32 C
Colombo
Wednesday, October 27, 2021
- Advertisement -spot_img

කුඹුරු ඉඩම් තුල වැලි හාරන්න හම්බන්තොට ගොවිජන සහකාර කොමසාරිස් කාර්යාලය නිර්දේශ දීලා

Must Read

වැලි හැරීම් නිසා අම්බලන්තොට  ප්‍රදේශ කීපයක තවත් කුඹුරු ඉඩම් අක්කර ගණනාවක් අවධානමක.

වැලි හෑරීම  සඳහා කුඹුරු ඉඩම් පුරන්කිරීමේ ජාවාරමක් – ගොවිජනසේවා නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කරන්නේ නෑ

කුඹුරු ඉඩම් වෙනත් කාර්යයන් සඳහා යොදාගැනීම නීතිවිරෝධී වුවත් ගොවිජනසේවා  නිලධාරීන්ගේ ආශිර්වාදය මත හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල පවතින කුඹුරු ඉඩම් අනවසරයෙන් ගොඩ කිරීම සදහා මෙන්ම සිදුකරන වැලි කැනීම් සම්බන්ධයෙන් ගොවිජනසේවා නිලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව මිට පෙර අවස්ථා කීපයකදීම තොරතුරු දැනගැනීමේ පනත මගින් ලබාගත් තොරතුරු මගින් අනාවරණය කර ගැනීමට හැකිවිය.

  මෙවන්  පසුබිමක තවදුරටත් මේ සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමකදී අනාවරණය කර ගැනීමට හැකි වූයේ හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලය මගින් කුඹුරු ඉඩම් තුල වැලි කැණීමට පවා සූක්ෂම අයුරින් නිරිදේශයන් ලබා දී තිබෙන බවයි. පසුගිය කාලය තුල සරුසාරව වගාකළ කුඹුරු ඉඩම් විවිධ පුද්ගලයන්  මිලට ගෙන පසුව  සූක්ෂම ලෙස පුරන් කරමින් හෝ කෙසෙල් වගා කිරීමට කටයුතු කර හෝ වෙනත් කටයුතුවලට යොදාගැනීම සිදුවේ. පසුව එම කුඹුරු වගාකළ නොහැකි කුඹුරු සේ පෙන්වීමට වැලි කැනීම් සිදුකරන පුද්ගලයින් කටයුතු කරනු ලැබේ.  එතෙක් නිහඬව සිටින ගොවිජනසේවා නිලධාරීන්  පසුව ඒවා තුල වැලි කැණීමට අවකාශය උදාකරදීම සිදුකරන්නේ කන්න ඕනෑ විට කබරයා ද තලගොයා කරගන්නා සේ යන කියමන ද පසක් කරමිනි.

මේ සදහා කදිම වර්තමාන සාක්ෂියක් වන්නේ ලුණම ගොවිජනසේවා බලප්‍රදේශයට අයත් ජංසගම ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ඇති අක්කර දෙකක වපසරියකින් යුත් ”දෙබරගස්මුල්ල නොහොත් ජංසගම කුඹුර ” තුල වැලි කැනීම සඳහා නිර්දේශ ලබාදීමට දිස්ත්‍රික් ගොවිජනසේවා සහකාර කොමසාරිස්වරයා විසින් කටයුතු කර තිබීමයි.

 අදාළ කුඹුරු ඉඩමේ වැලි කැනීමට බලපත්‍ර ලබාගැනීම සඳහා  නිර්දේශ ලබාදීමක් සිදුකර තිබේ නම් එම නිර්දේශ ලබාදුන් ලිපියේ පිටපතක් ඉල්ලා  තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලමින් 2020 ජුලි මස 21 වන දින හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලය වෙත තොරතුරු අයදුම්පතක් යොමුකළ අතර එයට පිළිතුරු දෙමින් 2020.08.10 දින ලිපි අංක 9/1/3/17(III) යටතේ පිළිතුරු ලබාදුන් ලිපියේ සදහන් කරනු ලැබුයේ එවැනි ආකාරයක වැලි කැනීමක් වෙනුවෙන් බලපත්‍ර නිකුත්කිරිමක් සඳහා අවසර ලබාදිමක් සිදු කර නොමැති බවයි. කෙසේ නමුත් හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලය මගින් ලබාදුන් තොරතුරු අසත්‍ය බව පවසමින් 2021.03.15 දිනැතිව තොරතුරු දැනගැනීමේ කොමිසන්සභාව  වෙත සිදුකරන ලද අභියාචනයකට අනුව 2021.07.28 දින ලිපි අංක A 3543/2020 යට‍තේ ලබාදුන් පූර්ව දැනුම්දීමකින් පසුව 2021.08.25 දින හම්බන්තොට  දිස්ත්‍රික් ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලය මගින් අදාළ වැලි කැණීමට නිර්දේශ නිකුත් කළ ලිපියේ පිටපතක්  ලබාදෙන ලදී.  ඒ වනවිට හම්බන්තොට  දිස්ත්‍රික් ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලය වෙත තොරතුරු අයදුම්පත ඉදිරිපත්කර වසරකුත් මසකට අධික කාලයක් ගතවී තිබුණි.

  එමෙන්ම  2020.07.21 දින මේ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යොමු කරන ලද තොරතුරු ඉල්ලුමට අනුව 2020.08.17 දින ලැබුණු තොරතුරු මගින් අනාවරණය වුයේ. ගොවිජනසේවා දෙපාර්තමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ හිටපු ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ආර්,එස්,ප්‍රේමලාල් මහතාගේ නිල මුද්‍රාව  හා අත්සනින් යුක්තව  2020.07.02 දින ලිපි අංක 9/3/6/5/1 මගින් සඳහන් කර ඇත්තේ අදාළ කුඹුරු ඉඩම උසින් පිහිටීම හේතුවෙන් වතුර රඳවා ගැනීමට නොහැකි නිසා අදාළ ව්‍යාපෘතිය සදහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත්කරන බවයි.

  එමෙන්ම අදාල වැලි කැනීම අවසන් වන තුරුම තොරතුරු දීමට හම්බන්තොට ගොවිජනසේවා  දිස්ත්‍රික් කාර්යාලයේ තොරතුරු නිලධාරියා හෝ අභියාචනා නිලධාරියා කටයුතු නොකර සිටියත්  මේ අතරතුර අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් තොරතුරු දැනගැනීමේ පනතට අනුව   ලබාගත් තොරතුරු අනුව   මේ සම්බන්ධයෙන් වැඩිදුර සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වුයේ හම්බන්තොට ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා විසින් 2020.03.03.දින ලිපි අංක DIE/H/වW2/2020/36 මගින් නිකුත්කරන ලද  ලිපියේ පැහැදිලිව සඳහන් කර ඇත්තේ  ”මෙය කුඹුරු ඉඩමක් බැවින් ජලය ලබාගැනීමට කිසිදු අපහසුතාවයක් නොමැති අතර ගොඩ වැලි කැපීම්  බලපත්‍රයක් ලබාදීම සදහා නිර්දේශ නොකරන බවයි”

  වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හම්බන්තොට  ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා  අදාළ කුඹුරු ඉඩම සඳහා ජලය ලබාගැනීමට කිසිදු අපහසුතාවයක් නොමැති බව සඳහන් කර තිබුනත් ගොවිජනසේවා ප්‍රාදේශීය ඉංජිනේරුවරයා  එම කුඹුරු ඉඩම සඳහා ජලය ලබාගැනීමට නොහැකි බව දන්වා තිබේ. ආයතන දෙකක එකම කාර්යයන්ට අයත් නිලධාරීන් මේ ආකාරයෙන් වෙනස් නිර්දේශයන් ලබාදීම තුල මෙම නිලධාරීන්ගේ දෙබිඩි පිළිවෙත මනාව වැටහී යනු ඇත. එමෙන්ම රාජ්‍ය නිලධාරීන් මේ ආකාරයෙන් වගකීම් විරහිතව හැසිරින්නේ කුමන වරප්‍රසාදයක් උදෙසා ද යන්න සම්බන්ධයෙන් ද ඇත්තේ බරපතල ගැටළුවකි.

   එමෙන්ම අවස්ථා කිපයකදිම ප්‍රදේශයේ ජනතාව මගින් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයාට මෙන්ම අම්බලන්තොට ප්‍රදේශීය ලේකම්වරයා හට මහජන පෙත්සම් කීපයක් ඉදිරිපත්කරමින් පවසා ඇත්තේ අදාළ කුඹුරු ඉඩම තුල වැලි කැණීම වෙනුවෙන් නිර්දේශ  නිකුත් කිරීම නීතිවිරෝධී බවත් එම කුඹුරු ඉඩම සඳහා ජලය ලබාගැනීමට කිසිදු බාධාවක් නොමැති බවත් ය. එමෙන්ම මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශයට ගොස්  අප කළ සොයාබැලීමක දී නම හෙළි කිරීමට අකමැති පාරම්පරික ගොවි මහතෙකු ද කියා සිටියේ ” මහත්තයෝ ඇලේ වතුර එනකොට ඉස්සෙල්ලම වතුර වදින කුඹුර තමයි ඕක, ඕකේ වැලි කැපීමෙන් අපේ කුඹුරුවලටත් ඉදිරියේ දී බලපෑමක් එල්ල වෙන්න පුළුවන්” බවයි.

   මේ ආකාරයෙන් ආදාල ප්‍රදේශයේ කුඹුරු ඉඩම් තුල වැලි කැනීම් සදහා වසර ගණනාවක් තිස්සේ කටයුතු කර තිබෙන ආකාරය ගුගල් ඡායාරූප මගින් ද තහවුරු කරගැනීමට හැකි විය. ඒ හේතුවෙන් 2003 වර්ෂයේ ද සරුසාරව පැවති  මෙම කුඹුරු ඉඩම් තුල  2015 වර්ෂයෙන් පසුව සිට විටින් විට වැලි කැනීම් සිදුකරගෙන ගොස් තිබෙනබව මානව පෙනී යන දෙයකි. එමෙන්ම අම්බලන්තොට වලවෙවත්ත, ජංසගම, මාමඩල ඇතුළු ප්‍රදේශ කීපයක විශාල ලෙස කුඹුරු ඉඩම් වැලි කැනීම් හේතුවෙන් විනශ වී ඇති ආකාරය ද එම  ඡායාරූප මගින් අනාවරණය කර ගැනීමට හැකි විය. නමුත් මේ සියලු කටයුතු මේ ආකාරයෙන් සිදුකිරිමට නිලධාරීන්ගේ අශිර්වාදය අනිවාර්යයෙන්ම අවැසි බව ඕනෑම අයෙකුට පසක් වන කරුණකි. නැත්නම් මෙම වැලි ජාවාරම් වෙනුවෙන් සහය ලබාදෙන ප්‍රබලයන් කවුරුන් ද?

(googal photos   අදාළ කුඹුරු ඉඩම රතුපාටින් ලකුණුකර තිබේ)

  එමෙන්ම  2014 අංක 46 දරන ගොවිජනසේවා සංවර්ධන (සංශෝධන ) පනතින් සංශෝධිත 2000 අංක 46 දරන පනතේ 30 වන වන්ගන්තියට අනුව මෙන්ම ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයාගේ අංක 01/2020 සහ 2020/01/01 දිනැති දෙපාර්තමේන්තු චක්‍රලේඛය අනුව යම් කුඹුරු ඉඩමක දීර්ග කාලින බෝගයක් වගා කිරීමට පවා ගොවිජන සංවර්ධන කොමිසාරිස්වරයාගේ අවසරය ලබා ගත යුතුය, එමෙන්ම ගොවිජන සංවර්ධන ජනරාල්වරයාගේ ලිඛිත අවසරයක් නොමැතිව අනවසරයෙන් කුඹුරු ගොඩකරන අවස්ථාවේදී එම ක්‍රියාව තවදුරටත් කිරීම වැලැක්වීම සදහා විෂයගත කුඹුරු ඉඩමට අදාලව 2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන (සංශෝධිත) පනතින් සංශෝධිත 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනතේ 33 වගන්තිය යටතේ එම ක්‍රියාව වැලක්වීම සදහා අතුරු ආඥාවක් ලබාගැනීමක් සහ එම ආඥාව ස්ථිර ආඥවක් බවට පත්කර ගැනීමට කටයුතු කරනු ලැබිය යුතුය.

  මේ ආකාරයෙන් නීති පනවා ඇත්තේ හුදු කුඹුරු ඉඩම් ආරක්ෂා කරගැනීමට වුවත් මෙම නිලධාරීන් තමන්හට   නිත්‍යානුකුලව ලැබී තිබෙන බලය අවභාවිත කරමින් මේ ආකාරයෙන් කුඹුරු තුළ වැලි කැණීමට අවසරදීමෙන් සිදුවන්නේ ප්‍රදේශයේ අනෙකුත් කුඹුරු ඉඩම් සදහා ද ජලය රඳවා ගැනීමට නොහැකි තත්වයකට පත්කිරීම ය. එහිදී එසේ ජලය රඳවා ගැනීමට නොහැකි කුඹුරු තුල ද වැලි කැණීමට බලපත්‍ර ඉල්ලා සිටියහොත් එය ලබාදීමට ගොවිජන සේවා නිලධාරීන් ඒ සදහා නිර්දේශ නිකුත් කළයුතු නොවේ ද? ගොවිජනසේවා නිලධාරීන්ගේ මෙම නීතිවිරෝධී අවසර ලබාදීම් තුල  අහිමි වන්නේ මෙරටේ මිනිසුන්හට අවශ්‍ය බත සපයන කුඹුරු  වීම කණගාටුවට කරුණකි.

  ගොවිජනසේවා දෙපාර්තමේන්තුවට අනුව ගොවිජනසේවා නිලධාරීන්ගේ වගකීම හා අරමුණ විය යුත්තේ රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිවලට අනුකූලව කෘෂිකාර්මික ඉඩම් යෙදවීමට අදාල විධි විධාන සැලැස්වීම, කෘෂිකාර්මික ඉඩම් හිමියන්, කෘෂිකාර්මික ඉඩම් හිමි ගොවීන් සහ භුක්තිකරුවන්, අඳ ගොවීන්ගේ වගා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන විධි විධාන ක්‍රියාත්මක කිරීම මෙන්ම  ගොවිජන සංවර්ධන පනත හා රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති උල්ලංගණය කරමින් ක්‍රියාත්මක වන පාර්ශවයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමයි

 එමෙන්ම ගොවි ජනතාවගේ කෘෂිකාර්මික අවශ්‍යතා සපුරාදීම මගින් ඔවුන්ගේ ආර්ථිකමය හා සමාජයීය පසුබිම ශක්තිමත් කිරීම අරමුණුකොට මැදිහත් කරුවකුගේ භූමිකාව ඉටු කිරීම පිණිස සමස්ථ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන ජාලය මෙහෙයවීම. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඉඩම්වලින් ප්‍රශස්ථ ඵලදායීතාවක් ලබා ගනිමින් ශ්‍රී ලාංකීය ගොවි ජනතාව තිරසාර සංවර්ධනයක් සඳහා රැගෙන යාම. කෘෂිකාර්මික ඉඩම්වල ඵලදාව වැඩි කර ගැනීම අරමුණු කර ගනිමින් කෘෂි මාර්ග නොමැතිව පැවති ඉඩම් සඳහා කෘෂි මාර්ග සකස් කිරීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම ආදිය ද ‌ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ වගකීම්වලට යටත් ය.

  මේ මේ සම්බන්ධයෙන්  ගොවිජනසේවා දෙපාර්තමේන්තුවේ වර්තමානයේ  හම්බන්තොට ගොවිජනසේවා  සහකාර අධ්‍යක්ෂක වරයා ලෙස කටයුතු කරනු ලබන  ඒ. එස්. ඩබ්. දහනායක මහතාගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ යම් නිලධාරියෙකු ඒ ආකාරයෙන් කුඹුරු ඉඩමක වැලි කැනීම සඳහා  වැරදි නිර්දේශයක් ලබාදී තිබේනම් එය අනුමත නොකරන බවත් ඉදිරියේදී  එය නතර කරීමට පියවර ගන්නා බවයි.

 මෙම වැලි කැනීම සඳහා නිර්දේශ ලබාදී තිබෙන  හම්බන්තොට හිටපු ගොවිජනසේවා  සහකාර අධ්‍යක්ෂක ආර්. ඒ. එස්. ප්‍රේමලාල් මහතා ගෙන්ද මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට උත්සහ කලත්   එය ව්‍යර්ථ විය

දෙපාර්තමේන්තුවේ අරමුණ මෙසේ වුවත් හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජනසේවා සහකාර කොමසාරිස්වරයා මෙන්ම ගොවිජන සංවර්ධන නිලධාරීවරුන් දෙපාර්තමේන්තුවේ අරමුණු පසෙක ලමින්  කාලයක් තිස්සේ නිසි ආකාරව නීතිය ක්‍රියාත්මක නොකිරීමේ පසුබිමක සරුසාරව අස්වනු නෙලාගත් අම්බලන්තොට හා ලුණම ගොවිජනසේවා බලප්‍රදේශයන්ට අයත්  කුඹුරු අක්කර සියගණනක අද වන විට දක්නට ලැබෙන්නේ විශාල වැලි වලවල් පමණක් වීම කණගාටුවට කරුණකි. එමෙන්ම මේ ආකාරයෙන් තම දෙපාර්තමේන්තුවේ අරමුණු හා වගකීම් පසෙකලා කටයුතු කරනු ලබන්නේ කුමන වරප්‍රසාදයක් වෙනුවෙන්ද යන්න පිළිබඳව වගකිව යුත්තන්ගේ ඉක්මන් අවධානය යොමු වීම අත්‍යවශය වේ.

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් සියයට 27ක් ම(27%) කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය.

කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් පසු  මියගිය 2345 දෙනෙක්  ලබාගත් එන්නත් පිළිබඳව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නෑ  මෙරට කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img