චීන පොහොර නැව මෙරටට ගෙන්වීමට පෙර නියැදි පරීක්ෂාවක් කරලා නෑ

චීන කාබනික පොහොර ගෙන්වීමට නිර්දේශ දුන් අය ගැන ජාතික පොහොර ලේකම් කාර්යාලය තොරතුරු දන්නේ නෑ

පොහොර නැවට ගෙවූ ඩොලර් මිලියන 6.9ක මුදලට වගකිව යුත්තෝ කවුරුන්ද ?

  චීනයේ ක්වින්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෲප් සමාගම මගින් මෙරටට ගෙන්වීමෙන් අනතුරුව නැවත හරවා යැවු කාබනික පොහොර තොගය මෙරටට ගෙන්වීම සදහා නිර්දේශ ලබාදුන් අය සම්බන්ධයෙන් තොරතුරු නොදන්නා බව ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ ලබාගත් තොරතුරු මගින් අනාවරණයේ වේ.

එමෙන්ම එම තොරතුරුවලට අනුව අදාල පොහොර තොගය චීනයෙන් ගෙන්වීමට පෙර එම පොහොර තොගයේ  නියැදි පරීක්ෂාවක් ද සිදුකර නොමැති බවයි තහවුරු වන්නේ.

විශේෂයෙන්ම රුපියල් බිලියන 12.9ක් ගෙවා චීනයෙන් ගෙන්වීමට කටයුතු කරමින් තිබු  මෙට්‍රික් ටොන් 99,000ක් සහිත නැවේ ඇති කාබනික පොහොර තුල  අර්වීනියා ඇතුළු හානිකර බැක්ටීරියා හා ක්ෂුද්‍රජීවීන් අඩංගු බැවින්, ඒවා මෙරටට ගෙන්වීමෙන් කෘෂිකාර්මික ව්‍යසනයක් සිදුවිය හැකි බවට ද  ශ්‍රී ලාංකික විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.

 මෙවන් පසුබිමක මෙරටට මේ ආකාරයෙන් පොහොර ගෙන්වීමට පෙර අදාල සමාගම  මගින් මෙරටට ගෙන්වීමට නියමිත පොහොර තොගය නියැදි පරීක්ෂාවකට ලක්කළ යුතුවේ.  නමුත් අදාල පොහොර නැව චීනයෙන් පිටත්වී ඇත්තේ 2021 සැප්තැම්බර් මස 22 දා වන අතර එම පොහොර තොගය සම්බන්ධයෙන් ලංකාව තුල නියැදි පරීක්ෂාවක් සිදුකර ඇත්තේ 2021 සැප්තැම්බර් මස 23වන දා වේ. ඒ බව ජාතික ශාකනිරෝධායන සේවය මගින්  අදාළ පොහොර තොගයේ නියැදි පරික්ෂාව සම්බන්ධයෙන් නිකුත්කරනු ලැබු  පර්යේෂන

වාර්තාවේද සදහන් වේ. ඒ අනුව පැහැදිලිව සදහන් වේ. අදාල නියැදි පරික්ෂාව සිදුකර ඇත්තේ පොහොර නැව චීනයෙන් පිටත්ව දිනකට පසුවයි.

එමෙන්ම අනෙක් විමතියට කරුණ වන්නේ 2021 ඔක්තෝම්බර් 22දා දින කොළඹ වරායට සේන්දුවීමට තිබු අදාල නෞකාවේ පොහොර තොගය ගෙන්වීමට පෙර නිර්දේශ ලබාදුන් අය සම්බන්ධයෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් තොරතුරු නොදැන සිටීමයි.

 කෙසේ නමුත් ජාතික ශාක නිරෝධායන සේවය මගින් අදාල පොහොර තොගය තුල අර්වීනියා ඇතුළු හානිකර බැක්ටීරියා අඩංගු බවට 2021 ඔක්තෝම්බර් මස 01 ද  අදාළ පර්යේෂණ වාර්තාව මගින් පෙන්වා දීමෙන් අනතුරුව මෙම පොහොර තොගය සම්බන්ධයෙන් දැඩි කතාබහට ලක්වි ය. එය මෙම පොහොර තොගය මෙරටට භාර නොගනිමට ද හේතු විය.

 මේ ආකාරයෙන් අදාල පොහොර තොගය ගෙන්වීමට පෙර නිසි පරික්ෂාවකට ලක් නොකිරීමේ ප්‍රතිපලයක්  ලෙස අදාළ චීන පොහොර නෞකාවට අයත් සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් අද ගෙවීමට මහජන බැංකුවට සිදු වුයේ පවතින ඩොලර් හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි සේ කඩා වැටුණු අවස්ථාවක ය.

 එම පොහොර නෞකාව මෙරටට භාර නොගත්ත ද ප්‍රමිතියෙන් යුත් පොහොර නැවත ලබා දෙන බවට දෙපාර්ශවය අතර එකඟතාවයකට පැමිණි බව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම පොහොර නැව සදහා පනවා තිබු  වාරණ නියෝගය ඉවත් කිරීමෙන් මෙම මුදල ගෙවීමට සිදුවී තිබෙන්නේ මෙරටට කාබනික පොහොර අවශ්‍යතාවක් නොතිබුණත් බලහත්කාරයෙන් හෝ පොහොර තොගය ලබාගැනීමට අවකාශය ඇති කරමිනි.

  එමෙන්ම මෙම පොහොර තොගය මෙරටට ගෙන්වීම සඳහා නිර්දේශ ලබාදුන්නේ කවුරුන්ද? පිළිබඳව සිදුකළ තොරතුරු විමසීමේදී එයට ප්‍රතිචාර දක්වමින් ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් දන්වා  ඇත්තේ ඒ සම්බන්ධයෙන් නොදන්නා බවයි. මිට අමතරව මෙම පොහොර තොගය මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලද්දේ පුද්ගලික ගැනුම්කරුවෙකු මගින්ද? එසේ නම් එම ගැනුම්කරු කවුරුන්ද? යන්න සිදුකළ විමසීමට ද ජාතික පොහොර ලේකම් කාර්යාලය පිළිතුරු ලබාදී තිබෙන්නේ එය ද නොදන්නා බවයි. රටේ කෘෂි කර්මාන්තය නගා සිටුවීම සදහා අවශ්‍ය පොහොර සම්පාදනය කරනු ලබන මෙවැනි ආයතනයක්  මෙම තොරතුරු නොදැන සිටීම මෙරටේ රාජ්‍ය යාන්ත්‍රණයේ දුෂිත භාවය මෙන්ම අකාර්යක්ෂමතාව මනාව පිළිබිඹු කරනා කරුණකි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන ලොකු හේවාගම මහතාගෙන් සිදුකල විමසීමකදී ඔහු කියා සිටයේ එම කාලය තුල තමන් මේම තනතුරේ නොසිටි හෙයින් ඒ ගැන සොයා බැලීමකින් තොරව ප්‍රකාශ කළ නොහැකි බවයි ”කොහොම හරි මෙරටට ගෙන්න පෙර නියැදි පරික්ෂා කරණවා,සාමාන්‍යයෙන් පොහොර ආනයනය කරන්න කලින් සාම්පල් චෙක් කරනවා නමුත් තොරතුරු තුල ඇති දින වකවානු අනුව එහි තිබෙන තොරතුරු නිවැරදියි.කොහොම උනත් ආනයනික පොහොර සම්බන්ධයෙන් නියැදි පරික්ෂා කිරීමට අපි හරහා තමයි ලබාදිය යුත්තේ ”

මේ තුලින්ද මනාව තහවුරු වන්නේ වන්නේ මෙම පොහොර තොගය ගෙන්වීමේදී නියමිත ක්‍රමවේදයන්ගෙන් බැහැරව අදාළ පොහොර තොගය ගෙන්වීමට කටයුතු කර තිබෙන බවයි.

මේ ආකාරයෙන් මේ රටේ ජනතාවගේ බදු මුදල් නිසි ක්‍රමවේදයකින් තොරව භාවිත කිරීමේ පසුබිමක අද වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එය දැඩි සේ බලපා තිබෙන බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි.

එමෙන්ම මේ  සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනතට අනුව ඉල්ලා සිටි තොරතුරු ලබාදීම කෘෂිකර්ම අමාත්‍යංශය හා ජාතික ශාක නිරෝධායන සේවය මගින් ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ සමබන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසන් සභාවට අභියාචනා කර තිබේ.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි