අහසින් පහත්වූ රාජ්‍ය උත්සවයක්

මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත්ත කිරීමේ උත්සවය සංවිධානය  කළ ආයතනය, මාර්ග සංවර්ධන අධිකාරිය හෝ අමාත්‍යාංශය දන්නේ නෑ.

මුල්ගලට පමණක් ලක්ෂ  28කට අධික මුදලක් වැය කරලා

මාර්ග සංවර්ධන අධිකාරිය උත්සවයේ වියදම් සැඟවිමේ තැතක්?

  

  මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස විවෘත්ත කිරීමේදී ඒ සඳහා  විශාල පිරිසක් හා විශාලා මහජන මුදලක් යොදවණු ලැබූ බවට සමාජ මාධ්‍ය තුල මෙන්ම ජනතාව තුල දැඩි සේ කතා බහට සහ විවේචනයට ලක්වූ කාරණයක් විය.

මෙවන් පසුබිමක  2022 වර්ෂයේ ජනවාරි මස 15වන දා ජනතා අයිතියට පත්කෙරුණු මෙම මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත්ත කිරීමේ උත්සවය  සඳහා සිදුකළ වියදම් සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ 2022.01.18 දිනැතිව සිදුකළ තොරතුරු විමසීමකට පිළිතුරු ලබාදෙමින් එම අධිකාරියේ තොරතුරු නිලධාරියා දන්වා ඇත්තේ එවැනි වියදමක් ව්‍යාපෘතිය මගින් දරා නොමැති බවයි.

කෙසේ නමුත් මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස විවෘත්ත කිරීමේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වූ ආකාරය රුපවාහිනී මාධ්‍ය මෙන්ම විවිධ මාධ්‍ය මගින් මුළු රටටම ප්‍රදර්ශනය වු කාරණයක් විය. එවන් පසුබිමක  එවැනි රාජ්‍ය උත්සවයක  වියදම් කවුරුන් විසින් සිදුකළා ද යන්න මාර්ග සංවර්ධන අධිකාරිය නොදැන සිටීම බරපතල ගැටළුවක් වේ.

 මෙහිදී ඉල්ලා සිටි තොරතුරු අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා  කොටස විවෘත්ත කිරීමේ සමස්ත උත්සවය  සඳහා කොපමණ මුදලක් වැයකර තිබේද?, එම සමස්ත වියදම සිදුකළ කාර්යයන් මොනවාද? ඒ ඒ කාර්යයන් සඳහා සිදුකළ වියදම් සම්බන්ධයෙන් සවිස්තර තොරතුරු හා බිල්පත් පිටපත් ලබාදෙන්න., සමස්ත උත්සවය සඳහා  මුදල් ලබාදුන් ආයතන මොනවාද?,  එසේ වෙනත් ආයතන මුදල් ලබාදී තිබේනම් ඒ ඒ ආයතන ලබාදුන් මුදල් ප්‍රමාණයන් කවරේද? යන්න සවිස්තර තොරතුරු ලබාදෙන්න , මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස විවෘත්ත කිරීමේ උත්සවය වෙනුවෙන් කොපමණ ජනතාවක් සහභාගි කරගනු ලැබුවේද?.ඇතුළුව විමසූ  තවත් ප්‍රශ්න  කීපයක් සඳහා මාර්ග සංවර්ධන අධිකරිය මගින් ලබා දී තිබෙන පිළිතුර වන්නේ එවැනි උත්සවයක් හෝ වියදමක් ව්‍යාපෘතිය මගින් දරා නොමැති බවයි.

නමුත් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් එවැනි උත්සවයක් සංවිධනය කර නොමැති වුවත් එම උත්සවය සංවිධානය කළ ආයතනය හෝ එම අධිකාරිය දැන ගත යුතු ය. එය නොදන්නා බව මේ ආකාරයෙන් ඇඟවීමට උත්සාහ කිරීම බරපතල ගැටළුවක් ද වන්නේ ය.

  එමෙන්ම  තොරතුරු දැනගැනීමේ පනත යටතේ පනවා ඇති නියෝග අංක 4(vi)ට අනුව සෑම පොදු අධිකාරියක් මගින්ම ඉල්ලා සිටින තොරතුරු වෙනත් ආයතනයක් වෙත අදාල එකක් නම් එම අයදුම්පත එම ආයතනය වෙත යොමුකරමින් ඒ බව දින හතක් තුල තොරතුරු ඉල්ලුම්කරු හට ද දැන්විය යුතු ය. නමුත් මාර්ග සංවර්ධන අධිකාරියේ තොරතුරු නිලධාරියා එම නියමන් ද කඩ කරමින් අදාල උත්සවය සඳහා සිදුකළ වියදම් කවුරුන් විසින් සිදුක‌‌‌ෙළ් ද යන්න සැඟවීමට උත්සහ කර තිබෙන බව ලබා දී තිබෙන පිළිතුරු මගින් මනාව පැහැදිලි වන කාරණයක් වේ.

  විශේෂයෙන්ම මෙරට තුල දක්නට ලැබෙන බරපතල ගැටළුවක් වන්නේ රාජ්‍ය උත්සව සඳහා විශාල වියදම් දැරීමයි. නමුත් ඒ ආකාරයෙන් රාජ්‍ය උත්සව සඳහා සෘජුව හෝ වක්‍රව වියදම් කරනු ලබන්නේ රටේ ජනතාවගේ බදු මුදල් බව බොහෝ දේශපාලඥයින්ට පමණක් නොව රජයේ නිලධාරින්හට ද අමතක වී තිබීම බරපතල ගැටළුවක් වේ. එවන් පසුබිමක ඒ සම්බන්ධයෙන් තොරතුරු  දැනගැනීමට රටේ බදු ගෙවන සියලු පුරවැසියන් හට  අයිතියක් තිබෙන බව රාජ්‍ය නිලධාරින් ද දැනගත යුතු වේ. එය පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකමක් ද වේ.

ලක්ෂ 28 සමරුපලකය

කෙසේ නමුත්  මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉල්ලා සිටි තොරතුරු අතර මධ්‍යම අධිවේගී මර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා  කොටස විවෘත්ත කිරීමේදී නිරාවරණය කෙරුණු  සමරු ඵලකය වෙනුවෙන් කොපමණ මුදලක් වැයකර තිබේද? එහි මුදල් ගෙවීම් පතෙහි පිටපතක් ලබාදෙන්න. යන්නෙන් විමසු ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් පවසා ඇත්තේ ඒ සඳහා රුපියල් විසි අට ලක්ෂ අසූ දාහක මුදලක් (2,880,000.)යොදවා තිබෙන බවයි. එමෙන්ම එහි වියදම අනුමත කොන්ත්‍රාත්තුව යටතේ ඇතුලත් කර තිබෙන බව එම තොරතුරු මගින් අනාවරණය වන දෙයක් වේ. නමුත් සමරු ඵලකයක් වෙනුවෙන් මේ ආකාරයෙන්  වක්‍රව විශාල මුදලක් යොදවා ඇත්තේ ද මහජන මුදල් මගින් වීම ය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු අනාවරණය කර ගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, එම උත්සවය පවත්වනු ලැබුවේ මාර්ග සංවර්ධන අමාත්‍යාංශයෙන් බවයි.

 එමෙන්ම මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අමාත්‍යාංශය මගින් තොරතුරු ලබා නොදීමේ පසුබිමක 2021.03.21 දිනැතිව ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය වෙත යොමුකළ තොරතුරු ඉල්ලීමට මේ වනවිටත් කිසිදු පිළිතුරක් ලබාදීමට අදාල අමාත්‍යාශය කටයුතු කර නොමැත.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්  රන්ජිත් ප්‍රේමසිරි මහතාගෙන් අදාල උත්සවය කවුරුන් විසින් සංවිධානය ක‌ෙළ් ද යනුවෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ ‘’ ඒක මම දන්නේ නෑ දීපු උත්තර බලලා ඕන කතාකරන්න’’ යනුවෙන් ප්‍රකාශ කරන ලදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අගමැති මහින්ද රාජපක්ෂ  ඇතුළු රටේ රාජ්‍ය නායකයින් මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සහභාගිවූ රාජ්‍ය උත්සවය සංවිධානය කළේ කවුරුන් ද යන්න අදාල අමාත්‍යංශයේ ලේකම්වරයා නොදැන සිටීම ජනතාව නොමග යැවීමට දක්වන විහිළුවක් බව මනාව පිළිබිඹු වන දෙයකි.

 දේශීය බැංකු පහක් මගින් ලබාගත් රුපියල් බිලියන 149ක් පමණ ණය මුදලක් වැයකරමින් ඉදි කෙරුණු මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස කිලෝමීටර 40.91ක දුරින් යුක්ත වන අතර එම අධිවේගී මාර්ගයට අදාලව ඉදිකෙරෙමින් පවතින  1,3 හා 4 කොටස් මේ වනවිටත් මූලික අදියරේ පවතී.

 එම කොටස් අතර කඩවත සිට 1 කොටසේ  මීරිගම දක්වා කිලෝ මීටර් 37.09ක්, 3වන කොටසේ පොතුහැර සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 32ක්, 4වන කොටසේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා කිලෝමීටර 58.97ක කොටස මේ වනවිටත් ඇත්තේ මුලික අදියරේ ඉදිකිරීම්වල ය. මේ තුලින් පෙන්නුම් කරනු ලබන්නේ විශාල රාජ්‍ය උත්සවයක් පවත්වමින් දේශපාලඥයින්ගේ මනදොල පිනවීම සඳහා විවෘත්ත කර ඇත්තේ අසම්පූර්ණ ව්‍යාපෘතියක් බවයි.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි