යුක්තිය ඉටු නොවූ පාස්කු කොමිසමේ වියදම රුපියල් කෝටි 09 ඉක්මවයි

  • දින 14න් දිය යුතු තොරතුරු දෙන්න ජනාධිපති ලේකම් කාර්යාලය දින 400ක් අරන්
  • දෙන්න බෑ කිවූ තොරතුරු කොමිසමේ නියෝගයෙන් පසු ලබාදෙයි

   පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ ජනාධිපති කොමිසන් සභාව මගින් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මෙතෙක් කටයුතු කර නොමැති වුවත් එම කොමිසම වෙනුවෙන් රුපියල් නවකෝටි දහතුන් ලක්ෂයකට( 91,369,829.98 ) අධික මුදලක් වැයකර තිබෙන බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබාගත් තොරතුරු මගින් අනාවරණය කර ගැනීමට හැකිවිය.

 මේ ආකාරයෙන් රුපියල් කෝටි නවයකට අධික මුදලක් වැය කර ඇත්තේ, එම කොමිසමේ සාමාජිකයන්ගේ දීමනා ලබාදීමට රුපියල් එක්කෝටි දෙලක්ෂයකට අධික මුදලක් ( 10,200,412.00 ) ද අනෙකුත් නිලධාරීන්ගේ දීමනා වශයෙන් රුපියල් තුන්කෝටි එකලොස් ලක්ෂයකට (131162101.97) අධික මුදලක් ද අදාළ කොමිසන් සභාව පවත්වාගෙන යනු ලැබූ ගොඩනැගිල්ල වෙනුවෙන් රුපියල් තුන්කෝටි හැත්තෑ හත්ලක්ෂ යකට අධික මුදලක් (37754151.69) ද අදාල කොමිසන් සභාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වූ උපකරණ කුලියට ගැනීම වෙනුවෙන් රුපියල් හැටනවලක්ෂයකට (6905326.00) අධික මුදලක් ද  පුවත්පත් දැන්වීම් වෙනුවෙන් ලක්ෂ එකලහකට අධික මුදලක් (1197806.00 )මෙන්ම අනෙකුත් වියදම් ලෙස රුපියල් ලක්ෂ හතලිස් එකකට(4150032.32) අධික මුදලක් ද වැය කරමිනි.

  2019 අප්‍රේල් 21 දින කිතුනු දේවස්ථාන කීපයක්  ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද මෙම ප්‍රහාරය හේතුවෙන් විදේශීය ජාතිකයන් 45 ක් ඇතුළුව පුද්ගලයන් 270 කට ජිවිත අහිමි විය.  එමෙන්ම 500කට අධික ප්‍රමාණයක් තුවාළ ලැබූ අතර ලංකාවේ පත්කළ අනෙකුත් කොමිසන් සභාවලට වඩා මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ කොමිසන් සභාව ලබාදෙනු ලබන තීන්දු තීරණ නිර්දේශ කෙරෙහි ජාත්‍යන්තර අවධානය ද යොමුවිය.

 ඒ කෙසේ වෙතත් මෙරට මිනිස් ජිවිත මෙන්ම මහජන දේපල විශාල ප්‍රමාණයක් විනාශකළ එම ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ කොමිසම දින 214ක කාලයක් මුළුල්ලේ දේශපාලන අධිකාරියට හා ආරක්ෂක සේවාවන්ට අයත් පිරිස් මෙන්ම ව්‍යවසනයට මුහුණ දුන් හා ආශ්‍රිත ක්‍රියාකාරකම් සමග සම්බන්ධ පුද්ගලයන් 457 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබේ. ඒ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, වර්තමාන ජනාධිපති එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ද වේ. කෙසේ නමුත් මේ  ආකාරයෙන් විශාල මුදලක් වැය කරමින් පැවැත්වූ  මෙම කොමිසම  මෙරට තවත් රුපියල් කෝටි ගණනක මහජන මුදල් නාස්ති කළ තවත් එක් කොමිසන් සභාවක් බවට මේ වන විට පත්වී තිබේ.

තොරතුරු දෙන්න වසරකුත් මාස අටක්

 එවන් පසුබිමක පාස්කු කොමිසම වෙනුවෙන් සිදුකරනු ලැබූ මෙම වියදම් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සදහා, තොරතුරු  ඉල්ලා 2021 පෙබරවාරි 20 දින තොරතුරු අයදුම්පතක් යොමුකරන ලද අතර පසුව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් එම තොරතුරු, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ  පනතේ 5(1)(අ) සහ 5(1)(ඌ) වගන්තීන්හි විධිවිධාන අනුව ලබාදිය නොහැකි බව පවසමින්  එම තොරතුරු ලබාදීම  ප්‍රතික්ෂේප කරන ලදී.

කෙසේ නමුත් එම වගන්තිවල සඳහන් කරුණු පිළිබඳ සැලකිල්ලට ගැනීමේදී 5(1)(අ) වගන්තිය මගින් දක්වා ඇත්තේ ” පුද්ගලික තොරතුවලට අදාළ තොරතුරු සම්බන්ධයෙන් වන විට ,තොරතුරු හෙළිදරව් කිරීම යම් පොදු කටයුත්තක් හෝ සම්බන්ධතාවක් සඳහා කිසිදු සම්බන්ධයක් නොමැති අවස්ථාවක දී හෝ යම් තනි පුද්ගලයෙකුගේ පුද්ගලිකත්වය අනවසරයෙන් ආක්‍රමණය කිරීමක් සිදුවේ නම් ,”  මෙන්ම 5(1)(ඌ) වගන්තිය මගින් පෙන්වා ඇත්තේ යම් අපරාධයක් වැලැක්වීම හෝ ඒ පිළිබඳව සොයා ගැනීම හෝ වරදකරුවන් අල්ලා ගැනීම  හෝ ඔවුනට එරෙහි නඩු පැවරීම සම්බන්ධයෙන් බලවත් අගතියක් සිදුවන අවස්ථාවක  හෝ නීතිය බලාත්මක කිරීම හෝ ජාතික ආරක්ෂාවට අදාල තොරතුරු පිළිබඳ රහසිගත මූලාශ්‍රයක අනන්‍යතාවය හෙළි වන අවස්ථාවක දී පමණි.

 නමුත් ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා විසින් ඉහත පෙන්වා දුන් වගන්ති යටතේ පාස්කු කොමිසම වෙනුවෙන් සිදුකළ වියදම සම්බන්ධයෙන් වූ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණත් ඒ සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීමෙන් පෙනී ගියේ  ඉල්ලා සිටි තොරතුරු ඉහත වගන්ති යටතට ගත නොහැක්කක් බවයි.

  එමෙන්ම නියමිත ක්‍රමවේදයන්  ඔස්සේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසන් සභාවෙන් සිදුකළ අභියාචනයකින් අනතුරුව අවස්ථා කීපයකදී මේ සම්බන්ධයෙන් විභාග පැවැත්වූ අතර එක් අවස්ථාවක ජනාධිපති ලේකම් කාර්යාලය විසින්  අභියාචනා විභාගය වෙත සහභාගිවීමෙන් ද වැලකි සිටින ලදී. කෙසේ නමුත් අභියාචනා අංක RTIC/ Appeal/897/2021 යටතේ 2022.10.06 දින පැවැත්වූ අභියාචනා විභාගයේ දී එම තොරතුරු ඉල්ලුම්කරු වෙත ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය වෙත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසම  නියෝග කරන ලදී. ඒ අනුව 2022.10.20 දිනැතිව අදාල පොදු අධිකාරිය මගින් තොරතුරු ලබාදෙන විටත් එම තොරතුරු ලබාදීමට ගතවූ කාලය වසරකුත් මාස අටක් වන අතර එහි වැඩ කරන දින ගණන දින 400කි.

 මෙහිදී මෙරට පුරවැසියන්ට ඒත්තු ගැන්විය හැකි තවත් එක් ප්‍රධාන කාරණයක් වන්නේ පොදු අධිකාරීන් හට අවාසිදායක තොරතුරු ලබාදීමෙන් වන හානිය වලක්වා ගැනීම සඳහා  මේ ආකාරයෙන් පොදු අධිකාරීන් විසින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම ලංකාව තුල දක්නට ලැබෙන සමාන්‍ය දෙයක් බැවින් එසේ ප්‍රතික්ෂේප කළ පමණින් එම තොරතුරු ලබාගැනීමේ අරමුණ අත් නොහැර කටයුතු කළයුතු බවයි.

නිර්දේශ ක්‍රියාත්මක කරන්න හදපු කමිටුව

කෙසේ නමුත් ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලය තුලදී පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ අවසන් වාර්තාව 2021 පෙබරවාරි මස 01වන දින ජනාධිපතිවරයා වෙත භාරදීමෙන් පසු  පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ ජනපති කමිටුවේ ලබාදී ඇති එම  නිර්දේශ සමාලෝචනය කර ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට සය පුද්ගල කමිටුවක් පත් කිරීමට 2021 පෙබරවාරි මාසයේදී  හිටපු ජනාධිපති ගෝටාභය  රාජපක්ෂ පියවර ගත් අතර එම කමිටුව ද  තවත් එක් කමිටුවක් බවට පත්විය.

 එමෙන්ම අමාත්‍ය චමල් රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් යුතු, ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අයගෙන් සමන්විත වූ එම කමිටුව ද නීත්‍යානුකූල නොමැති බවට විපක්ෂයෙන් ද චෝදනා එල්ල කරනු ලැබිය. එමෙන්ම අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින්ද එම කමිටු වෙත සිය විරෝධය පළ කරන ලදී.

කෙසේ නමුත් පිටු 472කින්, ඇමුණුම් 215 කින් සහ වෙළුම් 06කින් සමන්විත වින්දිතයන්ට යුක්තිය ඉටුනොවූ  පාස්කු කොමිසමේ වාර්තාව මෙරට තවත් එක් කොමිසන් සභා වාර්තාවලින් එකක් පමණක් බව මොනවාට කියාපායිද?

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි