කඳුකර කොටියෙක් නිවසක් තුල කොටු වෙයි- පැය හතක පමණ මෙහෙයුමකින් කොටියා නිවසින් එළියට ගත් හැටි(Video)

තලවකැලේ, ලිඳුල, ලෝගී වත්තේ කූමුඩ් කොටසේ  වතු කම්කරු නිවසක වහලය මතින් කාමරයක් තුලට  කඳුකර කොටියෙකු  අද (05) අලුයම් කාලයේ වැටී ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.

සුනඛයෙකු දඩයම් කර ගැනීමට  පැමිණිමෙන් පසුව මෙම කඳුකර කොටියා එම ඉලක්කය වැරදී ගොස් මෙසේ වතු නිවාසයේ වහලය මතින් කාමරයට වැටෙන්නට ඇතැයි වනජීවී නිලධාරීහු සැක  කරයි.

කාමරය තුලට වැටුණු කඳුකර කොටියා එම කාමරය තුල කොටුව සිටියදී  ඒ පිළිබඳව සොයා බැලීමට ගිය වතු කම්කරුවන් හත් දෙනෙකුගෙන් සමන්විත පිරිසෙන්  එක් අයෙකුට  කඳුකර කොටියා පහරදී තිබේ.

කඳුකර කොටියාගේ පහරදීමට ලක්ව තුවාල ලැබු  එම පුද්ගලයා  ලිඳුල ප්‍රාදේශීය රෝහලට රැගෙන යාමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට රැගෙන යාමට පියවර තිබේ.

රන්දෙණිගල වන සත්ත්ව පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා ඇතුළු වනජීවී නිලධාරීන්, නුවරඑළිය, හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් සහ ලිඳුල පොලීසියේ නිලධාරීන් එක්ව  වතු නිවසේ දොර ජනෙල්  ලී දඬු  යොදා ආරක්ෂිත වටපිටාවක්  සකසා  කාමරය තුල කොටුව සිටි කොටියා නිර්වින්දනය කිරීමට පියවර ගන්නා  ලදි.

වනජීවී නිලධාරීන් හා පොලීසියේ නිලධාරීන් අද (05) උදෑසන සිට සවස තුන  පමණ වනතුරු පැය හතකට පමණ අධික කාලයක් දැඩි පරිශ්‍රමයක් දරා කඳුකර කොටියා කිසිවෙකුටත් හානියක් නොවන අයුරින් නිවසේ කාමරය තුලින් මුදා ගැනීමට කටයුතු කරන  ලදි. මෙම කඳුකර කොටියා වයස අවුරුදු පහක පමණ හොඳින් වැඩුණු  පිරිමි සතෙකු බවත්, නිර්විදනය කරන ලද කඳුකර කොටියා  ආරක්ෂිතව රැගෙන ගොස් කැළෑවකට මුදා හැරීමට පියවර ගන්නා බව වනජීවී නිලධාරීහු පවසති