ගිනිගත් මැති ඇමති නිවාස හදන්න තිබෙන උනන්දුව ගිනිගෙන විනාශ වු වතු නිවස හදල දෙන්න නැත්තේ ඇයි?

ගිනිගත් වතු නිවාස තාවකාලිකව ඉදිකර ඇති අයුරු 1

මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, ක්වීන්ස්ලන්ඩ් කොටසේ 2021 දී හදිසි ගින්නකින් විනාශ වූ වතු  නිවාස 20 සඳහා මේ දක්වා නව නිවාස ඉදිකර නොදීම නිසා   එම වතු කම්කරුවෝ දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

මෙම වතු නිවාස පෙළ 2021.03.17 වන දින හටගත් හදිසි ගින්නකින් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත් වූයේ එම නිවාසවල වාසය කළ වතු කම්කරු පවුල්වල සාමාජිකයින්ගේ  ඇඳිවත පමණක් ඉතිරි කරමිනි.

මස්කෙළිය වැවිලි සමාගමට අයත්, මස්කෙළිය බ්‍රන්ස්වික් තේ වතුයායේ පාලනාධිකාරිය මගින් ගින්නෙන් විනාශ වූ නිවාස සඳහා  තාවකාලිකව ඉදිකිරීම කර ගැනීමට සෙවිලි තහඩු හා දැව කඳන් ලබා දුන් බවත්, එම ද්‍රව්‍ය වලින් පෞද්ගලික වියදමින් අවම පහසුකම් සහිත තාවකාලික නිවාස, ගිනිගත් නිවාස පිහිටි ස්ථානයේම  ඉදිකර ගනු ලැබූ බව මෙම වතු කම්කරුවෝ පවසති.

එම නිවාස වලට විදුලි පහසුකම් වසරකට වැඩි කාලයක් නොමැතිවීමෙන් දැඩි දුෂ්කරතා මධ්‍යයේ තම දරුවන් සමග දිවි ගෙවන බවත්, දේශපාලනඥයන් මැතිවරණ සමයේදී පැමිණ ලබා දුන් පෙරොන්දු මේ දක්වා කිසිවක් ඉටු නොවීමෙන් හා  රටේ පවතින දැඩි ආර්ථික අපහසුතාවයන් නිසා තමන් අන්ත අසරණ තත්වයට   ඇද වැටී ඇති බවත් මෙම වතු කම්කරුවෝ පැවසූහ.

බ්‍රන්ස්වික් තේ වතුයායේම  නිවාස අහිමි වතු කම්කරු පවුල් හා ගින්නෙන් විනාශයට පත් පවුල් වෙනුවෙන්  අංග සම්පූර්ණ නව නිවාස 40 කින් සමන්විත සංකීර්ණයක් බ්‍රන්ස්වික් වතුයායේ, ක්වීන්ස්ලන්ඩ් කොටසේ ඉඩමක ඉදිකිරීමේ කටයුතු 2018.08.07 දින ආරම්භ කරනු ලැබුවේ එවකට පැවති රජයේ නව ගම්මාන හා සමාජ සංවර්ධන අමාත්‍ය හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පළනි දිගම්බරන් මහතාගේ ප්‍රධාවත්වයෙනි.

එම නිවාස සංකීර්ණයේ නිවාසවල ඉදිකිරීම් කටයුතු අඩක් නිම කර තිබියදී අතරමග නවතා දැමුණේ මහ මැතිවරණයක් පැමිණි නිසාය. 2020 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පත් වූ නව රජය යටතේ එම නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ නොකිරිම හේතුවෙන් මිලියන ගණනක් වැය කර ඉදිකරණ ලද  නිවාස  කැළෑ වැදී ඇත්තේ වතු කම්කරු අපේක්ෂාවන් බොඳ කරමිනි.

බ්‍රන්ස්වික් තේ වතුයායේ, ක්වීන්ස්ලන්ඩ් කොටසේ නිවාස අහිමි වතු කම්කරුවන් අවසන් වශයෙන් අප සමග කියා සිටියේ, වසර 200 කට ආසන්න කාලයක් තම පරම්පරාවන් හා මේ වන විට තමන්ද ශ්‍රීලංකාවට විදේශ විනිමය ලබා දීම සඳහා දහඩිය, ශ්‍රමය හා ජීවිතය පවා තේ ගස වෙනුවෙන් කැප කර තිබියදී වත්මනයේ තමන් ඇතුළු දරුවන්ට හිසට සෙවනක් නොමැතිව අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් අන්ත අසරණව සිටින බවය.

කෙසේ නමුත් පසුගිය දිනයන්හි ඇතිවූ සමාජ දේශපාලන අර්බුද හමුවේ ගිනිගෙන විනශ වු මන්ත්‍රි ඇමති නිවස වෙනුවෙන් වන්දි ලබාදීමට බලධාරීන් දේශපාලඥයින් තුල තිබෙන උනන්දුව මේ රටේ මේ අහිංසක මින්සුන් කෙරෙහි නොදැක්වීම තුළම මේ රටේ සාමාන්‍ය ජනතාවට වෙනස්කොට සැලකීම මානව පෙන්නුම් කරයි.