කන්න නැතිව හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී තවත් අලි දෙදෙනෙකු මියයයි

තවත් ඇත් පැටවකු ද කන්න නැතිව මරණාසන්නයේ

කන්න නැතිව අලි මැරුණත් අලි මරණවලට වගකිවයුතු නිලධාරීන් තවමත් නිදැල්ලේ

 හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී  ආහාර නොමැතිව මන්දපෝෂණයෙන් වනඅලි මියයන බව අවස්ථා කීපයකදීම ”ceylonnews24.com” වෙබ් අඩවිය මගින් අනාවරණය කරනු ලැබුවත් වග කිවයුතු කිසිදු බලධාරියෙක් ඒ සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම හේතුවෙන් මේ මස ගෙවීගිය සති දෙක තුලදී පමණක් තවත් වනඅලින් දෙදෙනකු හට ආහාර නොමැතිව මියැදෙන්නට සිදුවි තිබේ.

  දිවයිනේ නොයෙක් ප්‍රදේශ තුලින් ආහාර සොයා ගම් වදින වනඅලින් හේතුවෙන් සිදුවන අලිමිනිස් ගැටුමට පිළියම් සොයා වනඅලින් අල්ලා  ගාල් කරන ලද හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී මන්දපෝෂණ තත්වයෙන් මියයන බවට තොරතුරු දැනගැනීමේ පනත භාවිත කොට  වනජීවී දෙපාර්තමේන්තුව මගින් ලබාගත්  වනඅලින්ගේ මරණ පරීක්ෂණ වාර්තා ද ගෙන හැර දක්වමින්   මේ සම්බන්ධයෙන්  කරුණු අනාවරණය කරන ලදී.

ඒ අනුව හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී වාර්තා වී ඇති  මියගිය අලි මරණ පමණක්  පරික්ෂාවේදී 2021 සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ පමණක් මිය ගිය වනඅලින් 20 දෙනාගෙන් 16 දෙනෙකු පමණ මියගොස් ඇත්තේ මන්දපෝෂණයෙන් බවට තහවුරු කරන ලදී.

 මෙවන් තත්වයක් හමුවේ වනජීවී දෙපාර්තමේන්තුවේ වගකිවයුතු සියළු නිලධාරීන් නිසි පිළියමක් නොදීම හේතුවෙන් පසුගිය අප්‍රේල් 20වන දා ආහාර  නොමැතිව මුලින් පෙන්වා දෙනු ලැබූ  දුර්වල වු අලියෙකු වනජීවී නිලධාරීන් ඉදිරියේම මැරී වැටීමට සිදුවිණි. එමෙන්ම අප්‍රේල් 15වන දා පමණ මේ ආකාරයෙන්ම ආහාර නොමැතිව මැරී වැටි සිටි තවත් වන අලියෙකුගේ  සිරුරක් වනජීවී නිලධාරීන්ට හමුවී තිබේ.

නොකළ වරදට කන්න නැතිව  වන්දි ගෙවන ඇත් පැටවා

 උත්තරය සෙවීම වෙනුවට ප්‍රශ්නය වෙනත් තැනකට මාරු කරමින් මෙතෙක් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත  රැගෙනවිත් දමා ඇත්තේ ලංකාවේ විවිධ ප්‍රදේශවල මිනිසුන්හට කරදරකාරී ලෙස හැසිරුණු බව පැවසූ වනඅලින් බවයි වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා සිටින්නේ. නමුත් පරිසරවේදීහු සහ විද්වත්තු  මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දක්වති.

  නමුත් මෙහි බරපතලම කාරණයක් වන්නේ අලි ගාල තනන අවස්ථාවේ එහි සිරවී වනජීවී නිලධාරින් ද නොදැක සිටි වයස අවුරුදු 11ක පමණ තවත් ඇත් පැටවෙකු හට මෙතෙක් කල් එම අලි ගාල තුල සිරවී සිටීමට සිදුව තිබීමයි. හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය තනන අවස්ථාවේදී මෙම ඇත් පැටවා හට වයස අවුරුදු තුනක් පමණ වන්නට ඇති බවත් මේ වනවිට වයස අවුරුදු 10ක් හෝ 11ක් පමණ වන බවත් වනජීවී නිලධාරීන් පවසා සිටි.  නමුත් අද වනවිට  මෙම ඇත් පැටවාගේ  ජීවිතය ආහාර නොමැතිව මරණාසන්නව තිබෙන බව ඡායා රූප මගින්  මනාව පෙනී යන දෙයකි. එසේ සිදුවෙමින් තිබෙන්නේ  මෙම අලි මරණ සඳහා වගකිවයුතු නිලධාරීන්ගේ නිහඬ පිළිවෙත හමුවේ ය. වෛද්‍යවරුන්,වනජීවී නිලධාරීන් පවසා සිටින්නේ මෙම ඇත් පැටවා වහා ප්‍රතිකාර සඳහා ද යොදවනු නොලැබුවහොත් ඉදිරි දින කීපයකදී මියයෑමට ඇති සම්භාවිතාව වැඩි බවයි.  

  එමෙන්ම තොරතුරු දැනගැනීමේ පනත යටතේ වනජීවී දෙපාර්තමේන්තුව මගින් ලබාගත් තොරතුරු  අනුව  2015 සැප්තැම්බර් 03වන දා සිට මේ දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශ තුලින්  වන අලින් 66 දෙනකු පමණ හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන විත් තිබෙන බවට කරුණු අනාවරණය කරගැනීමට හැකි විය.

   එහෙත් අලින්ගේ මරණ පරීක්ෂණ වාර්තා නිරීක්ෂණයේදී හෙළි වූ පරිදි 2014 සැප්තැම්බර් 10වන දිනත් මෙම භුමිය තුළදී වන අලියකු මියගොස් ඇති බවට කරුණු අනාවරණය කර ගැනීමට හැකිවිය.  එයින් පෙනීයන්නේ, අදාළ ලේඛනයේ නොමැති වන අලින් ද එහි සිටි බවයි. ඒ අනුව අලින්  68කට ආසන්න ප්‍රමාණයක් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත ගෙනැවිත් දමා ඇති බව නිරීක්ෂණය විය.

 හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින වනඅලින්  මේ  ආකාරයෙන් මන්දපෝෂණ තත්වයට පත්වීමට තවත්  එක් හේතුවක් වන්නේ වන අලින්හට බාහිරින් ලබාදුන් සොච්චම් කෑම වේල ද  එහි ඇතිවූ අක්‍රමිකතා හේතුවෙන්   2019 සිදුකළ විගණනයෙන් පසුව සිට මේ දක්වා ලබා නොදීමයි.

 වනජීවී දෙපාර්ත මෙන්තුවේ පශු වෛද්‍ය වරුන්ට අනුව අනෙකුත් සත්වයින්ට මෙන්ම  අලින්හට ප්‍රමාණවත් ආහාර නොමැතිවූ විට ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිද වැටි පසුව ශරීරයේ ඇති විෂබීජ ක්‍රියාත්මක වීම හේතුවෙන් සතා ඉක්මනින්ම මියයාමට ඇති සම්භාවිතාව වැඩි වන බවයි.

  කෙසේ නමුත් හෙක්ටෙයාර 997ක (වර්ග කිලෝමීටර් 9.98) කුඩා භූමි ප්‍රමාණයකින් සමන්විතවන හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ  වනඅලින් විශාල ප්‍රමාණයක් මේ ආකාරයෙන් සිරකිරීම නිසා   එම සතුන්හට  අවශ්‍ය ආහාර  නොමැති බව මෙන්ම ආහාර නොමැතිව හාමතේ වනඅලි මියැදෙන බව පිළිබඳ විමසු විටදී,  ඒ සම්බන්ධයෙන් 2021.මාර්තු මස 23වන දා සිදුකළ විමසීමකදී වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා විසින් එය ප්‍රතික්ෂේප කර සිටියේය. එහිදී ඔහු කියා සිටියේ ”අපි මේ සතුන්ගේ ශරීර සෞඛ්‍යය ගැන හොයල බැලුවා. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒ තුළින් කියන්නේ ආහාර තියෙනවා කියල. දැන් ආහාර දීම නවත්වල තියෙන්නෙත් ඒකේ ඇතුලෙ ඇතිතරම් ආහාර තියෙන නිසා.” බවයි.

 එමෙන්ම මෙම කරුණු සියල්ල සලකා බැලීමේදී මනාව තහවුරු වන්නේ වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මේ සම්බන්ධයෙන් නිසි අධික්ෂණයක් නොකර වගකීම් විරහිතව සිටීමෙන් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අදටත් අහාර නොමැතිව වනඅලින් මියැදෙන බවයි. ඒ සඳහා මෙම අලි මරණ මොනවාට සාක්ෂි දරයි.

  කෙසේ නමුත්  වනජීවී නිලධාරීන් පවසන ආකාරයට ඉහත සඳහන්කළ  මෙම මස මියගිය වනඅලින් දෙදෙනා හැර  මේ වන විට  හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ඉතිරි වී සිටින්නේ වන අලින් 04 දෙනෙකු පමණක් බවත් ඒ අතර ආහාර නොමැතිව මරණාසන්නව  සිටින ඇත් පැටවා ද සිටින බවත් වනජීවී නිලධාරීන් පවසා සිටි. එමෙන්ම එම ඇත්පැටවා බේරා ගැනීමට නම් කඩිනම්ව වනජීවී දෙපාර්තමේන්තුවේ වගකිවයුතු  නිලධාරීන් ක්‍රියාත්මක විය යුතු ය.

  මේ ආකාරයෙන්ම 2018 ජුලි 02වන දින පුත්තලම සිමෙන්තිගම ප්‍රදේශයෙන් අල්ලාගන්නා ලද ඇතා, මිය යන්නට ආසන්නයේ සිටින බවට 2021 අප්‍රේල් මස 07 දින ”ceylonnews24.com” වෙබ් අඩවිය මගින් අනාවරණය කරුණු ලැබුවත්,   ඒ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ වග කිවයුතු නිලධාරින් නිහඬව, වගකීම් විරහිතව සිටීම හේතුවෙන් එම වන අලියා    හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ දී 2021 ජූලි 12 මිය ගියේ ය. එම ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇත්තේ 2021.07.14දා බව තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් අලි මරණ පරීක්ෂණ වාර්තාවලින් තහවුරු විය.

පුත්තලම සිමෙන්තිගම ඇතා

වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ කාර්යය විය යුත්තේ වනජීවීන්ගේ ජීවිත සුරක්ෂිත කරදීමයි. නමුත් මේ තුලින් මනාව පෙනී යන්නේ ලංකවේ වනජීවී දෙපාර්තමේන්තුවේ වගකිවයුතු නිලධාරීන්හට එම ප්‍රමුඛ කාර්යය අමතක වී ඇති බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු දැනගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාහට ප්‍රශ්න කීපයක් යොමුකළ අතර 1 ප්‍රශ්නය – පසුගිය සති එකහමාරක කාලය තුළ වනඅලින් දෙදෙනෙකු කන්න නැතිව මියගොස් ඇතිබව ඔබ දන්නවාද? උත්තරය – ඔව් දන්නවා. ඒවායේ මරණ පරීක්ෂණ තාම ආවේ නෑ. ඒවා බලලා තමයි උත්තර දෙන්න ඕන.  2 ප්‍රශ්නය – තවත් ඇත් පැටවෙකු කන්න නැතිව දුර්වල වෙලා තියෙන්නේ එම අලි පැටවා ආරක්ෂා කරගැනීමට ,ප්‍රතිකාර කිරීමකට යොමු කරනාවාද? උත්තරය – කරන්න ඕනදේ අපි දන්නවා ඒකට සැලසුමක් හදමින් ඉන්නේ.

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී කන්න නැතිව වන අලින් මියදෙන බව අප පෙන්වා දුන් හා   වනජීවී දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කළ ප්‍රථම අවස්ථාවද මෙය නොවේ.  එවන් පසුබිමක කන්න නැතිව අවසන් හුස්ම හෙලමින් සිටින  ඇත් පැටවා මුදා ගෙන නිසි ප්‍රතිකාර සඳහා යොමු කිරීමට තවදුරටත් සැලසුම් කරමින් සිටීමෙන් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී පසුගිය කාලය පුරාවට වන අලින්ට සිදුවූ මරණයේ ඉරණම මෙම ඇත් පැටවාට ද අත්වනු නොඅනුමාන ය.