තොරතුරු ඉල්ලූවිට  වැරදි තොරතුරු දෙන්න ගිය හම්බන්තොට පළාත් පාසල්  විදුහල්පතිවරුන්ගේ  තැත හෙළිවේ

තොරතුරු කොමිසමත්, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයත්,තොරතුරු ඉල්ලුම්කරුත් නොමග යැවීමේ තැතක්

  පසුගිය 2021 වසරේදී මාර්ගගත ක්‍රමය ඔස්සේ පාසල් දරුදැරියන් හට  අධ්‍යාපන කටයුතු සිදුකළ ආකාරය සම්බන්ධ තොරතුරු ලබාදීම මගහරිනු ලැබූ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාසල්  38කට හා දිවයිනේ තවත් ජාතික පාසල් 37ක විදුහල්පතිවරුන්ට එරෙහිව  ශ්‍රී ලංකා තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව මගින්, 2022 දෙසැම්බර් මස 08 වන දින අභියාචනා විභාග කරන බවට දන්වා  නොතීසි නිකුත් කර තිබේ.

 දිවයිනේ පාසල් තුළ 2021 මැයි මස 03වන දා සිට ජුලි 22 දක්වා කාලය තුලදී  මාර්ගගත ක්‍රමය ඔස්සේ පාසල් දරුදැරියන් හට  අධ්‍යාපන කටයුතු සිදුකළ කාල සටහන් හා විස්තර ඉල්ලා දිවයිනේ දිස්ත්‍රික්ක 08ක පාසල් 229ක් සඳහා තොරතුරු දැනගැනීමේ පනතට අනුව තොරතුරු ඉල්ලා යොමුකළ තොරතුරු ඉල්ලීම් සඳහා ප්‍රතිචාර නොදැක්වූ මෙන්ම තොරතුරු ලබා නොදුන්  පාසල් 75ක විදුහල්පතිවරුන්ට එරෙහිව මෙලෙස නොතීසි නිකුත්කර තිබේ.

විශේෂයෙන්ම මෙහිදී දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාසල් 78ක් සඳහා තොරතුරු ඉල්ලුම්පත් යොමුකළ අතර ඉන් තොරතුරු ලබාදී ඇත්තේ  පාසල් 40ක් පමණ වේ. කෙසේ නමුත් මේ ආකාරයෙන් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට පිටුපාමින් රටේ ව්‍යස්ථාපිත නීතීන්ට පවා අවනත නොවෙමින්  කටයුතු කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාසල්හි විදුහල්පතිවරුන් මේ වනවිට අදාල තොරතුරු ලබාදීම මගහැරීම සම්බන්ධයෙන් අසත්‍ය කරුණු දැක්වීමට සැලසුම් කරමින්, බොහෝ දෙනෙකු එය ක්‍රියාත්මක කරමින් තිබෙන බවට තොරතුරු අනාවරණය වේ.

 මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය වූයේ අදාල තොරතුරු ලබාදෙන ලෙස දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 2022 ඔක්තෝම්බර් 10 දිනැතිව විදුහල්පතිවරුන්ට යැවූ ලිපියකට ප්‍රතිචාර වශයෙන්  අදාල විදුහල්පතිවරුන්ගේ WhatsApp සමූහයක් තුළ සංසරණය වූ පණිවුඩ මගින් වන අතර ඒ අනුව එම විදුහල්පතිවරුන් මෙම තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ගේ  WhatsApp සමූහය තුළ ප්‍රකාශ කර ඇත්තේ “අපි කවුරුත් එකම වගේ ලිපියක් භාරදෙමු” වශයෙනි. මෙහිදී අදාල පණිවුඩය සමූහයට එක්කළ  අදාල විදුහල්පතිවරයා  විසින් තමන් මෙන්ම අනෙක් අය ද වැරදි, නොමග යවනසුලු තොරතුරු හෝ ලිපියක් ලබාදීමට පොළඹවා ඇති අතර ඉන් තොරතුරු කොමිසම, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම තොරතුරු ඉල්ලුම්කරු ද නොමග යවමින් වැරදි තොරතුරු ලබාදීමේ ප්‍රයත්නය මනා ලෙස පිළිබිඹු වේ.

විශේෂයෙන්ම පුරවැසියෙකුගේ මුලික අයිතිවාසිකමක් වන සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම අහුරාලමින් පරිපාලන සේවයේ රාජ්‍ය නිලධාරීන් මේ ආකාරයෙන් කටයුතු කිරීම මෙරට පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට සිදුකරනු ලබන බරපතල අභියෝගයකි. විශේෂයෙන්ම දරුවන් හට ඒ ආකාරයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යපන කටයුතු සිදුකරනු ලැබුවා නම් මේ ආකාරයෙන් ව්‍යාජ තොරතුරු ලබාදීමට උත්සහ කරන්නේ ඇයි ද යන්න ද මෙහිදී සැලකිය යුතු කාරණයක් වේ.

 කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් මෙම විදුහල්පතිවරුන්ට එරෙහිව 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 39(1)(අ) වගන්තියට ප්‍රකාරව සිතාමතාම තොරතුරු ලබාදීම අවහිර කිරීම, චේතනාන්විතව වැරදි සහගත, අසම්පුර්ණ හෝ  නිවැරදි නොවන තොරතුරු සැපයීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නිසි විභාගයක් පවත්වා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස  ශ්‍රී ලංකා තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත මෙන්ම දකුණූපළාත් අධ්‍යාපන අමාත්‍යංශය වෙත සිදුකරනු ලැබූ පැමිණිල්ලකට පසු හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලය මගින් 2022 නොවැම්බර් 02 දිනැති ලිපියක් මගින් දන්වා ඇත්තේ විදුහල්පතිවරුන්ගේ WhatsApp සමූහය තුල සංසරණය වූ තොරතුරුවල ඡායා රූපයක් තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත ලැබීම නිසා අනවශ්‍ය ගැටළුවක් පැනනැගී ඇති බැවින් තවදුරටත් එවැනි ක්‍රියාවන් සිදුවීම වලකන ලෙසයි. 

දිවයිනේ බොහෝ පාසල් මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාසල්  මගින් ද මෙම තොරතුරු ලබා දී ඇති පසුබිමක පාසල් 38ට  පමණක් දින 14කින් ලබාදිය යුතු තොරතුරු ලබාදීමට වසරකුත් මාස තුනකට අධික කාලයක් ලබාගනිමින් තවදුරටත් එම තොරතුරු ලබා නොදීම උචිත කාරණයක් නොවන බව මනාව වැටහෙන දෙයක් වේ.  විශේෂයෙන් රටේ දරුවන්ගේ  අධ්‍යාපන අයිතිවාසිකම් සම්බන්ධයෙන් ද සිදුකළ මෙම තොරතුරු ඉල්ලීමට  පවා මේ ආකාරයෙන් අසත්‍ය තොරතුරු ලබාදෙමින් රජයේ ඉහළ නිලධාරීන් මෙන්ම තොරතුරු කොමිසම පවා නොමඟ යැවීමට කටයුතු කිරීම මගින් වැටෙහෙන කාරණයක්  වන්නේ මෙම විදුහල්පතිවරුන් වෙනත් අවස්ථාවන්හි පවා මේ ආකාරයෙන් අනීතිකව හැසිරී ඇතිබව නොවේද? එමෙන්ම මේ  සම්බන්ධයෙන් අදාළ විදුහල්පතිවරුන්ට එරෙහිව  විනය  ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු  කිරීම මෙන්ම ලබාදෙනු ලබන එම තොරතුරු කොතරම් දුරට සත්‍ය තොරතුරුද යන්න සනාථ කරගැනීමට විදිමත් පරීක්ෂණයක් පැවැත්වීම  වගකිව යුතු ඉහළ නිලධාරීන්ගේ  වගකීමක් නොවේද?  

  කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ තොරතුරු ලබාදීමෙන් සිදුවන වාසි අවාසි නොබලා  ජනතාවට අවශ්‍ය තොරතුරු ලබාදීමට කටයුතු කරන බවයි කෙසේ නමුත් මෙම විදුහල්පති වරුන් තොරතුරු ලබා නොදිම සම්බන්ධයෙන් තමන් නිසි සොයා බැලීමක් සිදුකරන බවයි.