අගමැති කාර්යාලයෙන් සහ අමාත්‍යාංශයකින් ගුවන් හමුදාවට ලක්ෂ 18ක පොල්ලක්

ඇමති දියණියගේ මගුලට මැති ඇමතිවරු උඩින් ගිහින්

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික සම්බන්ධතා අමාත්‍යාංශයේ ලක්ෂ 13 කට දික බිල ගෙවන්න ආයතනයක් නෑ

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, යහපාලන රජයේ අගමැතිධුරය දරන සමයේ ඔහු ප්‍රධාන වගකීම දැරූ ආයතනවල ඇනවුම මත ගුවන් හමුදාවෙන් ලබාගත් ගුවන් සේවා සඳහා ගෙවිය යුතු රුපියල් ලක්ෂ දහ අටකට අධික මුදලක් (රු.1,855,945.03) මේ වන තුරු ගෙවා නැතැයි ගුවන් හමුදාව අනාවරවරණය කරයි. එම සේවා ඉල්ලුම් කර ඇත්තේ අගමැති කාර්යාලය හා අගමැතිවරයා යටතේ පැවති ‘ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික සම්බන්ධතා අමාත්‍යාංශය‘ මගිනි.

තොරතුරු පනත අනුව ගුවන් හමුදා මූලස්ථානයට ඉදිරිපත් කළ තොරතුරු අයදුම්පතක් ඔස්සේ අනාවරණය වූ තොරතුරුවලට අනුව, මෙසේ මුදල් ගෙවීම පැහැර හැර ඇත්තේ ඉහත ආයතන දෙක විසින් ලබාගත් ගුවන් ගමන් වාර දෙකක් සඳහාය.

ඉන් එක් අවස්ථාවක් වන්නේ, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික සම්බන්ධතා අමාත්‍යාංශය මගින් 2018 අගෝස්තු මස 15 වන දින රත්මලාන- කොළඹවරාය නගරය හෙලිපථය- මඩු ගජබා කඳවුර වවුනියාව- කොළඹ වරාය නගරය හෙලිපථය- රත්මලාන දක්වා ගුවන් සැතපුම් 349ක් (කිලෝමීටර් 646.348) වෙනුවෙන් ගුවන් හමුදාවට අයත් ගුවන් යානාවක් භාවිතා කිරීම වන අතර, ඒ සඳහා  ගුවන් හමුදාව වෙත ගෙවිය යුතුව ඇති මුදල රුපියල් දහතුන් ලක්ෂ දාහතර දහසකි. (1,314,116.12) එම ගුවන් ගමන් භාවිත කර ඇත්තේ එවක රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු වූ රවී කරුණානායක හා ජෝන් අමරතුංග යන අය බවද අනාවරණය කර ගැනීමට හැකි විය.

මුදල් නොගෙවා පැහැර හැර ඇති අනෙක් ගුවන් ගමන, 2018 දෙසැම්බර් මස 20 වන දින රත්මලාන සිට- චීන වරාය- රත්මලාන දක්වා ගුවන් සැතපුම් 320ක (කිලෝ මීටර් 592.64ක) ගමනක් වන අතර ඒ සඳහා ඇනවුම් කර ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලයයි.

ඒ සඳහා ගුවන් හමුදා මූලස්ථානය වෙත ගෙවීමට ඇති සම්පූර්ණ මුදල රුපියල් පන්ලක්ෂ හතළිස් එක් දහසකි. (රු. 541,778.91) මෙම ගුවන් ගමන සම්බන්ධයෙන් ගුවන් හමුදා මුලස්ථානයෙන් ලබාගත් තොරතුරු වලට අනුව එම ගුවන් ගමන සඳහා සහභාගි වී ඇති, එවක රජයේ මැති ඇමතිවරුන් ගණන 41කි. එම ලේඛනයේ සඳහන් කිහිපදෙනෙකු හැර බහුතරය ඊට සහභාගි වී තිබේ. මේ ආකාරයෙන් විශාල මැති ඇමතිවරුන් ප්‍රමාණයක් එකම දිනක එකම ස්ථානයක් වෙත  ගුවනින් ගමන් කිරීමට හේතුව කුමක්දැයි සොයා බැලීමේදී අනාවරණය වූයේ එවක රජයේ වරාය රාජ්‍ය අමාත්‍ය වරයා ලෙස කටයුතු කළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරූෆ්ගේ  දියණියගේ විවාහ උත්සවය වෙත සහභාගි වීම සඳහා අගමැතිවරයා ප්‍රමුඛ ඇමතිවරුන් කණ්ඩායම මෙම ගුවන් යානය භාවිත කර ඇති බවයි. මුදල් නොගෙවා පැහැර හැරීම මෙන්ම මෙවැනි පෞද්ගලික ගමනක පිරිවැයක් මහජන මුදලින් ගෙවීමට නියමිත වීමද බරපතළ කාරණයකි.

මෙම කරුණ තහවුරු කර ගැනීමට අප අදාළ ලේඛනයේ නම් සඳහන් මන්ත්‍රීවරුන් කීප දෙනෙකුගෙන් දුරකථන ඔස්සේ සිදුකල විමසීමකදීද අනාවරණය වූයේ එම මංගල උත්සවයට සහභාගි වීම වෙනුවෙන් ඇමතිවරුන් කණ්ඩායමේ බොහෝ පිරිසක්  ගුවනින් ගොස් තිබෙන බවයි. එම ලේඛනය නම් සදහන් අජිත් මාන්නප්පෙරුම, ගයන්ත කරුණාතිලක යන හිටපු ඇමතිවරුන් පැවසුවේ කියා සිටියේ තමන් එම උත්සවයට සහභාගි වීමට ගුවන් හමුදාව වෙත නම් ලබාදුන්නත් වෙනත් කටයුතු නිසා ඒ සඳහා සහභාගි වීමට නොහැකි වූ බවයි. හිටපු රාජ්‍ය අමාත්‍ය වරයෙකු වූ දිලිප් වෙදආරච්චි පැවසුවේ අගමැති කාර්යාලයෙන් එය සංවිධානය  කර තිබුණ නිසා තමන්ද ඒ සඳහා සහභාගි වූ බවයි. රවී කරුණානායක හිටපු අමාත්‍යවරයා පැවසුවේ තමන්ට එවැනි ගුවන් ගමනක් සම්බන්ධයෙන් මතකයක් නොමැති බවයි.

යහපාලන රජය සමයේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත් කර දින 52කට පසු නැවත රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය වරයා ලෙස පත් වූ දිනයේම මෙම ගුවන් ගමන සිදුව තිබීම විශේෂ කාරණයකි. එදින ඇමතිවරුන් හා රාජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීමෙන් පසු මෙම මංගල උත්සවය සඳහා ගුවනින් ගොස් තිබේ.

මෙම චාරිකාව සම්බන්ධ කිසිවක් මාධ්‍යවල වාර්තා නොවූ නමුත් නිදහස් මාධ්‍යවේදියෙකු වන ලක්මාල් බදුගේ පුවත්පත් වාර්තාවක් වෙනුවෙන් එදින ලබාගත් ඡායාරූපයක් අපවෙත ලබාදුන් අතර එහි අගමැතිවරයා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් මංගල උත්සවය වෙත සහභාගි වී සිටි අයුරු දැක්වේ.

රාජ්‍ය දේපළක්වන ගුවන් හමුදාවට අයත් ගුවන් යානාවක් අවභාවිත කරමින් අගමැතිවරයා ප්‍රමුඛ මැති ඇමතිවරුන් මංගල උත්සවයකට සහභාගි වීම සම්බන්ධයෙන් අප අදාළ ආයතනයන්ගෙන් විමසිමක් සිදුකරන ලදී  .

එහිදී  ගුවන් හමුදාට ගෙවීමට ඇති එම මුදල් නෙගේවීම සමබන්ධයෙන්  අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයෙන්  විමසීමට නිලධාරීන් කීපදෙනෙකුම සම්බන්ධ කරගනු ලැබුවත් ඔවුන් ඒ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබාදීමට කටයුතු නොකරන ලදී. එමෙන්ම  ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික සම්බන්ධතා අමාත්‍යාංශය මගින් අදාල මුදල් ගෙවීම සිදු නොකිරීම සම්බන්ධයෙන් විමසීම සඳහා මුදල්,ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ නිලධාරීන් කීපදෙනෙකු සම්බන්ධ කරගනිමින් සිදුකලවිමසීමකදී ඔවුන් කියා සිටියේ 2018 තිබු ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික සම්බන්ධතා අමාත්‍යාංශය කැබිනට් සංශෝදන මගින් අහෝසි වී ඇති බවයි.එම නිසා ඒ සමබන්ධයෙන් තමන්හට කිසිදු ප්‍රකාශයක් කිරීමට නොහැකිබවද අදාල නිලධාරියා කියා සිටියේය.

 විශේෂයෙන් මේ මගින් තහවුරු වන ප්‍රධාන කාරණයක් වන්නේ මෙරට විටින් විට ආණ්ඩු මාරුවන විටදී ජාතික ප්‍රතිපත්තියකින් තොරව අදාළ ආණ්ඩුවට රිසි පරිදි අමාත්‍යංශ,  දෙපාර්ත මේන්තු පිහිටවීම,මාරු කිරීම ,අත්හිටවීම හේතුවෙන් අද වන විට එම අමාත්‍යංශ දෙපාර්ත මේන්තු මගින් සිදු කෙරෙන අලාබයන්ද වක්‍රව ගෙවීමට සිදුව ඇත්තේ මෙරට පුරවැසියන්ට බවයි. එබැවින් මෙරට සියලු අමාත්‍යංශ දෙපාර්තමේන්තු ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටවමින් එය ඕනෑම ආණ්ඩුවක් යටතේ එකසේ පුරවැසියාට වගවන වගකියන ආයතන බවට පත්කිරීමේ වැදගත්කමද මෙම සිදුවීම් මගින් අවධාරණය කරනු ලැබේ.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි