථාපිත වගකීම ඉටු නොකරමින් පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතියට පිටුපා තිබේ.

තොරතුරු ඉල්ලන කාරණාව පැහැදිලි කළ යුතු ද?

 එමෙන්ම පුරවැසියෙකු තොරතුරු ලබාගැනීමට අයදුම්කිරීමේදී තොරතුරු අවශ්‍ය කාරණාව සම්බන්ධයෙන් විමසීම තොරතුරු පනත ගැන නිසි අවබෝධයක් හා දැනුමක් නොමැති පොදු අධිකාරින්හි තොරතුරු නිලධාරීන් හා ඉහල නිලධාරීන් විසින් සිදු කරනු ලබයි. ඒ  ආකාරයෙන් තොරතුරු ඉල්ලුම්කරුගෙන් තොරතුරු ඉල්ලීමට හේතුව, තොරතුරු නොදුන් පාසල් අතරින්  පාසල් 12ක විදුහල්පතිවරුන් හා කලාප අධ්‍යාපන කාර්යාල 04ක තොරතුරු නිලධාරීන් දුරකථනය ඔස්සේ විමසූ අතර ගාල්ල කලාප අධ්‍යාපන  කාර්යාලයෙන් එය ලිඛිතව ද  විමසා තිබේ.

  මේ ආකාරයෙන් තොරතුරු ඉල්ලීමට හේතුව විමසීම සඳහා තොරතුරු පනත මගින් කිසිදු පොදු අධිකාරියකට බලය පැවරිමක් ද සිදුකර නොමැති පසුබිමක විදුහල්පතිවරුන් තොරතුරු දැනගැනීමේ පනතට අනුකූල නොවෙමින් මේ ආකාරයෙන් කටයුතු කිරීම තුලින් පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බරපතල අභියෝගයක්ද එල්ල කර තිබේ.

 කෙසේ නමුත් විදුහල්පතිවරුන් මේ ආකාරයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය පසෙකලා කටයුතු කිරීම සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා ජාතික විදුහල්පතිවරුන්ගේ සංගමයේ සභාපති මොහාන් පරාක්‍රම මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු ප්‍රකාශකර සිටියේ මෙවන්  අදහසක්.   ” තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් ජාතික පාසල් නම් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දනුවත්කරලා තියෙනවා. පළාත් පාසල් නම් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් දනුවත්කරලා තියෙනවා. ඒ වගේම නිශ්චිත වශයෙන් තොරතුරු දෙන්න නිලධාරියෙකු පත්කරන ලෙසත් දැනුවත්කරලා තියෙනවා. ඒ වගේම තොරතුරු ඉල්ලීමට හේතුව විමසීම නොකළ යුත්තක් විනිවිධ භාවයක් තිබේනම් තොරතුරු දෙන්න පුළුවන්. නමුත් විදුහල්පති වැඩ වර්ජනය නිසා ඔවුන් පාසලට නොයාම හේතුවෙන් මේ ආකාරයෙන් තොරතුරු ලබාදීමට නොහැකි වෙන්න ඇති කියල මම හිතනවා”

විදුහල්පතිවරුන්ගේ සංගමයේ සභාපති මොහාන් පරාක්‍රම මහතා

 තොරතුරු දැනගැනීමේ පනතට අනුව තොරතුරු ඉල්ලා සිටින අවස්ථාවන්හි තොරතුරු ලබාදීමට පෙර  තොරතුරු නිලධාරීන් මෙන්ම නම් කළ නිලධාරීන් ද ඉහල නිලධාරීන්ගෙන්  අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් අවසර ලබාගැනීම මේ වන විටත් සිදුකර තිබෙන අයුරු මෙම ගවේශනයේදී හෙළි වූවකි.  එය ද අදාල පොදු අධිකාරීන් තොරතුරු දැනගැනීමේ පනතේ 30 වන වගන්තිය තුලින් තමන්ට ලබා දී ඇති නිදහස හා වගකීම් සම්බන්ධයෙන් අනවබෝධයෙන් හා තවමත් පෙර සේ ඉහල නිලධාරීන්ගේ අවසර ගැනීමේ ක්‍රමවේදය අනුගමනය කිරීමේ පටිපාටිය මේ තුලින් විදහා දක්වයි.

  කෙසේ නමුත් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ද අහිමිවෙමින් තිබිය දී තම වෘත්තිමය අයිතීන්ට මුවා වී විදුහල් පතිවරුන් මේ ආකාරයෙන් පුරවැසියන්ගේ මූලික අයිතියක් වන තොරතුරු දැනගැනීමේ අයිතිය අහිමි කිරීම බරපතල ගැටලුවකි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් තොරතුරු පනතේ විධානයන්ට අනුව අධාල නම්කළ නිලධාරීන්හට අභියාචනකිරිමටද පියවර ගෙන ඇති අතර  එමෙන්ම මේ ආකාරයෙන් තොරතුරු පනතේ විධානයන් කඩ  කරන පොදු අධිකාරින්හි තොරතුරු නිලධාරීන්ට එරෙහිව පනතට අනුව නීතිය ක්‍රියාත්මක කිරීම තොරතුරු කොමිසමේ ද වගකීමකි.

  කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් තොරතුරු පනතේ විධානයන්ට අනුව අධාල නම්කළ නිලධාරීන්හට අභියාචනකිරිමටද පියවර ගෙන ඇති අතර  එමෙන්ම මේ ආකාරයෙන් තොරතුරු පනතේ විධානයන් කඩ  කරන පොදු අධිකාරින්හි තොරතුරු නිලධාරීන්ට එරෙහිව පනතට අනුව නීතිය ක්‍රියාත්මක කිරීම අධ්‍යාපන ශේස්ත්‍රයේ ඉහල නිලධාරීන්ගේ හා  තොරතුරු කොමිසමේ ද වගකීමකි.

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් සියයට 27ක් ම(27%) කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය.

කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් පසු  මියගිය 2345 දෙනෙක්  ලබාගත් එන්නත් පිළිබඳව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නෑ  මෙරට කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img