දැල් පන්දුවෙන් ලොව ජයගෙන උසස් බාලිකාවට අමරණීය මතකයක් එක්කළ අමරවංශ…

0
101
උසස් බාලිකා විදුහලේ විදුහල්පති මල්කාන්ති අබේගුණසේකර මහත්මිය ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකා ගයන්ජලී අමරවංශ වෙත සමරු තිළිණයක් ලබාදුන් අයුරු. විදුහලේ වත්මන් සිසුවියන් විසින් ගයන්ජලී අමරවංශ ක්‍රීඩිකාව උණුසුම් අන්දමින් පිළිගත් අයුරු.

අධ්‍යාපනයත් ක්‍රීඩාවත් සමබරව පවත්වාගෙන යමින් දෙඅංශයෙන්ම සාර්ථක වීමට දරුවෙකුට හැකියාව තිබෙන බවත් ඊට හොඳම උදාහරණය ගයන්ජලී අමරවංශ දියණිය බවත් මහනුවර උසස් බාලිකාවේ විදුහල්පති මල්කාන්ති අබේගුණසේකර මහත්මිය පවසයි.

ආසියානු ශූරතාව දිනූ ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ නායිකා ගයන්ජලී අමරවංශ ක්‍රීඩිකාවට ඇය සිප්සතර හැදෑරු මහනුවර උසස් බාලිකා විසුහලෙන් උපහාර පිදීම නිමිත්තෙන් පැවැති උත්සවයකදී විදුහල්පතිනිය මේ බව ප්‍රකාශ කළාය.

විදුහල්පති මල්කාන්ති අබේගුණසේකර මහත්මිය ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයත්,වත්මන් හා ආදි සිසුවියනුත්,පාසල් සංවර්ධන සමිතියත් ඒකාබද්ධව මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

හයවන වරටත් ආසියානු ශූරතාව ශ්‍රී ලංකාවට දිනා දීමට නායකත්වය දුන් ගයන්ජලී අමරවංශ ක්‍රීඩිකාවට මෙහිදී උණුසුම් පිළිගැනීමක් ගුරු මණ්ඩලයෙන් හා සිසුවියන් ගෙන් හිමිවිය. පාසැලේ බටහිර තූර්යවාදක කණ්ඩායමේ සාමාජිකයින් විසින් ගයන්ජලීව පිළිගෙන විදුහල වෙත කැඳවා ගෙන එනු ලැබීය.

තුන්වන ශ්‍රේනියේ අධ්‍යාපනය ලබද්දී දැල් පන්දු ක්‍රීඩාවට යොමුවූ ඇය පාසැල් සමයේ සුවිශේෂි දක්ෂතා දක්වමින් 2008 වසරේ පැවැති මයිලෝ කුසලාන දැල් පන්දු තරඟාවලියේදී වයස අවුරුදු 14 න් පහළ හොඳම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගත් බවත් අනතුරුව ක්‍රීඩා අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ජාතික ශූරතා දැල් පන්දු තරඟාවලියේදී පිළිවෙළින් 2012, 2014, 2015,2016, 2017,2018 හා 2019 වසර වලදී දැල් පන්දු රැජින කිරුළ දිනා ගත් බවත් විදුහල්පතිනිය ප්‍රකාශ කළාය.

යම් ඉලක්කයක් දිනා ගැනීම සඳහා හීනයක් තිබෙන්නේ නම් එය සාර්ථක කර ගැනීමට අධිෂ්ඨානය, කැපවීම හා සමානව විනය ද තිබිය යුතු බවත් පාසැලේදී අධ්‍යාපනයට මූලිකත්වය දී ක්‍රීඩාවක නිරත වී ජයග්‍රහණ අත්පත් කර ගැනීමට සෑම සිසුවෙකුටම අවස්ථාව තිබෙන බවත් මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ නායිකා ගයන්ජලී අමරවංශ ක්‍රීඩිකාව පැවසුවාය.