කාන්තා හිංසනය හා ප්‍රචන්ඩත්වය හමුවේ මුදාහැරෙන ගුවන් විදුලි හඩ

0
57

අපේ රටේ කාන්තා හිංසනය හා ප්‍රචන්ඩත්වය සමාජයේ කතිකාවක් නිර්මාණය  කර ඇත්තේය. ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සහ වැඩ කරන කාන්තා මධ්‍යස්ථානය (CWW) එක්ව ශ්‍රී ලංකාව තුළ C‍-189 ජාත්‍යන්තර කම්කරු සම්මුතිය බලාත්මක කරන්නට මැදිහත්වීමක් සිදුකරන්නේ ද කිසිදු හේතුවක් මත අසමානතාවයන් සමාජය තුළ පැන නොනැගීමටය. 2011 ජුනි 16 පැවැති ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ දී C189 ජාත්‍යන්තර කම්කරු සම්මුතිය ගෝලීය වශයෙන් ක්‍රියාත්මක කර සුනිසි වැඩකරන පරිසරයක් ගෘහ සේවයට ඇතිකිරීමේ සමාජ සාධාරණත්වය අවධාරණය කර ඇත්තේද ?මේ සමාජ කතිකාව ගොඩනගන්නටය.ඒ නිසාවෙන්ම ප්‍රතිභා මිඩියා නෙට්වර්ක් ආයතනය මගින් ක්‍රියාත්මක කළ කාන්තා හිංසනය හා ප්‍රචන්ඩත්වය ගැන නැවුම් හැඩතල නිර්මාණය වූ ප්‍රජා මූල ගුවන් විදුලි වැඩ සටහනද,  ශ්‍රාවක අවධානය දිනා ගත් වැඩ සටහනක් බවට පත්වූයේ ගුවන් විදුලි ශ්‍රාවක සමාජයක් ජනගත කරමිනි.මෙම ශ්‍රාවක සමාජයයේ සාමාජිකයන් පසුගියදා වලස්මුල්ල අවන්හලකදී මුණගැසුණේය.එසේ හමුවූයේ  වැඩ සටහනින් ලත් අත්දැකීම් සමාජයට ගෙන යන්නට වැඩ පිළිවලක් නිර්මාණය කරන්නටය. මෙය නවමු අත්දැකීමක් නිසාවෙන්ම ඔවුන් සමග කතාබහ කරන්නට අප ද ශ්‍රාවක සමාජයට ගොඩවූයේ මෙහි අත්දැකීම් බෙදා ගන්නටය.මේ ඒ ගැන කතාබහකි.

ධර්මදාස විදානගමගේ මහතා

වීරකැටිය ප්‍රදේශයේ දිවිගෙවන ධර්මදාස විදානගමගේ මහතා  කාන්තා හිංසනය හා ප්‍රචන්ඩත්වය ගැන  මේ වැඩ සටහන තුළින් ලබා ගත් ඇත්දැකිම මෙසේ විස්තර කළේය” මා මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු ලෙස ක්ෂේත්‍රයේ රාජකාරි කරන අවධියේ අත්දැකිම් ලබා ගෙන තියෙනවා.ඒත් මෙහි වෙනස්වූ අත්දැකීමක් ලබා ගන්න පුළුවන්කම ලැබුණා.මේ තුළින් කාන්තා හිංසනය හා ප්‍රචන්ඩත්වය කොහොමද? අවම කරන්න පුළුවන් කියන කාරණය අපේ අවධානයට යොමු වුණා.මා මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු ලෙස දිස්ත්‍රික්කය පුරාම ඇවිදල තියෙනවා.මේ තැන්වලදී අප ට ඕනෑ තරම් මේ වගේ පවුල් හමුවෙලා තියෙනවා.පවුල්වල විසදාගත හැකි ගැටළු සංකීර්ණ ගැටළු බවට පත්වෙලා.ඇතැම් සිදුවීම් බොහෝදුර ගිහින් තියෙනවා.කාන්තා හිංසනය හා ප්‍රචන්ඩත්වය තේමාකර ගත් වැඩ සටහන තුළත් මෙවැනි අත්දැකීම් ලැබුණා. ඒ නිසාවෙන්  අපේ සේවය මෙවැනි පීඩාවට පත් පුද්ගලයන් වෙනුවෙන් ලබා දෙන්න පුළුවන්කම ලැබිල තියෙනවා. ප්‍රදේශයේ පවුල් ගණනාවකට උපදේශනය ලබාදුන්නා.ඒ පවුල් අද හොදින් ජිවිතය ගෙවනවා.මේ පවුල් අතර වැඩි වශයෙන්ම ඉන්නේ අඩුආදායම්ලාභීන්. ඉහළ ආදායමක් ලබා ගත්තත් ඇතැම් පවුලේ පවතින ගැටළු හේතුවෙන් ඔවුන්ගේ ජිවිතයට පීඩනයක් බවට පත්ව තිබුණා.මෙවැනි ගැටළු ගණනාවක් අප ට හදුනා ගන්න ලැබුණා.අප විශ්‍රාමික දිවියක් ගත කළද,සමාජය වෙනුවෙන් යම් කාර්ය භාරයක් ඉටු කරන්න මේ වැඩ සටහන තුළ අප ට හැකියාව ලැබුණා.ඇතැම් ගැටළු නිර්මානය වෙන්නේ ආර්ථික පීඩනය නිසාවෙන්.

මේ හේතුවෙන් පවුල්වල ගැටළු වැඩි වෙලා.උදාහරණ ගණනාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. එක් පවුලක් ඉතා අඩුආදායමක් ලබා ගත්තේ.කුලි වැඩ කරමින් ස්වාමියා පවුලේ අය ජීවත් කළේ.කාන්තාවටත් ස්ථිර ආදායමක් තිබුණෙ නැහැ.හැබැහි මේ ස්වාමි පුරුෂයා ගේ මත්පැන්බීමේ අඩුවක් නැහැ.කාන්තාව හරිම අහිංසකයි.දෙන්නටම කතා කළා.වෙන වෙනමත් කතා කළා.එක දරුවයි හිටියේ.මේ තුළ අර්බුද ගණනාවක් ඇති වුණා.මත්පැන්වල ඇතිවන ආදීනව ගැනත් කිව්වා.සමාජයේ ඇතිවන තත්ත්වයක් කිව්වා.ආර්ථික වශයෙන් ඇතිවන පීඩනයත් කියා දුන්නා.රැකියාවක් සොයා දුන්නා.දැන් හොද මට්ටමට ඇවිත් තියෙනවා.සම්පූර්ණයෙන්ම බිමත්කම නතර නොකළත් දැන් අඩුකර තිබෙනවා.මෙවැනි ඇබිබැහිවීම් හේතුවෙන් කාන්තාවන් වැඩි වශයෙන් පීඩාවට පත්වෙලා.මෙවැනි පවුල් ගණනාවක් මට හදුනා ගන්නට අවස්ථාව ලැබුණා.එවැනි පවුල්වල ගැටළුවලට විසදුම් ලබා දෙන්න මේ වැඩ සටහන තුළින් අවස්ථා ලැබුණා.විශේෂයෙන්ම මෙවැනි පවුල් ගැටළුවලදී වැඩියෙන්ම පීඩාවට පත්වන්නේ කාන්තාවන්.එවැනි අවස්ථාවන්හි ප්‍රචන්ඩත්වය පවා මුහුණ දෙන්නට ඔවුන්ට සිදු වෙනවා.එවැනි අවස්ථාවක මුහුණ දෙනු ලබන මානසික පීඩාව ඉතා ප්‍රබලයි.එවැනි අවස්ථාවක උදව්වෙන්න පුළුවන් වටාපිටාවක් මේ වැඩ සටහන තුළ ඇති වුණා.ඒ නිසාවෙන් මෙවැනි වැඩ සටහන් ඉතා ඵලදායි වෙනවා. ඒ වගේම කියන්න ඕන.ගුවන් විදුලියේ මෙවැනි වැඩ සටහන්වල තියෙන්නේ අඩුවක්.ඒ නිසා සමාජයේ මුහුණ දෙන්නාවූ මෙවැනි ගැටළු ජනතාව හමුවට ගෙනයාම ඉතාම වැදගත්වූ බවයි විදානගමගේ මහතා පෙන්වා දෙන්නේ.

             

 එස්.ධීරසිංහ මහතා ශ්‍රී ලංකා සමුපකාර මණ්ඩලයේ අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික නිලධාරියෙක්. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වානිජ ගෞරව උපාධියක් ලබා ගෙන ඇති ඒ මහතා  මොස්කම් හා ජපානයේ වෙනම උපාධි ලබා ගැනීමටද සමත්ව සිය රාජකාරි ජිවිතයේ ඵලදායිතාවය ගැන වැඩි අවධානයක් යොමු කරමින් වර්තමානයේ විශ්‍රාමිකව කටයුතු කරන සමාජ ක්‍රියාදරයෙක්.පාරිසරික ගොවිතැනටත් දැඩි උනන්දුවක් දකවන ඔහු මෙසේ සිය හඩ අවධි කළේය.” ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනය ක්‍රියාත්මක කළ මනුසත් හඩ මා දකින්නේ සමාජ හදන බලවේග ලෙසයි.මා දකින්නේ සමාජය හදන බලවේගවලට වඩා  සමාජයේ නමන බලවේග වැඩියි.මේ වැඩ සටහන්වල ප්‍රතිළුල සංඛ්‍යාත්මකවනම් අපට පේන්න නැහැ.නමුත් ගුණාත්මකව ප්‍රතිළුල පේන්න තියෙනවා. මොනරාගල ආබාධිත දරුවෙකු ගැන වැඩ සටහනක් කළා.එහි ප්‍රතිළුලය ගැන ඇසුවාම මට සතුටක් ඇති වුණා. මත්ද්‍රව්‍යවලට ගොදුරුවූ තරුණයෙකු ගේ ජිවිතය වෙනස්කරන්නත් අප දායක වුණා.අප වැනි විශ්‍රාමික නිලධාරින් ගේ සේවය එස්.ධීරසිංහ මහතා ගන්න ප්‍රතිභා මිඩියා නෙට්වර්ක් ආයතනය කටයුතු කිරීම ඉතාම වැදගත්.අපේ හඩ අවධිකිරීම මෙන්ම මේ වගේ වැඩ සටහන්වලට ශ්‍රාවක ප්‍රතිචාර වැඩි කරන්නට ගුවන් විදුලි ආයතන මගින් ද කටයුතු කළ යුතුයි. හරසුන් වැඩ සටහන්වලටයි අද වැඩි වශයෙන් ශ්‍රාවකයන් ඉන්නේ.ශ්‍රාවක සමාජ ඇති කරමින් හෝ මෙවැනි ගුණාත්මක වැඩ සටහන් ශ්‍රාවකයන් තුළට ගෙන යායුතු බව ධීරසිංහ මහතා කීය.

ඩබ්.පී.විල්සන් මහතාද අපේ කතා බහට එක්වන්නට දැක්වූයේ දැඩි උනන්දුවක්.”වසර දෙකකට කළින් කරන ලද මේ වැඩ සටහන කාන්තා හිංසනය ප්‍රචන්ඩත්වය ගැන කතා කිරීමේදී අපේ රටේ කරන ලද සුපුරුදු වැඩ සටහන් බවට පත් වූයේ නැහැ. සමාජ සංවිධානය හා ප්‍රජා සංවිධාන මුල්කර ගනිමින් දැනුවත් කිරීමට ගත් උත්සාහය ඉතා වැදගත් වෙනවා. මෙහි විශාල කණ්ඩායමක් දැනුවත් වුණා. මේ තුළින් අප සංවිධාන ගණනාවක සමාජ ක්‍රියාදරයන් හදුනා ගත්තා.ඔවුන්ගේ අත්දැකිම් විවිධයි.ඒකත් මේ වැඩ සටහන තුළින් ලබාගත් වටිනා අවස්ථාවක්. බොහෝ විට ඇතැම් සංවිධාන කරන්නේ කාටහරි මොනවා හරි දීලා පරිපාලන විදයම් ටික ලබාගැනිමයි සිදු කරන්නේ.මේ වැඩ සටහන තුළින් අනාගත ආයෝජනයක් සිදු කර තියෙන්නේ.මෙවැනි  නිවැරදි තැනට ගෙනි යන්න ප්‍රතිභා මිඩියා නෙට්වර්ක් ආයතනය කටයුතු කරලා තියනවා.ඒ සදහා ශ්‍රාවක සමාජ ඇති කිරිම ඉතා වැදගත් වෙනවා.මෙවැනි වැඩ පිළිවලක් ජාතික මට්ටමකට දක්වා වැඩිකළ යුතුයි. මේ සමාජ ගැටළු අලුත් විදියට දකින්නට පුළුවන්නම් ,ඒවාට සමාජ විද්‍යාත්මකව විසදුම් සොයන්නට කටයුතු කළ යුතු බව විල්සන් මහතා අවධානරණය කළේය.

විල්සන් මහතා
එම් .අශෝකා මහත්මිය

එම් .අශෝකා මහත්මියද අප ට හමුවූ අතර ඇය මෙසේ හඩ අවධි කළාය. ග්‍රාමීය මට්ටමින් බැලුවත් කාන්තා හිංසනය ගැන බොහෝ අවධානයක් යොමු වෙලා තියෙන්නේ. වැඩි වශයෙන්ම කාන්තාව තමයි හිංසනයට යොමු වෙලා තියෙන්නේ.අපේ රටේ පවතින බඩුමිල ගෑස්,ඉන්දන,විදුලිය ඉතා වේගයෙන් වැඩිවෙලා .මේ වැඩිවීමත් සමග කාන්තාවට වැඩි වශයෙන් පීඩාවට පත් වෙලා. එදාටත් වඩා අද මෙවැනි වැඩ සටහන් ඉතා වැදගත් වෙනවා. ඇතැම් පවුල්වල උපදේශනයක් නොලැබීම නිසා එවැනි පවුල්වල වෙන්වෙන තත්ත්වයට පත් වෙලා තිබුණා. නමුත් මේ වැඩ සටහන හරහා අප ට හැකියාවක් ලැබුණා මෙවැනි පවුල්වලට උපදේශනය ලබා දෙන්න. මේ පවුල්වල පවතින ගැටුම් අඩුකරන්න.අප ව්ශ්වාස කරන්නේ මේ වැඩ සටහන ඒ සදහා කදිම වේදිකාවක් නිර්මානය කළා කියලයි. ගුවන් විදුලිය භාවිතාවීම අඩුකම නිසා සමාජය මෙවැනි වැඩ සටහන් මගින් දැනුවත්වීම අඩුයි.ඒ නිසාවෙන් මෙවැනි වැඩ සටහන් තව තවත් ශ්‍රාවකයා අතර ගෙනියන්න තවදුරටත් කටයුතු කළ යුතුයැයි අශෝකා මහත්මිය පැවසුවාය.

ඒ .චන්ද්‍රලතා මහත්මිය

ඒ .චන්ද්‍රලතා මහත්මිය වැඩ සටහන තුළ ලත් අත්දැකීම මෙසේ විස්තර කළාය. කාන්තා හිංසනය එදාටත් වඩා අද වැඩියි. කාන්තාවන් පවා මත්ද්‍රව්‍යවලට පෙළඹිලා.එවැනි අත්දැකීම් මෙහිදී ලැබුණා.වර්තමානය වන විට අපේ ආර්ථික ගැටළු තුළින් වැඩි දෙනා පීඩාවට පත්වෙලා.ඒ පීඩනය තුළ කාන්තා හිංසනය හා ප්‍රචන්ඩත්වය වැඩි වෙලා.ඔවුනට අවශ්‍ය මගපෙන්වීමක් ලබා දෙන්න ඉදිරිපත් වෙන අවස්ථා අඩුයි.මෙසේ කාන්තාව හිංසනයට ,පීඩාවට පත් වෙන අවස්ථාවන්හි කාන්තාවන්ට සවියක් ලබා දෙන්න ඉදිරිපත් වෙන ආයතන පවතින්නේ ඉතා අඩු ප්‍රමාණයක්.ඒ නිසාවෙන් තව තවත් වැඩ සටහන් ක්‍රියාත්මන කළ යුතුයි. මා මේ ගුවන් විදුලි වැඩ සටහන ඉතා අගය කරනවා. අප මේ වැඩ සටහන තුළින් ලැබූ දැනුම ගමට ගෙනියන්න අප කටයුතු කරලා තියෙනවා.ඒ වගේම මේ රටේ රාජ්‍ය සේවයේ කටයුතු කරමින් බොහෝ අත්දැකීම් ලබා ඇති ඇති අයගේ සේවය වර්තමානයේ ලබා ගැනිම ඉතා අවමයි.එවැනි අත්දැකීම් යොදා ගන්න මේ වැඩ සටහන තුළින් අවස්ථාව ලැබුණා.මෙවැනි වැඩ සටහන්වලට තව තවත් ශක්තිය ලබා දිය යුතුයි.එසේම  අපට  ගුවන් විදුලිය වැඩ සටහන්වලට එක්වන්නට අවස්ථාව ලැබුණා.නමුත් මෙවැනි වැඩ සටහන් මාධ්‍ය මගින් විකාශනය කළ යුතුයි.සමාජයේ වෙනසක් කරන්නට එවැනි වැඩ සටහන් සමත්ව ඇති බව චන්ද්‍රලතා මහත්මිය පැවසුවාය.

ඩී.ඩී.අශෝකා මහත්මිය ද කාන්තා හිංසනය හා ප්‍රචන්ඩත්වය තොර සමාජයක් ගොඩනගන්නට වෙහෙසී කටයුතු කරන ස්වේච්ඡා සංවිධාන නායිකාවකි.ඇය ද සිය හඩ අවධි කළාය.

” මේ වැඩ සටහන තුළින් මා ලැබූ අත්දැකීම් ගණනාවක් තියෙනවා. සමාජ,ආර්ථික,සාමාජිය ගැටළු හමුවේ කාන්තාව වැඩි වශයෙන්ම පීඩාවට පත් වෙලා ඉන්නේ.පවුල් කිහිපයක්ම අප මෙහිදී හදුනා ගත්තා.මේ පවුල්වල ගැටුම් වැඩි වෙලා දැඩි අසහනකාරී තත්ත්වයන්ට මුහුණ දෙමින් තිබුණා. මේ තුළත් වැඩියෙන් පීඩාවට ලක්වන්නේ කාන්තාව. උපදේශනාත්මක සේවාවන්ට මෙහිදී කළ හැකි කාර්ය භාරය ඉතා විශාලයි.අපේ ගම්වල මෙවැනි උපදේශන සේවාවන් ක්‍රියාත්මක කළ හැකි අය සිටියත් ඔවුනට ඒ සදහා අවස්ථාක් නැහැ.ඒ නිසාවෙන් ඔවුන් ඒ සදහා දක්වන උනන්දුව අඩුයි.මෙවැනි පසුබිමක .ප්‍රතිභා මිඩියා නෙට්වර්ක් ආයතනය හදුන්වා දුන් වැඩ පිළිවල  අගය කරනවා.එය ඉදිරියට ගෙන යන්නට කටයුතු කරන බව ඇය පැවසුවාය.

 සටහන ටී.කේ.මහින්ද