වසන්ත ඩලස්ට වසන්තයක් වෙයි…

0
841

මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත නොවිමසා ඔවුන් විකිණීමේ වැඩපිළිවෙළක් දේශපාලන පක්ෂයක් විසින් ක්‍රියාත්මක කරන්නේ නම් එම අධිතක්සේරු පක්ෂ මානසිකත්වය පරාජය කළ යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,නීතීඥ වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි.

කෙටිකාලීන ලාභ අපේක්ෂාවෙන් අවස්ථාවාදී ලෙස එක් එක් පුද්ගලයින් කුලියට ගෙන ඒ අය පසුපස සිට ගැනීමේ නිවට ක්‍රමය වෙනුවට ජනපති ධූරයට ඩලස් අලහප්පෙරුම මහතා පත්කර ගැනීම මේ මොහොතේ ගතහැකි සුදුසුම තීරණය බවද ඒ මහතා කීය.
ජනපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීමේදී සහය ලබා දෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දුන් හා නොදුන් ජනතාව අද වික්ෂිප්ත මනසින් මන්ත්‍රීවරුන්ව ප්‍රශ්න කරන බවත් මේ මොහොතේ හෝ සමාජ වගකීම නිවැරදිව තේරුම් ගෙන කටයුතු කිරීම මහජන නියෝජිතයින්ගේ වගකීම බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මේ මොහොතේ ජනපති හෝ අගමැති වගකීම බාර ගැනීම ගිනි කන්දක් හිස මත තබා ගැනීම හා සමාන බාරදූර එකක් බවත් පවතින මූල්‍ය,ආර්ථික,දේශපාලන හා සමාජ අර්බුදයට විසඳුම් සෙවීමට ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් සර්වපාක්ෂික එකඟතාවකින් කටයුතු කළ යුතුව තිබෙන බවත් වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසුවේය.

පළල් මහජන විශ්වාසයක් ඇති රටේ අර්බුද නිවැරදිව කළමනාකරණය කරගත හැකි ආදර්ශමත් පුද්ගලයෙකු සියලු පක්ෂවල එකඟතාවයකින් ජනපති ධූරයට පත්විය යුතුව තිබෙන බවත් ඒ සඳහා වංචාවෙන් දූෂණයෙන් තොර ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයෙකු වන ඩලස් අලහප්පෙරුම මහතා සුදුසු බව තම විශ්වාසය බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.