පුනරුත්ථාපනය කලයුතු හම්බන්තොට මරුකටවල්

භු කැනීම් හේතුවෙන් පුනුරුත්තාපනය නොකෙරුණු ලංකාවේ හඳුනාගත් අවධානම්  ස්ථාන 950ක්

අතහැර දැමු වැලි වළවල් නිසා ජන ජීවිතයට බාධා

ගොවිජනසේවා නිලධාරීන්ගේ නිර්දේශයෙන් කුඹුරු ඉඩම් තුලත් වැලි හාරලා

වැලි කැනීම් කරගෙන යන්න දේශපාලන සහයෝගය

වැලි හෑරීම නිසා පාලුවන ගමක් අම්බලන්තොට

  ‘’අපේ ගම දැන් ගමක් නොවේ වැවක් වගේ හැම තැනම විශාල වැලි වලවල් මේවට නිලධාරීන් නිතිය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් අද අපේ ගම් බිම් අතහැරලා අපිට  යන්න වෙලා ‘’

 වැලි වලවල් හේතුවෙන් මිනිසුන්ගේ වාසස්ථානය අහිමිවෙමින් තිබෙන අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වලෙවත්ත ප්‍රදේශයේ පවතින තත්වය පැහැදිලි කරන ශාන්ත පරණ මහතා එම ප්‍රදේශයේ වසර 58කට වඩා කාලයක් ජීවත්වූ අයෙක්. නමුත් වැලි ජාවාරම හේතුවෙන් තමන්ගේ උපන් ගම අතහැර යාමට සිදුවීම ගැන ඔහුතුල ඇත්තේ දැඩි කම්පාවකි.

 රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් වැලි අවශ්‍ය වුවත් එම වැලි ලබාගැනීම සඳහා  සිදුකරනු ලබන  නීතිවිරෝධී ක්‍රමවේදයන් නිසා අද වන විට ලංකාවේ විශාල පරිසර හානියක් සිදුවී තිබේ.

  එම පරිසර හානිය කොතෙක්ද කියතොත් අද වනවිට ඇතිවන ගංවතුර, නායයෑම්, මුහුදු වෙරළ ඛාදනය, සරුසාර කුඹුරු ඉඩම් විනාශ වීම මෙන්ම යලි ගොඩ නොකරන ලද වැලි වළවල් නිසා ඇතිවන පාරිසරික බලපෑම ද  හේතුවෙන් එම ප්‍රදේශ තුල ජනතාවට ජීවත්වීමට පවා නොහැකි තත්වයන් උදාවී ඇත.

 කෙසේ නමුත් ලංකාව තුළ  2012 වර්ෂයේ සිට 2021 මාර්තු මස දක්වා පමණක්  කැනීම් බලපත්‍ර 3441ක් සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ මගින් අවසර ලබා දී තිබෙන බව අනාවරණය කර ගැනීමට හැකිවූ අතර ඒ අතුරින් වැඩිම බලපත්‍ර ප්‍රමානයක් ලබාදී ඇත්තේ 2019 හා 2020 වර්ෂයන් තුල බව ද අනාවරණය කර ගැනීමට හැකි විය.  

නීති ක්‍රියාත්මක කරලා නෑ

 එමෙන්ම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ නීති රෙගුලාසිවලට අනුව යම් වැලි කැනීම් ස්ථානයක් සදහා බලපත්‍ර ලබාදීමේදී එම ස්ථානය නැවත පුනුරුත්තාපනය කිරීම සදහා අදාළ බලපත්‍ර ලාභියාගෙන්   බැඳුම්කරයක් ලබාගත යුතු වේ. නමුත් ඒ ආකාරයෙන්  භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ මගින් බැඳුම්කර ලබාගෙන තිබුනත් 2012 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා පමණක් නැවත පුනුරුත්තාපනය නොකරන ලද කැනීම් ස්ථාන 950ක් වාර්තා වන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ මගින් පරිසර අමාත්‍යාංශයට ලබාදුන් පාරිසරික වර්තාවක සඳහන් වේ.( (Wali Jawarama -1ෆොටෝ එක බලන්න ) 

 නමුත් පරිසර හානිය අවම කර ගැනීම උදෙසා බැඳුම්කර ලබාගෙන මේ ආකාරයෙන් වසර ගණනක් යන තුරු එම ස්ථාන නැවත පුනුරුත්තාපනය කිරීමට කටයුතු  නොකළ  අදාළ කැනීම් බලපත්‍ර ලාභින්ට එරෙහි නිතිය ක්‍රියාත්මක කිරීමට  භු විද්‍යා හා පතල් කාර්යාංශය මගින්  කටයුතු නොකිරීමේ පසු බිම මත බොහෝ සරු සාර භුමි ප්‍රදේශතුල අද වනවිට ඉතිරිව ඇත්තේ වැව් හා සමාන විශාල වළවල් පමණි.  

  මේ ආකාරයෙන් ගොඩ නොකරන ලද ස්ථාන රාශියක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වලේවත්ත, මාමඩල, ජන්සගම යන ග්‍රාම නිලධාරී කොට්ඨාස තුළ දක්නට ලැබෙන අතර බොහොමයක් වැලි  කැනීම් කරන ලද ස්ථාන මිට වසර 12කටත් වඩා පැරණි ස්ථාන වේ. නමුත්  පසුගිය කාලය තුලදී  භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ මගින් නිසි අයුරින් එම ස්ථාන අධික්ෂණය නොකර සිටීමේ පසුබිමක් තුල හා ඒවා නැවත පුනුරුත්තාපනය කිරීම සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් අද වන විටත් එම ප්‍රදේශයේ එම වලවල් ජලයෙන් පිරි පවතින්නේ ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාවට හා ජනජිවිතයට ද තර්ජනයක් වන ආකාරයෙනි.

Photo test

මෙම ප්‍රදේශයේ මංමාවත්වලට  යාබදව  පවතින මෙම අනාරක්ෂිත වැලි වළවල් හේතුවෙන් එම මාර්ගයන්හි ගමන් ගන්නා ජනතාවට තරජනයක් විය හැකි බවයි ප්‍රදේශයේ ජනතාව කියා සිටින්නේ. මෙවැනි හේතුන් මෙන්ම ප්‍රදේශයේ පවතින අනෙකුත් පාරිසරික තත්වයන් හා වැලි කැණීම් කරන්නන්ගෙන් ප්‍රදේශයේ ඉඩම් සදහා ඉහල මුදලක් ලැබීමත් පදනම් කර ගනිමින් මේ වනවිට බොහෝ දෙනකු ඉඩම් විකුණා වර්තමානය වන විටත් ප්‍රදේශයෙන් ඉවත් වන බවයි ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙන්නේ,

ප්‍රදේශයේ ජීවත්වීමට නොහැකිව වැලි හැරීමට දී විකුණා ගිය නිවසක්

ගොඩ ඉඩම් හා කුඹුරු ඉඩම් වල ගොඩ වැලි කැපීම සිදු කර ඇති අයුරු මෙහිදී නිළධාරීන්ගේ අවධානයට ද යොමු විය යුතු කාරණයක් වුවත්  මීට වසර14කට පෙර සිට වලවේ ගඟ පිහිටි ඉවුර ආසන්නයේම  ගොඩ වැලි කපන ලද වැලි වලවල් තවමත් නිසි ලෙස ගොඩ නොකිරීම හේතුවෙන් එහි විශාල වලවල් පිහිටා ඇති අතර එම ස්ථාන අද වන විට ප්‍රදේශයේ ජනතාවට පීඩා ගෙන දෙන කාරණයක් වී තිබේ.

 ‘’ අද අපිට ගමේ ජීවත්වෙන්න විදියක් නෑ හැම තැනම වලවල් මේවයේ වතුර පිරිලා එක පැත්තකින් මදුරුවෝ බෝවෙනවා ඒ වගේම මේ වලවල් වල වැටිලා මිනිස්සුත් තුවාල වෙලා තියෙනවා, ප්‍රදේශයේ දරුවන් පවා අවධානමකට ලක්වෙලා තියෙන්නේ මේවා ගැන කතා කරාම අපිට වෙන්නේ මැරුන්කන්න ‘’ යනුවෙන් නම හෙළි කිරීමට අකමැති ප්‍රදේශ වාසියෙකු කියා සිටියේය.

 මෙම වැලි ජාවාරම් හේතුවෙන් ප්‍රදේශයේ මාර්ග පවා මේ වන විට අබලන් වෙමින් තිබුනත් ඒ වෙනුවෙන් නීතියෙන් ලැබෙන අනුග්‍රය මෙන්ම මේවා සිදුකරන්නන් තම අනසක ප්‍රදේශයේ පතුරවමින් ඒගැන කතා කරනු ලබන ජනතාවට තර්ජනය කිරීම් ,පහරදීම් සිදු කරන බැවින් ජනතාවද නිහඩ වෙමින් තිබේ. ඔවුන්ට ඇති එකම විකල්පයනම් එම ජාවාරම් කරුවන්ට වැලි හැරීමට තම ඉඩම් විකුණා ප්‍රදේශ හැරයාම පමණි.

    විශේෂයෙන්ම මේ ආකාරයෙන් වැලි කැනීම් කරන පුද්ගලයන් විසින් නිරන්තරයෙන් වැලි රැස්කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ නගරයට ආසන්න  ස්ථානයක ය. මෙහිදී එම ස්ථානයට වැලි කැනීම් සිදුකරනු ලබන ස්ථානයේ සිට වැලි ප්‍රවාහනය කිරීමේදී  සිදුවන මාර්ග හානිය හා ජනතාවට සිදුවන පිඩාව සුළු පටු නොවේ. එයට මුලික එක් හේතුවක් වී ඇත්තේ නියමිත රෙගුලාසිවලට අනුව වැලි ප්‍රවාහනය නොකිරීමත්, තරඟකාරීව වැලි ප්‍රවාහනය කිරීමත් ය. එහිදී රුපියල් මිලියන ගණන් වැයකර තනන ලද මාර්ග පවා මේ වනවිට අබලන් වෙමින් පැවතුනත් ඒ සිදුවන රාජ්‍ය දේපල හානිය  සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන පනතේ රෙගුලාසීන් හෝ පොලිසිය මගින් ක්‍රියාත්මක කළහැකි නීති පවා මොවුන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් සමත් නොවන්නේ කුමක් නිසාද  යන්න බරපතල ගැටලුවකි.

 

 කුඹුරු හෑරීම

   එමෙන්ම  ලංකාවේ අනෙකුත් ප්‍රදේශ තුල මෙන්ම අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වලේවන්ත, මාමඩල, ජන්සගම යන ග්‍රාම නිලධාරී කොට්ඨාස  ඇතුළු ප්‍රදේශ කීපයක  දක්නට ලැබෙන අනෙකුත් බරපතල ගැටලුව නම් කුඹුරු ඉඩම්තුල වැලි කැනීම වේ.

 මේ ආකාරයෙන්   කුඹුරු ඉඩම් වෙනත් කාර්යයන් සඳහා යොදාගැනීම නීතිවිරෝධී වුවත් ගොවිජනසේවා  නිලධාරීන්ගේ ආශිර්වාදය මත හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල පවතින කුඹුරු ඉඩම් අනවසරයෙන් ගොඩ කිරීම සදහා මෙන්ම සිදුකරන වැලි කැනීම් සම්බන්ධයෙන් ගොවිජනසේවා නිලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව මිට පෙර අවස්ථා කීපයකදීම අනාවරණය කර ගැනීමට හැකි විය.

  මෙවන්  පසුබිමක තවදුරටත් මේ සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමකදී අනාවරණය කර ගැනීමට හැකි වූයේ හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලය මගින් කුඹුරු ඉඩම් තුල වැලි කැණීමට පවා සූක්ෂම අයුරින් නිරිදේශයන් ලබා දී තිබෙන බවයි.

මෙම කුඹුරු  විවිධ පුද්ගලයන්  මිලට ගෙන පසුව  සූක්ෂම ලෙස පුරන් කරමින් හෝ කෙසෙල් වගා කිරීමට කටයුතු කර හෝ වෙනත් කටයුතුවලට යොදාගැනීම සිදුවේ. පසුව එම කුඹුරු වගාකළ නොහැකි කුඹුරු සේ පෙන්වීමට වැලි කැනීම් සිදුකරන පුද්ගලයින් කටයුතු කරනු ලැබේ.  එතෙක් නිහඬව සිටින ගොවිජනසේවා නිලධාරීන්  පසුව ඒවා තුල වැලි කැණීමට අවකාශය උදාකරදීම සිදුකරන්නේ කන්න ඕනෑ විට කබරයා ද තලගොයා කරගන්නා සේ යන කියමන ද පසක් කරමිනි.

 මේ සදහා කදිම වර්තමාන සාක්ෂියක් වන්නේ ලුණම ගොවිජනසේවා බලප්‍රදේශයට අයත් ජංසගම ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ඇති අක්කර දෙකක වපසරියකින් යුත් ”දෙබරගස්මුල්ල නොහොත් ජංසගම කුඹුර ” තුල වැලි කැනීම සඳහා නිර්දේශ ලබාදීමට දිස්ත්‍රික් ගොවිජනසේවා සහකාර කොමසාරිස්වරයා විසින් කටයුතු කර තිබීමයි. මිට පෙර මෙම නීති විරෝධී කටයුත්ත සම්බන්ධයෙන් සිදුකළ හෙළි දරව්වකින් අනතුරුව තාවකාලිකව එම බලපත්‍රය නවතා තැබුවත් ඉන් අනතුරුව යලි ගොවිජනසේවා කාර්යාලය මගින් එම නිර්දේශයන් ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙස අද එම ස්ථානයේ ඉතිරිව ඇත්තේ කුඹුරක්‌ නොව විශාල වලක් පමණි.

  මෙවන් ආකාරයෙන් වැලි හැරීමේ ජාවාරමට යොදාගෙන තිබෙන්නේ   පසුගිය කාලය තුල සරුසාරව වගාකළ කුඹුරු ඉඩම් වීම බරපතල ගැටලුවකි.

  එමෙන්ම  2020.07.21 දින මේ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යොමු කරන ලද තොරතුරු ඉල්ලුමට අනුව 2020.08.17 දින ලැබුණු තොරතුරු මගින් අනාවරණය වුයේ. ගොවිජනසේවා දෙපාර්තමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ හිටපු ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ආර්,එස්,ප්‍රේමලාල් මහතාගේ නිල මුද්‍රාව  හා අත්සනින් යුක්තව  2020.07.02 දින ලිපි අංක 9/3/6/5/1 මගින් සඳහන් කර ඇත්තේ අදාළ කුඹුරු ඉඩම උසින් පිහිටීම හේතුවෙන් වතුර රඳවා ගැනීමට නොහැකි නිසා අදාළ ව්‍යාපෘතිය සදහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත්කරන බවයි.

දෙබිඩි නීතිය

  එමෙන්ම මේ අතරතුර අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් තොරතුරු දැනගැනීමේ පනතට අනුව   ලබාගත් තොරතුරු අනුව   මේ සම්බන්ධයෙන් වැඩිදුර සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වුයේ හම්බන්තොට ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා විසින් 2020.03.03.දින ලිපි අංක DIE/H/වW2/2020/36 මගින් නිකුත්කරන ලද  ලිපියේ පැහැදිලිව සඳහන් කර ඇත්තේ  ”මෙය කුඹුරු ඉඩමක් බැවින් ජලය ලබාගැනීමට කිසිදු අපහසුතාවයක් නොමැති අතර ගොඩ වැලි කැපීම්  බලපත්‍රයක් ලබාදීම සදහා නිර්දේශ නොකරන බවයි”

  වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හම්බන්තොට  ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා  අදාළ කුඹුරු ඉඩම සඳහා ජලය ලබාගැනීමට කිසිදු අපහසුතාවයක් නොමැති බව සඳහන් කර තිබුනත් ගොවිජනසේවා ප්‍රාදේශීය ඉංජිනේරුවරයා  එම කුඹුරු ඉඩම සඳහා ජලය ලබාගැනීමට නොහැකි බව දන්වා තිබේ. ආයතන දෙකක එකම කාර්යයන්ට අයත් නිලධාරීන් මේ ආකාරයෙන් වෙනස් නිර්දේශයන් ලබාදීම තුල මෙම නිලධාරීන්ගේ දෙබිඩි පිළිවෙත මනාව වැටහී යනු ඇත.

එමෙන්ම රාජ්‍ය නිලධාරීන් මේ ආකාරයෙන් වගකීම් විරහිතව හැසිරින්නේ කුමන වරප්‍රසාදයක් උදෙසා ද යන්න සම්බන්ධයෙන් ද ඇත්තේ බරපතල ගැටළුවකි.

   එමෙන්ම  2014 අංක 46 දරන ගොවිජනසේවා සංවර්ධන (සංශෝධන ) පනතින් සංශෝධිත 2000 අංක 46 දරන පනතේ 30 වන වන්ගන්තියට අනුව මෙන්ම ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයාගේ අංක 01/2020 සහ 2020/01/01 දිනැති දෙපාර්තමේන්තු චක්‍රලේඛය අනුව යම් කුඹුරු ඉඩමක දීර්ග කාලින බෝගයක් වගා කිරීමට පවා ගොවිජන සංවර්ධන කොමිසාරිස්වරයාගේ අවසරය ලබා ගත යුතුය, එමෙන්ම ගොවිජන සංවර්ධන ජනරාල්වරයාගේ ලිඛිත අවසරයක් නොමැතිව අනවසරයෙන් කුඹුරු ගොඩකරන අවස්ථාවේදී එම ක්‍රියාව තවදුරටත් කිරීම වැලැක්වීම සදහා විෂයගත කුඹුරු ඉඩමට අදාලව 2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන (සංශෝධිත) පනතින් සංශෝධිත 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනතේ 33 වගන්තිය යටතේ එම ක්‍රියාව වැලක්වීම සදහා අතුරු ආඥාවක් ලබාගැනීමක් සහ එම ආඥාව ස්ථිර ආඥවක් බවට පත්කර ගැනීමට කටයුතු කරනු ලැබිය යුතු ය.

  මේ ආකාරයෙන් නීති පනවා ඇත්තේ හුදු කුඹුරු ඉඩම් ආරක්ෂා කරගැනීමට වුවත් මෙම නිලධාරීන් තමන්හට නිත්‍යානුකුලව ලැබී තිබෙන බලය අවභාවිත කරමින් මේ ආකාරයෙන් කුඹුරු තුළ වැලි කැණීමට අවසරදීමෙන් සිදුවන්නේ ප්‍රදේශයේ අනෙකුත් කුඹුරු ඉඩම් සදහා ද ජලය රඳවා ගැනීමට නොහැකි තත්වයකට පත්කිරීම ය.

 ‘’අපේ කුඹුරු වලට යාබද කුඹුරු වල වැලි හාරන නිසා පේ කුඹුරුවල වතුර රදවා ගන්න බැරි තත්වයක් උදාවෙලා දැන් අපිටත් වෙලා තියෙන්නේ වැලි හාරන්න අපේ කුඹුරු ටික දීලා වී ගොවි තැන අතහරින්න.’’බව ප්‍රදේශයේ  ගොවිමහතෙකු වන ලීලානන්ද මහතා ප්‍රකාශ කර සිටි.

  මේ ආකාරයෙන් කුඹුරු ඉඩම් තුල වැලි කැනීම් සදහා අවසර ලබාදීම සම්බන්ධයෙන්  ගොවිජනසේවා දෙපර්මෙන්තුවේ සහකාර අධ්‍යක්ෂක පාලිත නානායක්කාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ නියමිත පරිදි අස්වැද්දිය හැකි කුඹුරු ඉඩම්තුල කැනීම් සදහා බලපත්‍ර ලබා නොදෙන බවයි. නමුත් රජයේ අවශ්‍යතාව පරිදි  වී වගා කිරීමට නොහැකි තත්වයේ පවතින කුඹුරු ඉඩම් තුල යලි යථාතත්වයට පත්කිරීමේ දැඩි කොන්දේසි මත වැලි හැරීමට අවසර ලබාදෙන බවයි.

  කෙසේ නමුත්  2022 මාර්තු මස  16 වනදා දින අම්බලන්තොට වලවවත්ත, ජංසගම, මාමඩල යන ප්‍රදේශවල දැනට ගොඩ වැලි කපන ස්ථානවල වැලි වලවල් 13 ක් හා පැරණි අතහැර දමා ඇති වැලි වලවල් කිහිපයක් ද නිළධාරින්ගේ පරීක්ෂාවට ලක් කෙරුණත් අද වන විටත් එම ප්‍රදේශයන් පුනුරුත්තාපනය කිරීමට හෝ එසේ නොකරනලද අය වෙනුවෙන් නිතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකිරීම මෙම ජාවාරම් වෙනුවෙන් නිලධාරීන්ගේ ඇති අනුබලය මොනවට කියාපායිද.

මෙම ගැටලුව සම්බන්ධයෙන් භුවිද්‍යා සමීක්ෂ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර සිටියේ මෙවන් අදහසක් ‘’ ගොඩ නොකරන ලද කැනීම් වළවල් සම්බන්ධයෙන් මේ වනවිටත් අපි වාර්තා සකසමින් ඒවා ගොඩ කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒ වගේම බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලියට  මේ වළවල්  නැවත ගොඩකරන්න එම බලපත්‍ර ක්‍රියාවලියට ඇතුලත් කළේ මැතකදී. නමුත් මේ වනවිට ලබාදී තිබෙන බැඳුම්කර මත අදාල ගොඩ නොකරන ලද ස්ථාන නැවත පුනුරුත්තාපනය කිරීමේ කටයුතු සිදුකිරීමට අදාළ පරීක්ෂණ මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතිනවා. අපි පුළුවන් තරම් ඉක්මනින් ඒ දේ කරන්න කටයුතු කරනවා.’’ යනුවෙනි

කෙසේ නමුත් ප්‍රදේශයේ  සිදුවන පරිසර විනාශය හමුවේ  නිතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්  බලධාරීන් ඉබි ගමනින් කටයුතු කළහොත් සිදුවන්නේ මෙම පරිසර විනාශය තවදුරත් වර්ධනය වීම පමණි. එහිදී වලවේ ගඟට යාබඳ ප්‍රදේශයක් වන මෙම ගම්මානය එහි කොටසක් වනු නොවැලැක්විය නොහැකි කාරණයක් ද වනු ඇත. එමෙන් ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිතය ආරක්ෂා කර ගැනීම උදෙසා මෙහි සිදුවන අනවසර වැලි කැනීම් නතර කිරීමත් ප්‍රද්ශයේ ඇති පුනුරුත්තාපනය නොකරන ලද වලවල් පුනුරුත්තාපනය කිරීමටත් කඩිනම් පියවර බලධාරීන් විසින් ගත යුතුබව වග කිවයුත්තන්ගේ අවධානයට ගතයුතු කාරණයක් වේ.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි