මහින්ද සහ මෛත්‍රී ජනාධිපති ධූර කාල තුලදී පුද්ගලික කාර්යමණ්ඩල වියදම් ලෙස පමණක්  රුපියල් කෝටි 148ට අධික මුදලක් වැය කරලා

මහින්ද රුපියල් කෝටි 63යි  – මෛත්‍රී රුපියල් කෝටි 85යි

  රටක ආර්ථිකය කඩා වැටීම කෙරෙහි එරට තුල සිදුකරනු ලබන මුදල් නාස්තිකිරිම් සෘජුවම බලපානු ලබයි. එය එම මුදල් නාස්තිකිරීම් සිදුකරනු ලැබන කාලයන් තුලදී බලපෑමක් ඇති නොකරනු ලැබුවත් පසුකාලීනව එය කෙසේ බලපාන්නේද යන්න මෙරට අද වනවිට ඇතිවී තිබෙන ආර්ථික අර්බුදකාරී තත්වය මොනවාට කියාපායිද?

 විශේෂයෙන්ම ලංකාවේ බලයට පැමිනුණු බොහෝ නායකයන් තමන්ගේ දේශපාලන හිතවතුන්හට රැකියාවක් තනතුරු වරප්‍රසාද ලබාදීමේ මූලික අරමුණින් යුතුව පුද්ගලික කාර්යමණ්ඩල රිසි සේ පවත්වාගෙන ගොස් ඇති අතර ඔවුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් රටේ ජාතික ධනය රිසිසේ භාවිත කර තිබෙන බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින්  සිදුකරනු ලැබූ විමසීමකදී අනාවරණය වී තිබේ.

  ජනාධිපතිවරුන් දෙදෙනෙකු ධූර කාලයන්  දෙකකදී පමණක්   ඒ ආකාරයෙන්   රුපියල් කෝටි 148 කට අධික මුදලක්(148,843,4900.00) තම පුද්ගලික කාර්ය මණ්ඩල නඩත්තුව වෙනුවෙන් පමණක් වැය කර තිබෙන අතර සමස්ථ මුදලින්  ප්‍රතිශතයක් ලෙස ඉන් 57%ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද 43%ක් ජනාධිපති මහින්ද රාජපක්ෂ ද වියදම් කර තිබේ.

  එමෙන්ම එම තොරතුරුවලට අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා 2010 සිට 2014 දක්වා ඔහුගේ දෙවන දුරකාලය කාලය තුලදී තම පුද්ගලික කාර්යමණ්ඩලයේ මුළු එකතුව ලෙස පුද්ගලයින් 2578 දෙනෙකු වෙනුවෙන් පමණක් රුපියල් කෝටි හැට තුනකට අධික මුදලක් (638,107,941.84ක් )  මෙන්ම හා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා 2015 සිට 2019 දක්වා තම පුද්ගලික කාර්යමණ්ඩලය මුළු එකතුව ලෙස පුද්ගලයින් 1317 දෙනෙකු වෙනුවෙන් තම ධූර කාලය තුලදී රුපියල් කෝටි 85කට අධික මුදලක් (850,326,958.14 )  වැයකර  තිබෙන බව ද අනාවරණය  වේ.

  විශේෂයෙන්ම රටේ ජාතික ධනය අවභාවිත නොකිරීමට තමන් කටයුතු කරන බව පවසමින් බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා ඊට පෙර හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාට නොදෙවැනි වියදමක් තම පුද්ගලික කාර්යමණ්ඩල නඩත්තුව වෙනුවෙන් යොදවා තිබෙන බව ජනාධිපති ලේකම් කාර්යාල මගින් ලබාදුන් එම තොරතුරු විශ්ලේෂනය  මගින් අනාවරණය වන්නකි.

තොරතුරු ලබාදෙන්න අවුරුදු තුනක්

  කෙසේ නමුත් ඉහත තොරතුරු විමසීම 2019 වර්ෂයේදී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ලයනල් ගුරුගේ මහතා විසින් යොමු කර තිබුණත් එම තොරතුරු ලබාදීම ජනාධිපති ලේකම් කාර්යාලය මගින් තොරතුරු දැනගැනීමේ පනතේ පස්වන වගන්තිය යටතේ ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේ නමුත් මහජනතාවගේ බදු මුදලින් නඩත්තු කෙරෙන ජනාධිපති පුද්ගලික කාර්යමණ්ඩල වියදම් සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු දැනගැනීමට අයිතියක් පවතින  බැවින් ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසන් සභාව වෙත සිදුකළ අභියාචනයකින් අනතුරුව RTIC/Appeal/1867/2019 අභියාචනා අංකය යටතේ 2022 ඔක්තෝබර් මස 19 වන දින සිදුකරනු ලැබූ අභියාචනා විභාගයේදී එම තොරතුරු, තොරතුරු  ඉල්ලුම්කරු වෙත ලබාදෙන ලෙස තොරතුරු කොමිසම මගින් ලබාදුන් නියෝගයට අනුව   2022 නොවැම්බර් 14 දිනැතිව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඉහත තොරතුරු ලබාදීමට කටයුතු කර තිබේ.

මේ සමබන්ධයෙන් අදහස් දැක්වූ ලයනල් ගුරුගේ මහතා ප්‍රකාශකර සිටියේ බොහෝ රජය ආයතන ජනතාවට ලබාදීමට නොහැකි බව පවසන තොරතුරුද මේ කාරයෙන් ලබාගැනීමට හැකියාවක් පවතින බවට ජනතාව දැනුවත්විය යුතු බවයි.

  ‘’ විශේෂයෙන්ම අපේ රටේ නායකයින්ගෙන්  බලාපොරොත්තු වන්නේ රටේ ජාතික ධනය ආරක්ෂාකරදීම නමුත් රාජ්‍ය නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සිටින පසුබිමක්තුලද මේ ආකාරයෙන් තවත් පුද්ගලික කාර්ය මණ්ඩලයක් වෙනුවෙන් මේ ආකාරයෙන් විශාල මුදල් නාස්තියක් සිදුකරන බව බොහෝ පුරවැසියන්ද දන්නේ නෑ. ඇත්තෙන්ම අපි බලපොරෝතුවන්නේ ඉදිරියේ පත්වනනායකයින්වත් මේ ආකාරයෙන් සිදුකරනු ලබන මුදල් නාස්තිකිරීම් අවම කරවීමයි.’’බවද හෙතෙම කියා සිටියේය.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි