රාජ්‍ය ආයතන රාශියක් බරපතල  ලෙස තොරතුරු පනතේ විධිවිධාන උල්ලංඝනය කරලා 

මින් ඉදිරියට පනතේ විධිවිධාන පරිදි කටයුතු කරන්න – තොරතුරු කොමිසම

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිලිබඳ පනතේ මූලික පරමාර්ථය වන්නේ පුරවැසියන් සවිබල ගැන්වීමයි. එමෙන්ම   රජය වැඩ කිරීමේදී විනිවිධභාවය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම, දූෂණය පාලනය කිරීම සහ  ප්‍රජාතන්ත්‍රවාදය ජනතාව වෙනුවෙන් සැබෑ අර්ථයෙන් ක්‍රියාත්මක කිරීමයි. එමෙන්ම පුරවැසියෙකු ලෙස  පාලක ක්‍රියාවලින්  පිළිබඳ අවදියෙන් සිටීම සහ රාජ්‍ය පාලනය තුළ ඇති වගකීම්  වගවීම්  ඇති කිරීම සඳහා පුරවැසියන් හට තොරතුරු පනතින් අවකාශය උදා වේ. සැබවින්ම  කියතොත් තොරතුරු පනත රජයේ ක්‍රියාකාරකම් පිළිබඳව පුරවැසියන්ට  දැනුම්වත්වීම  සඳහා විශාල පියවරකි.

 ශ්‍රී ලාංකීය මහජනතාවට  තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට  නෛතික වශයෙන් ප්‍රවේශය ලබා දෙමින්   තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව, 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ස්ථාපනය කරනු ලැබූ දින සිට මේ දක්වා ලංකාවේ පොදු අධිකාරීන් බොහෝ ප්‍රමාණයකට  යොමුකරන ලද තොරතුරු දැනගැනීමේ අයදුම්පත් 3000ක අදික ප්‍රමණයක්  මගින් සිදුකරන ලද විශේලෂණයකට අනුව මෙම ලිපිය සම්පොඅදනය කරනු ලැබේ.

විශේෂයෙන්ම තොරතුරු පනත  මගින් ජනතාවට තොරතුරු දැනගැනීමේ  අයිතිය මැනවින් ආරක්ෂා වීම සඳහා මූලික අවශ්‍යතා 3ක් පිළිබඳව අවධානය යොමු කිරීමට සිදුවේ.එහිදී

1. තොරතුරු සඳහා ඇති ප්‍රවේශය ලබා දීම,

2. තොරතුරු ප්‍රසිද්ධ කිරීම සඳහා රාජ්‍යමය ආයතනවලට ඇති වගකීම

3. තොරතුරු ඉදිරිපත් කිරීමට ඇති වගකීම යන්න ද ඒ අතර වේ.

 නමුත් අද වනවිට ලංකාව තොරතුරු පනත භාවිත කරන විට අත්දකින ලද සිදුවීම් හා ඒ සම්බන්ද සිදුකරන ලද  පර්යේෂණ සැලකිල්ලට ගැනීමේදී  ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන මගින්  පුරවැසියන්හට තොරතුරු සඳහා ඇති ප්‍රවේශය ලබා දීම නොයෙක් ආකාරයෙන් අහුරා ලීමට කටයුතු කරන බවද  නිරීක්ෂණය වේ. ඒ තුළ තොරතුරු ඉල්ලුම්පත් සඳහා නියමිත පරිදි ප්‍රතිචාර නොදැක්වීම, නියමිත දිනට තොරතුරු නොදීම ආදී ව්‍යස්ථාපිත නියමයන් කඩ කිරීම ආදී කාරණා මෙන්ම බොහෝ විට පනතේ ව්‍යස්ථාපිත නියමයන් වලට  පරිබාහිරව ඔවුන් හට වාසි සහගත ලෙස නිතිය සකස් කරගැනීමට උත්සහ දරමින් පුරවැසියා නොමඟ යැවීම ආදී කරනා ඒ අතර කැපී පෙනේ.

 මේ ආකාරයෙන්  දිවයිනේ බොහොමයක් පොදු අධිකාරීන් තොරතුරු දැනගැනීමේ පනතේ ඇති නියමයන්ට අනුව කටයුතු නොකරන බව පසුගිය කාලය තුලදී සිදුකරන ලද තොරතුරු ඉල්ලීම් සඳහා නියමිත දිනවකවානු තුලදී තොරතුරු නොදුන් පොදු අධිකාරීන් රාශියක්  සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකකම පිළිබඳ කොමිසන් සභාව  මගින් සිදුකළ අභියාචනා විභාගයන් හිදී ලබාදුන් තීන්දු මගින්ද මැනවින් පෙනී යයි. එහිදී ව්‍යස්ථාපිත නියමන්ට අනුව කටයුතු නොකළ අදාළ පොදු අධිකාරීන්ට එරෙහිව නියෝග නිකුත් කිරීමද තොරතුරු කොමිසම මගින් සිදුකරන ලදී.

තොරතුරු කොමිසම මගින් එසේ නියෝග නිකුත්කරනු ලැබූ පොදු අධිකාරීන් අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් කාර්යාලය,රත්නපුර දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් කාර්යාලය,කොළඹ දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන  සහකාර කොමසාරිස් කාර්යාලය,ඇතුළු තවත් පොදු අදිකාරීන්  කීපයක් වේ.

 තොරතුරු කොමිසම මගින් අදාළ පොදු අදිකරින් සදහා ලබාදී තිබෙන නියෝගයන්හි පැහැදිලිව සඳහන් වන්නේ ‘’ පොදු අධිකාරියක් වශයෙන් අභියාචනයට අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් පනතේ ප්‍රතිපාදන අනුව ක්‍රියා නොකර තිබීම බරපතල  ලෙස තොරතුරු පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීමක් බව නිරීක්ෂණය වේ. එබැවින් මින් ඉදිරියට පනතේ විධිවිධාන පරිදි නියමිත කාලසීමාව තුළ තොරතුරු ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පොදු අධිකාරිය ක්‍රියාකළයුතු  බවට සඳහන් කරමු’’ යනුවෙනි.

විශේෂයෙන්ම මෙම නියෝගයන් වංගු වන්නේ මෙම පොදු අදිකරින් සදහාම පමණක් නොවේ. පුරවැසියාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය පසෙක දමා තම නිලධාරී වාදයන්, දේශපාලනික සම්බන්ධතා පෙරදැරිව, අල්ලස දුෂණය නාස්තිය සැඟවීම උදෙසා පුරවැසියන් අපහසුතාවයන්ට ලක්කරමින් තොරතුරු පනතේ විධානයන් කඩකරමින් කටයුතු කරන ලංකාවේ සියළුම පොදු අධිකාරීන් සඳහා මෙම නියෝගයන් වලංගු විය යුතුය.

 විශේෂයෙන්ම  තොරතුරු ලබාදීමේ දින වකවානු සම්බන්ධයෙන් දක්වන අඩු සැලකිල්ල මෙහිදී නිරීක්ෂණය වු  ප්‍රබල කාරණාවක් වේ. 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ  25 (1) වගන්තියට අනුව තොරතුරු ලබා දීම හෝ  තොරතුරු අයදුම්පත සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් දින 14ක කාලයක් තුල තොරතුරු ඉල්ලුම්කරු දැනුවත්කළ යුතු ය. නමුත් අද වන විට බොහොමයක් පොදු අධිකාරීන් මෙම නියමයන් කඩ කරමින් පුරවැසියාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය නොසලකා තිබෙන බවද පෙන්වා දීමට හැකිය.

 එමෙන්ම නියමිත දින වකවානු අනුගමන නොකරමින් වසර ගණන් ගත කරමින් තොරතුරු ලබාදීම ප්‍රමාධ කරන පොදු අධිකාරීන්  අතර ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් අධිකාරි කාර්යාල කැපී පෙනෙයි. මෙහෙදී පසුගිය කාලය තුලදී සිදුකළ සොයා බැලීමේදී අනාවරණය වුයේ දිවයිනේ  පොලිස් අධිකාරී කීපයක් හැරුණු කොට බොහොමයක් පොලිස් අධිකාරී කාර්යාල තොරතුරු පනතේ ව්‍යස්ථාපිත නියමයන් අනුගමනය නොකරන බවයි. එමෙන්ම ඒ ආකාරයෙන් ව්‍යස්ථාපිත නියමයන් කඩකරනු ලැබූ තවත් පොදු අධිකාරීන් කීපයක් ලෙස අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගොවිජනසේවා මධ්‍යස්ථාන, රෝහල්,පාසල්,වනජීවී සංරක්ෂණ දෙපාර්ත මේන්තුව,මහාමාර්ග අමාත්‍යාංශය,ආදී පොදු අධිකාරින්ද වේ.

බොහෝ විට  තමන්ගේ ආයතනයට ,පුද්ගලයින්හට යම් බලපෑමක් එල්ලවන අවස්ථාවන්හිදී එම තොරතුරු ලබාදීමට ඉහත පොදු අධිකාරීන් විසින් කටයුතු නොකිරීම හා තොරතුරු ලබාදීම ප්‍රමාද කිරීම සිදුකරන බව   සිදුකළ පර්යේෂණයේදී අනාවරනය කරගැනීමට හැකිවූ දෙයකි.

  මේ නිසාම තොරතුරු ඉල්ලිම්කරුට මාස ගණනක් වසර ගණනක් යනතුරු තොරතුරු ලබාදීමට බොහොමයක් පොදු අධිකාරීන් කටයුතු නොකිරීම තුළ  තොරතුරු ඉල්ලුම්කරුගේ තොරතුරු අවශ්‍ය වු කාරණයන් ඉටු කර ගැනීමට නොහැකි තත්වයක් උදාවී තිබේ. මේ ගැන දන්නා පොදු අධිකාරීන් හිතාමතාම තොරතුරු ලබාදීම ප්‍රමාධ කරනු ලැබේ. එසේ සිදුකරන රාජ්‍ය ආයතන අතර දුෂිත ක්‍රියාවන් සැගවීමට උත්සහ දරන රාජය ආයතන රාශියක්ද තිබේ.එමෙන්ම මෙම ආයතන සදහා එම දුෂිත ක්‍රියාවන් සිදුකිරීමට තවත් අවස්තාවක් නොදී කල් ගත නොකරමින් හැකි ඉක්මනින්අභියාචනා විභාග කිරීම තොරතුරු කොමිසමේද වගකීමක් වියයුතුය.

තොරතුරු ඉල්ලුම්කරු  පාවාදෙන රාජ්‍ය නිලධාරීන්

  විශේෂයෙන්ම රටේ සිදුවන දුෂණ වංචා මෙන්ම පරිසර විනාශයන් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ තොරතුරු විමසීමේදී මේ ආකාරයෙන් අදාළ  පොදු අධිකාරීන් මගින් තොරතුරු විමසීමේදී  එම පොදු අදිකරින් තුල සිටින සමහර  නිලධාරීන් විසින් තොරතුරු ඉල්ලුම් කරුවන්ගේ තොරතුරු අදාල වංචාව හෝ පරිසර විනාශය සිදුකරන පුද්ගලයින්හට  ලබාදීමට කටයුතු කර තිබෙන අවස්ථාද නිරීක්ෂණය වී තිබේ. ඒ තුල තුල තොරතුරු ඉල්ලුම් කරුවන්ගේ ජීවිත සදහාද බරපතල බලපෑමක් එල්ල වී තිබේ. එයින් හැග වෙන්නේ එම ජාවාරම් කරුවන් හා නිලධාරීන් අතර ඇති සම්බන්ධ තාවයයි.

  මේ ආකාරයෙන්ම පතල් හා භූ විද්‍යා කාර්යාංශය මගින් වැලි කැනීම් සම්බන්ධයෙන් බලපත්‍ර නිකුත් කිරීම් ගැන  අවස්ථා කීපයකදීම තොරතුරු ඉල්ලා සිටි විටදී අදාල තොරතුරු ඉල්ලිම්කරුගේ  තොරතුරු අදාළ වැලි ජාවාරම් කරුවන්ට ලබා දී තිබුණි. පසුව අදාල වැලි ජාවාරම් කරුවන්ගෙන් විවිද බලපෑම සදහාද ලක්වීමට සිදුවී තිබේ.  

   එමෙන්ම වීරකැටිය කසාගල ප්‍රදේශයේ විහාරයක් සිදුකරන නීති විරෝධී වැලි කැනීම සම්බන්ධයෙන් 2022 ජනවාරි මාසය තුලදී  පතල්  හා භූ විද්‍යා කාර්යාංශය මගින් තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවකදී අදාල වැලි කැණීමට ආධාර උපකාර කරනු ලබන ලංකාවේ ප්‍රබල දේශපාලඥයෙකුගේ ආරක්ෂක නිලධාරියෙකු හට අදාළ පොදු අධිකාරියේ ඉහල නිලධාරියෙකු විසින් අදාල තොරතුරු ඉල්ලීම පිළිබඳ  තොරතුරු ලබාදීමට කටයුතු කර තිබෙන බවට තොරතුරු ලැබී තිබේ.

  මේ ආකාරයෙන්ම කුඹුරු ඉඩම්වල නීති විරෝධී වැලි කැනීම් සඳහා අවසර ලබාදීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය මගින් දිගින් දිගටම තොරතුරු ලබාගනිමින් මාධ්‍ය වාර්තා ගණනාවක් පලකළ අතර එහිදී අවස්ථා කීපයකදී හම්බන්තොට ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකු ඒ සම්බන්ධයෙන් සිදුකළ තොරතුරු ඉල්ලීම සම්බන්ද තොරතුරු අදාළ වැලි කැනීම සිදුකරන පුද්ගලයින් හට ලබාදීමට කටයුතු කර තිබේ.

  ගොවිජන සේවා නිලධාරීන් නිසියාකාරව නිතිය ක්‍රියාත්මක නොකරීම නිසා මාධ්‍ය වේදීන් විසින් එම වැරදි මහජනතාවට මේ කාරයෙන් පෙන්වා දීම සමාජ වගකීමක් වේ.   ගොවිජන සේවා දෙපාර්ත මෙන්තුවේ ඉහල නිලධාරින්ද මේ සම්බන්ධයෙන් නිහඩ පිලිවතක් අනුගමනය කරන පසුබුමක  මේ ආකාරයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි මෙන්ම විවිධ පුද්ගලයින් සිදුකරන නීති විරෝදී ක්‍රියා පෙන්වා දීම සිදු කිරීම පුරවැසියන්ගේ මෙන්ම  මාධ්‍යවේදින්ගේද යුතුකමක් වගකීමක් වන්නේය, ඒ සදහා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මගින් ලබා දී ඇති තොරතුරු ලබාගැනීමේ අයිතිය  මගින් ඉමහත් පිටු බලයක් ලැබේ. නමුත් එම තොරතුරු ඉල්ලීම් හමුවේ පුරවැසියන් මේ ආකාරයෙන් අපහසුතාවයන්ට , තර්ජනයන්ට ලක්වෙනම් එය ලංකාවේ  පවතිනවයි කියන ප්‍රජාතන්ත්‍රවාදයට සිදුකරන බරපතල අභියෝගයක්ද වේ.

 එමෙන් තොරතුරු ඉල්ලුම් කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම මෙන්ම  ඒ සදහා බලපෑම් එල්ල කරමින්  කටයුතු කරනු ලබන රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව නීතිමය පියවරක් ගත හැකි  ශක්තිමත් නීතිමය යාන්ත්‍රණයක් සැකසීම ප්‍රජාතන්තවාදී රජයක වගකීමකි යුතු කමකි.