සර්ව පාක්ෂික රජය පිහිටුවීම සදහා අපේ පක්ෂයේ තීරණය ලබන 03 දින ජනාධිපතිවරයාට දැනුම් දෙනවා

සර්ව පාක්ෂික රජය පිහිටුවීම සඳහා කඳුරට ජනතා පෙරමුණ ප්‍රමුඛ  ද්‍රවිඩ ප්‍රගතිශීලි පක්ෂයේ තීරණය ලබන 03 දින ජනාධිපතිවරයාට දැනුම්දීමට පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කඳුරට ජනතා පෙරමුණ පක්ෂයේ නායක වී. රාධාක්‍රිෂ්ණන් මහතා පැවැසීය.

නුවරඑළිය නගරයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා අද (01) මේ බව කීය.

එහෙදී තවදුරටත් අදහස් දැක්වු ඒ මහතා

වර්තමාන ජනාධිපතිවරයා සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා මන්ත්‍රීවරුන්ටත්, දේශපාලන පක්ෂවලටත් දැනුම්දීලා  තිබෙනවා. ඒක ඉත්මත් සතුටුදායක පණිවුඩයක්. නමුත් සර්ව පාක්ෂික රජයක් පිහිටුවන්නේ කුමණ අයුරෙන්ද යන්න පිළිබඳව අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. කඳුරට ජනතා පෙරමුණත් අපි සම්බන්ධව සිටින ද්‍රවිඩ ප්‍රගතිශීලි පෙරමුණත් මේ පිළිබඳව තීරණයක් ගන්න ඉන්නේ ලබන 03 දිනයි. අපි එදිනට එකතුව සාකච්ඡා කොට ඊට අපේ කැමැත්ත හෝ අකමැත්ත ජනාධිපතිවරයාට දැනුම් දීමට පියවර ගන්නවා.

සර්ව පාක්ෂික රජයක් ඇති කරලා ඒකෙන් රටට යම් කිසි දෙයක් සිදු වෙනවාලම් ඒක හොද දෙයක්. එහෙම වෙනවානම් ඒකට අපි සුදානම්. සර්ව පාක්ෂික රජයක් කියලා තම තමන්ගේ පක්ෂ හදා ගන්න කටයුතු කරනවානම් ඒකට ගිහින් වැඩක් නැහැ. එහෙමනම් අපි විපක්ෂයේ ඉදලා හොද වැඩවලට උදව් කරනවා. රටට හොද දෙයක් වනවානම් විතරයි අපි ඊට එක් වන්නේ.

සමගි ජනබලවේගය සුළු පක්ෂ එක්ක තමයි ඉන්නේ. ඒ අය ගන්න තීරණ අපිටත් බලපානවා. ඊට අමතරව සුළු පක්ෂ වෙනුවෙන් අපිට තීරණයක් ගන්නත් වෙනවා. අපි අපේ නියෝජනය සිදු වන කඳුරට ජනතාව වෙනුවෙන් ඒ අයගේ ප්‍රශ්ණ වෙනුවෙන් පෙනී සිටින්න අවශ්‍යයි. කඳුරට ජනතාව විවිධ ප්‍රශ්ණ හා විවිධ ගැටළු රැසකට මේ වනවිට මුහුණ පා සිටිනවා. අපි ඒ අයගේ එම ප්‍රශ්ණ ගැනත් බලන්න ඔීනෑ. ඒ අයටත් යම් කිසි සහණයක් හා උපකාරයක් ලැබෙනවනම් ඒ ගැනත් අපි කල්පනාවට ගන්න ඔීනෑ.රටේ ප්‍රශ්ණත්, අපි නියෝජනය කරන පළාතේ ප්‍රශ්ණත් යන ඒ දෙකම එකයි.