ගෝලීය සංවර්ධනය සඳහා “නව යුගයක්” ආරම්භ කිරීමට චීනය “බ්‍රික්ස්” සමග පෙරමුණ ගනී

0
173

සියවසකට වැඩි කාලයක් තුළ විශාලතම ගෝලීය ආර්ථික අර්බුධයට අප මුහුණ දෙමින් සිටී. වසර 2020දී රටවලින් සියයට 90ක ආර්ථික ක්‍රියාකාරකම් අක්‍රීය වී ඇත. ලෝක ආර්ථිකය සියයට 3න් හැකිලී තිබේ. මෙවන් තත්ත්වයක් තුළ ගෝලීය ආර්ථිකය යළිත් නඟා සිටුවන්නට ආර්ථික බලවතුන්ට හැකිවේද?  ඒ සඳහා ලොව ප්‍රමුඛ ආර්ථික බලවතුන්ගේ මැදිහත් වීම කවරේද? මේ වෙනුවෙන් කිසියම් බලාපොරොත්තුවක පෙර නිමිති දකින්නට ලැබෙන්නේ ගෝලීය ආර්ථික සහයෝගීතාව සහ නැඟී එන වෙළඳපොළ ආර්ථිකයේ පොදු සමෘද්ධිය සහිත සාමකාමී ලෝකයක් ගොඩ නැඟීමේ අරමුණින් ක්‍රියාත්මක BRICS 14වන සමුළුවයි.

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව යන රටවල් එහි සාමාජිකත්වය දරයි. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මුලසුන හෙඹවූ 14 වන බ්‍රික්ස් සමුළුව මෙවර චීනයේ සත්කාරකත්වයද සමග 23 සහ 24 වැනිදා බෙයිජිංහිදී පැවැත්විණ.

මෙම සමුළුව පැවැත්වෙන්නේ මානව වර්ගයාගේ අනාගත ගමන් මග හැඩගැස්වීමේ තීරණාත්මක සන්ධිස්ථානයකදී වීම වැදගත් කරුණකි. බ්‍රික්ස් රටවල් වැදගත් නැඟී එන වෙලඳපොළවල් සහ ප්‍රධාන සංවර්ධනය වෙමින් පවතින රටවල් ලෙස, වගකීමේ හැඟීමකින් ක්‍රියා කළ යුතු බවට චීන ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. මේ වන විට ලොව පුරා ඇවිළී යන යුධ ගැටුම් හමුවේ සහයෝගීතාවය සහ ලෝක සාමය ආරක්ෂා කිරීමේ අවශ්‍යවතාව චීන ජනාධිපතිවරයා අවධාරණය කිරීම කාලෝචිත මැදිහත් වීමක් ලෙස පෙනී යයි. සමහර රටවල් නිරපේක්ෂ ආරක්ෂාව සෙවීම සඳහා මිලිටරි සන්ධාන පුලුල් කිරීමට උත්සාහ කරයි. අනෙකුත් රටවල්වලට පැති තෝරා ගැනීමට බල කිරීම මගින් කණ්ඩායම් මත පදනම් වූ ගැටුමක් ඇති කිරීම මෙන්ම අන්‍යයන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා වෙනුවෙන් ඒකපාර්ශ්වික ආධිපත්‍යයක් අනුගමනය කරනු අපට පෙනේ. මෙවැනි භයානක ප්‍රවණතා දිගටම පැවතීමට ඉඩ දුනහොත්, ලෝකය මීටත් වඩා කැළඹීමක් සහ අනාරක්ෂිත බවක් අත්විඳිනු ඇත. බ්‍රික්ස් රටවල් මූලික අවශ්‍යතා සහිත ගැටළු සම්බන්ධයෙන් එකිනෙකාට සහයෝගය දැක්වීම, සැබෑ බහුපාර්ශ්විකත්වය ප්‍රගුණ කිරීම, යුක්තිය, සාධාරණත්වය සහ සහයෝගීතාවය ආරක්ෂා කිරීම සහ අධිපතිවාදය, හිරිහැර කිරීම සහ බෙදීම ප්‍රතික්ෂේප කිරීම වැදගත් බවට ෂී ජින් පිං මහතා සමුළුවේදී සඳහන් කර ඇත. ගෝලීය ආරක්ෂක මුලපිරීම (GSI) ක්‍රියාත්මක කිරීමට, පොදු, විස්තීර්ණ, හවුල් සහ තිරසාර ආරක්ෂාව පිළිබඳ දැක්මක් වෙනුවෙන් පෙනී සිටීමට මෙන්ම ගැටුම පිළිබඳ සංවාදය, සන්ධානය පිළිබඳ හවුල්කාරිත්වය සහ ජයග්‍රහණය පිළිබඳ සංවාද ඇතුළත් ආරක්ෂාව සඳහා නව මාවතක් නිර්මාණය කිරීමට චීනය බ්‍රික්ස් හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමට පියවර ගන්නා බවත් චීන ජනාධිපතිවරයාගේ බ්‍රික්ස් යෝජනා මගින් පෙනී යයි.

බ්‍රික්ස් රටවල් කාර්මික සහ සැපයුම්දාමවල සම්බන්ධතාවය ඉහළ නැංවිය යුතු අතර දරිද්‍රතාවය අඩු කිරීම, කෘෂිකර්මය, බලශක්තිය, සැපයුම් සහ වෙනත් ක්ෂේත්‍රවල අභියෝගවලට ඒකාබද්ධව මුහුණ දිය යුතු බවට ෂී ජින් පිං මහතා සමුළුව අමතමින් සඳහන් කිරීමද අප වැනි රටවලට මහත් බලාපොරොත්තුවක පෙරනිමිති එක් කර තිබේ.

වෙනත් රටවල ස්වාධීනත්වයට අත පෙවීම පමණක් නොව නවෝත්පාදනය සම්බන්ධයෙන්ද  මේ වන විට ලෝ පුරා ගැටළු මතුව ඇති බව පෙනෙන්නට ඇත. නවෝත්පාදනය ආරක්ෂා කිරීමට සහයෝගීතාවයේ විභවය සහ ජීව ශක්තිය මුදා හැරිය යුතු බවටත්, වෙනත් රටවල නවෝත්පාදන හා සංවර්ධනය කඩාකප්පල් කිරීම සඳහා විද්‍යාව හා තාක්‍ෂණය තුළ ඒකාධිකාරය, අවහිර කිරීම් සහ බාධක ඇති කිරීමට උත්සාහ කරන අයට එරෙහිව හවුල්කාරිත්වය ගොඩනැගීම වේගවත් කර, ඩිජිටල් ආර්ථික හවුල්කාරිත්ව රාමුව වෙත ළඟා වී, නිෂ්පාදන ඩිජිටල්කරණය පිළිබඳ සහයෝගීතාව සඳහා මුලපිරීම නිකුත් කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපතිවරයා බ්‍රික්ස් සමුළුව අමතමින් අවධාරණය කර ඇත.

ලෝක ආර්ථිකයෙන් 27%කට වැඩි ප්‍රමාණයකට බ්‍රික්ස් රටවල් දායක වී සිටී. එම නිසා බ්‍රික්ස් සමුළුව විසින් ගණු ලබන ආර්ථිකමය තීරණයන් ගෝලීය ආර්ථිකයේ සෘජු වර්ධනයකට හේතු වන බව විශ්වාසයෙන් කිව හැකිය. කොරොනා වසංගතයත් සමග ආර්ථිකයේ පතුළටම කිදා බැස තිබූ රාජ්‍යන්  සඳහා එන්නත්කරණයෙන් හා සෞඛ්‍ය ආධාර ලබා දෙමින් මිත්‍රත්වයේ දෑත දිගු කළ පළමු රට වූයේ චීනයයි. වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ අංශවලට වැඩි අවස්ථාවන් නිර්මාණය කිරීම සඳහා මෙන්ම, ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ සහයෝගීතාවයට වසංගතයෙන් ඇති වූ බලපෑම් අවම කිරීම සඳහාද වෙළඳ පහසුකම් සැපයීමේ මට්ටම තවදුරටත් ඉහළ නැංවීමටද බ්‍රික්ස් කණ්ඩායමේ අවධානය යොමුව ඇත. වැටුණ ආර්ථිකයන් නඟා සිටුවීමේ භාරධූර වගකීම ලොව ප්‍රධානම ආර්ථිකයන් හිමි රටක් ලෙස චීනය භාරගෙන තිබේ. නව ආර්ථික සහයෝගීතා ගොඩනගමින් නැඟී එන ආර්ථිකයන් අතර එකමුතුවක් ගොඩනැගීමට චීනය ක්‍රියා කරයි. බ්‍රික්ස් සංවිධානයේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති සංවර්ධන බැංකුව මෙම ආර්ථික ක්‍රියාකාරකම් ඉදිරියට රැගෙන යාම සඳහා පිටුබලයක් සපයනු ඇත. බ්‍රික්ස් රාජ්‍යන් සතු මූල්‍ය ශක්තිය ඒ හරහා හදිසි සහන සැලසීම් ලෙස අවශ්‍ය රටවලට ලබා දීමට චීන ජනාධිපතිවරයා පෙරමුණ ගෙන තිබේ. බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ආරක්ෂා කිරීමට චීනය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල හරහා ප්‍රතිඥා දුන්නේ වසර ගණනාවකට පෙරය. එම වැඩපිළිවෙල මගින් චීනය ලෝකයට ලබා දුන් ජයග්‍රහණ තව දුරටත් ඉදිරියට ගෙන යමින් කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායන්ටද වෙළඳ හා ආයෝජන ක්‍රියාකාරකම් සිදු කිරීමටත්, ගෝලීය වටිනාකම් දාමයට  ඒකාබද්ධ වීමට හිතකර තත්ත්වයක් නිර්මාණය කිරීමටත් චීනය බ්‍රික්ස් කණ්ඩායම හරහා අපේක්ෂා කරයි.

ගෝලීය ආර්ථික පසුබැස්මක් ඇති මෙවන් මොහොතක ඉහළම ආර්ථිකය හොඹවන ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල කාර්යභාරය මේ මොහොතේ යුධ ජයග්‍රහණ වෙනුවෙන් වෙන් කොට තිබෙන බව පෙනෙන්නට තිබේ. බිලියන ගණනින් තම පටු පරමාර්ථ සාක්ෂාත් කිරීම වෙනුවෙන් යුද්ධයට අනුබල දෙනවා මිස අන්ත අසරණ ලෙස ආර්ථික අහේනියට පත් රටවලට දිළිඳු බවින් මිදීමට සහාය පළකරන බවක් පෙනෙන්නට නැත. මේ මොහොතේ පෙරමුණේ සිටින රටවල කාර්යභාරය විය යුත්තේ සෙසු රටවල ආර්ථිකයන්ටද සහාය වෙමින් ගෝලීය ආර්ථිකය නඟා සිටුවීමයි. එමඟින් ගෝලීය ආර්ථිකයේ ඵල නෙළා ගැනීමට සියළුම රටවලට අවකාශ සැලසෙනු ඇත. එම නිසා මෙවන් කාල පරිච්ඡේදයක බ්‍රික්ස් සමුළුව හරහා සමස්ථ ගෝලීය ආර්ථිකයට දක්වන දායකත්වය පිළිබඳව ලෝකයම බලා සිටී.

ලෝකයේ දෙවන ආර්ථිකයට හිමිකම් කියන්නේ චීනයයි. ගෝලීය ආර්ථිකය තුළ අසාමාන්‍ය පෙරළියක් සඳහා දශක ගණනාවක සිට චීනය දක්වන දායකත්වය සුළු පටු නොවේ. චීනයේ අතිමහත් සාර්ථකත්වයකින් තොරව බ්‍රික්ස් කණ්ඩායමක් ගැන කතා කිරීමට නොහැක. චීනයේ ජයග්‍රාහී මාවත විවර වූයේ මීට වසර 30ටත් පෙරයි. ලෝක වෙළඳපොළේ පවතින කැළඹිලි සහගත බව සමනය කොට ඊට වැඩි ස්ථාවරත්වයක් ලබා දීමට චීනය මුලසුන ගනු ඇත. නැඟී එන ආර්ථිකයන් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල සාමූහික නැඟීමට මෙම බ්‍රික්ස් සමුළුවෙන් ඵලදායී දිශානතියක් හඳුන්වාදෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

සටහන – සුනේත්‍රා කුමාරි

            මාධ්‍යෙව්දීනී