මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත්ත කිරීමේ උත්සවයට ගිය වියදම් මහාමාර්ග අමාත්‍යාංශය සඟවන්නේ කාගේ උවමනාවට ද ?

මහාමාර්ග අමාත්‍යාංශ සංවිධායකයෙක් නොදන්නා උත්සවයක් සම්බන්ධීකරණය කරලා.

විවිධ විවෘත්ත කිරීමේ රාජ්‍ය උත්සව කටයුතු වෙනුවෙන් විශාල වශයෙන් මහජන මුදල් නාස්ති කිරීම මෙරට තිබෙන දේශපාලන සංස්කෘතියේ  ප්‍රධාන  ලක්ෂණයක් වී තිබේ. එය පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සිදුකළ, සිදුකරන දෙයක් නිසාම ඒ සදහා මෙරට  පක්ෂ දේශපාලනය තුල එතරම් විරෝධතාවයක් නොදක්වයි.

රටේ මහජනතාවගේ බදු මුදලින් හා එම බදු මුදලින් ගෙවීමේ පදනම  මත විදෙස් රටවලින් ගන්නා ලද  ණය පහසුකම් යටතේ පවා ඉදිකරනු ලබන රජයේ ව්‍යාපෘති සඳහා මුල්ගල් තැබීම මෙන්ම ඒවා විවෘත්ත කිරීමේ කටයුතු වෙනුවෙන් දේශපාලඥයින්ගේ මනදොල සතුටු කිරීමේ අරමුණින් සිදුකරනු ලබන මෙම උත්සව කටයුතු සදහා සහයෝගය දක්වන්නේ ඉහල සිට පහලට වු රාජ්‍ය සේවකයින් බව ද  කිව යුතු ය.

 විශේෂයෙන්ම මේ ආකාරයෙන් පවත්වනු ලබන උත්සව කටයුතුවල ප්‍රධානතම අරමුණ වනුයේ ඒ ඒ දේශපාලන පක්ෂ මෙන්ම අදාළ දේශපාලනඥයාගේ ප්‍රතිරූපය ගොඩනාගා ගනිමින් ජනතාව රැවටීමයි. එමෙන්ම එම ව්‍යාපෘති මෙන්ම උත්සව කටයුතු තුලින් තමන් ඇතුළු තමන්ගේ දේශපාලන ව්‍යාපාරය සදහා දායක වන්නන්ගේ සුඛ විහරණය වෙනුවෙන් සොරකම, නාස්ති කිරීම සිදුවන බව මේ රටේ මහජනතාවට අමුතුවෙන් පෙන්වා දීමට  අවශ්‍ය වන කරුණක්  නොවේ.

 මේ ආකාරයෙන් 2022 වර්ෂයේ ජනවාරි මස 15වන දා ජනතා අයිතියට පත්කෙරුණු මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත්ත කිරීමේ උත්සවය  සඳහා සිදුකළ වියදම් සම්බන්ධ තොරතුරු හෙළි කිරීමට මහාමාර්ග අමාත්‍යාංශය මගින් කටයුතු නොකරමින් ඒ සදහා සිදුකළ වියදම් සැඟවිමේ  ප්‍රයන්තයක මේ වන විට යෙදී සිටී. විශේෂයෙන්ම මේ ආකාරයෙන් තොරතුරු සැඟවීමට උත්සහ ගන්නේ අදාල අමාත්‍යාංශයේ විෂය පථයට අයිති කටයුත්තක් වෙනුවෙන් සිදුකරන ලද උත්සවයක් සම්බන්ධයෙන් වීම විමතියට කරුණකි. මිට පෙර ද  මේ සම්බන්ධයෙන් ‘අද’ පුවත්පත තුළින් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාදුන්  තොරතුරුවලට අනුව  අනාවරණයක් සිදුකරන ලදී.

  නමුත් අදාල උත්සවය තම අධිකාරිය මගින් සංවිධානය නොකළ බව දැන්වීමෙන් අනතුරුව   මේ සදහා සිදුකළ  වියදම් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ 2022.03.31 දිනැතිව මහාමාර්ග අමාත්‍යාංශයට ද තොරතුරු ඉල්ලීමක් ඉදිරිපත්කරන ලදී. එහිදී එම  තොරතුරු විමසීමට පිළිතුරු ලබාදෙමින් මහාමාර්ග අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරිනිය වන ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන)  තමිලා ප්‍රසාදිනී දයානන්ද විසින්  දන්වා ඇත්තේ අමාත්‍යාංශය මගින් උත්සව සංවිධානය සදහා පමණක් සහභාගිවූ නිලධාරීන් සදහා රුපියල් 3090.00ක මුදලක් දරා ඇති බවයි.

  කෙසේ නමුත් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ මහාමාර්ග අමාත්‍යාංශය මගින්  ප්‍රශ්න අංක 14 කින් යුත්තව තොරතුරු ඉල්ලා සිට ඇති අතර එහිදී ප්‍රශ්න අංක 01 මගින් ඉල්ලා සිටි ‘මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා  කොටස විවෘත්ත කිරීමේ සමස්ත උත්සවය  සංවිධානය හා ඒ සඳහා වියදම් දරනු  ලැබුවේ කුමන ආයතනයක් මගින්ද?’ යන්න සදහාවත් නිශ්චිත පිළිතුරක් ලබා දීමට අදාළ පොදු අධිකාරියේ තොරතුරු නිලධාරිනිය කටයුතු කර නොමැති අතර ඒ සදහා පිළිතුර ලෙස අමාත්‍යාංශය මගින් උත්සවය සංවිධානය කළ බව පමණක් දන්වා තිබේ.

 එමෙන්ම මහා මාර්ග අමාත්‍යාංශය යටතේ පවතින මාර්ග සංවර්ධන අධිකාරියෙන් විමසන ලද තොරතුරු ඉල්ලීමකට අනුව 2022.02.18 දිනැතිව ලබා දුන් තොරතුරුවල දැක්වෙන්නේ  එවැනි උත්සවයක් ව්‍යාපෘතිය මගින් සංවිධානය කර නොමැති බවයි. මේ අනුව එක් සිද්ධියක් උදෙසා එකම විෂය යටතේ පවතින රාජ්‍ය ආයතන දෙකක තොරතුරු නිලධාරීන් ලෙස පත්කර සිටින  රාජ්‍ය නිලධාරීන් මේ ආකාරයෙන් පිළිගැනීමට නොහැකි ආකාරයෙන් පරස්පර විරෝධී පිළිතුරු ලබදීම ම මෙහි ඇති මුදල් නාස්තියක් වංචාවක් සැගවීමට උත්සාහයක නිරතවන බව පිළිබිඹු වන කාරණාවකි.

ලොකු හොරු රකින පොඩි හොරු

  මේ ආකාරයෙන් බලනවිට මහාමාර්ග අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද උත්සවය කවුරුන් විසින් සිදුකළ එකක් ද යන්න මෙන්ම ඒ සදහා මුදල් වියදම් කළ පුද්ගලයා හෝ ආයතනය සමබන්ධයෙන් තොරතුරු නොදන්නා බව දැන්වීම තුලින් පෙනී යන්නේ රාජ්‍ය නිලධාරීන් ද මේ සම්බන්ධයෙන් සත්‍ය සැගවිමේ ප්‍රයන්තයක යෙදෙන බවයි . මේ නිසාම දුරකථනය මගින් ද අදාල තොරතුරු නිලධාරිනියගෙන් සිදුකළ වීමසීමක දී ඇය කියා සිටියේ අපට තොරතුරු ලබා දීමට හැකි සීමාව තුල තොරතුරු ලබා දී ඇති බවත් යම් තොරතුරක් සම්බන්ධයෙන් දැනගැනීමට  ඇත්නම් තොරතුරු පනතට අනුවම කටයුතු කරන ලෙසයි. 

  තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ ජනතාවට මුක්ත කිරීමට නොහැකි තොරතුරු පස්වන වගන්තිය මගින් පෙන්වා දී තිබේ. නමුත් එම පනතේම 5(4) යටතේ එසේ  මුක්ත කරන ලද  තොරතුරු පවා මහජන සුභසිද්ධිය  මත පුරවැසියන්හට ලබා ගැනීමේ හැකියාවක් පවතී. නමුත්  මහාමාර්ග අමාත්‍යාංශය මගින් ඉල්ලා සිටි කිසිදු තොරතුරක් තොරතුරු පනතේ නොදියහැකි තොරතුරක් ද නොවන බව මහාමාර්ග අමාත්‍යාංශයේ  තොරතුරු නිලධාරිනිය ද දැනගතයුතු ය.

එවන් පසුබිමක රටේ රාජ්‍ය නායකයින් වන  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , හිටපු අගමැති මහින්ද රාජපක්ෂ  ඇතුළු මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සහභාගිවූ  රාජ්‍ය උත්සවයක් වෙනුවෙන් කටයුතු සම්බන්ධිකරණය කරන ලද මහාමාර්ග අමාත්‍යාංශය, එම උත්සවය සංවිධානය කළ පුද්ගලයා හෝ ආයතනය මෙන්ම ඒ සදහා සිදුකරන ලද වියදම් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් සැගවීමට වෙර දරන්නේ කාගේ උවමනාවට? යන්න පිළිබඳව ඇත්තේ බරපතල  ගැටලුවකි.

  එමෙන්ම මේ  ආකාරයෙන් තමන් විසින් නොදන්නා ආයතනයක් පුද්ගලයෙක්  විසින් සංවිධානය කරන ලද උත්සවයක් වෙනුවෙන් අදාල පොදු අධිකාරිය විසින්  ලබා දී තිබෙන තොරතුරුවලට අනුව  වාහන දෙකක් යෙදවීම මෙන්ම එය සම්බන්ධීකරණය කිරීම හා එම සම්බන්ධීකරණය කරන ලද නිලධාරීන්ගේ තේ පානය  සහ අනෙකුත් වියදම් වෙනුවෙන් රුපියල් 3090ක  මුදලක් යෙදවීමට මහාමාර්ග අමාත්‍යාංශය විසින් කටයුතු කර තිබේ. ඉහත තොරතුරුවලට අනුව  එය  බරපතල වරදක් මෙන්ම එය අනෙකුත් රාජ්‍ය ආයතන සදහා ද ලබාදී ඇති වැරදි පූර්වාදර්ශයක් ද වන්නේ සංවිධායකයෙක් ගැන නොදන්නා උත්සවයක් වෙනුවෙන් රාජ්‍ය ආයතනයක මානව හා භෞතික සම්පත් යෙදවීමයි. එය රාජ්‍ය දේපල අවභාවිත කිරීමක් ද වේ.

 කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වැඩි දුරටත්  තොරතුරු විමසීම සඳහා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්  රන්ජිත් ප්‍රේමසිරි මහතාගෙන් අදාල උත්සවය කවුරුන් විසින් සංවිධානය ක‌ෙළ් ද යනුවෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ ‘තොරතුරු පනතින් දීපු උත්තර බලලා ඕන කතාකරන්න, ’’ යනුවෙනි. නමුත් මිට පෙර අවස්ථාවකදී ද මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියේ එම පිළිතුරම වන අතර නමුත් මසකට ආසන්න කාලයක් එම ලබාදුන් පිළිතුර ගැන සොයා බැලීමට අදාළ ලේකම්වරයා අසමත්වීම ම මෙරට රාජ්‍ය සේවයේ ඇති සැබෑ තත්ත්වය මැනවින් පෙන්වා දෙයි.

පරස්පර විරෝධී පිළිතුරු

 කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් 2022.05.16 දින  සිදුකළ කරුණු විමසීමේදී එයට පිළිතුරු දෙමින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්  රංජිත් ප්‍රේමසිරි මහතා කියා සිටියේ අදාල උත්සවය අමාත්‍යාංශය මගින් ව්‍යාපෘතිය හරහා සිදුකළ බවයි. එමෙන්ම මේ ගැන වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා පසුදින තමන්ට කතාකරන ලෙසයි. නමුත් ඊට පසුදින වන 17 දින සහ 18,23, යන දින කීපය තුලදී අවස්ථා කීපයකදී ලේකම්වරයාගේ ජංගම දුරකථනය සදහා ඇමතුම් කීපයක්ම ලබා ගනු ලැබුවත් ඒ සදහා පිළිතුරු දීමට කටයුතු නොකරන ලදී.

  විශාල වියදමක් දරමින් මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත්ත කිරීමේ උත්සවය සිදුකළ ආකාරය මෙරට මහජනතාව සියැසින්ම දුටු කාරණයකි. එය මුදල් නාස්තිකරමින් මෙරට සිදුකළ තවත් එක් රාජ්‍ය උත්සවයක් පමණක්  වේ.

    විශේෂයෙන්ම මෙරට තුල දක්නට ලැබෙන බරපතල ගැටලුවක් වන්නේ රටේ බදු  ගෙවන මහජනතාවගේ  මුදල්  මේ ආකාරයෙන්  රාජ්‍ය උත්සව සඳහා යෙදවමින් නාස්ති කිරීමයි. නමුත් ඒ ආකාරයෙන් රාජ්‍ය උත්සව සඳහා සෘජුව හෝ වක්‍රව වියදම් කරනු ලබන්නේ රටේ ජනතාවගේ බදු මුදල් බව බොහෝ දේශපාලඥයින්ට පමණක් නොව රජයේ නිලධාරින්හට ද අමතක වී තිබීම මෙන්ම ඒ සම්බන්ධයෙන් සිදුකළ වියදම්, එම වියදම් දැරූ ආයතන මේ ආකාරයෙන්  හෙළි නොකිරීම, සැගවීමට කටයුතු කිරීම ද  බරපතල ගැටලුවක් වේ. මෙහිදී ජනතාවට පැවසීමට ඇත්තේ  ‘’වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව ‘’ යනුවෙනි

 කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සත්‍යය මහජනතාවට  හෙළි කිරීම සදහා තවදුරටත් මේ සමබන්ධයෙන් විමර්ශනය කරන බව ද මේ සදහා සහයෝගය ලබාදෙනු ලබන දේශපාලඥයින් මෙන්ම රජයේ නිලධාරීන් ගැන තොරතුරු හෙළි කිරීමට පසුබට නොවන බව ද කිවයුතු ය.