ලංකාවම බිලිගත් Onmaxdt නමැති තවත්  පිරමීඩ ජාවාරමක්

රාජ්‍ය නිලධාරීන් ඇතුළු දහස් ගණනක් මුදල් තැන්පත් කරලා

මහ බැංකුවේ කිසිදු අවසරක් නෑ – පැමිණිලිත් ලැබිලා තියෙනවා  –  ශ්‍රී ලංකා මහ බැංකුව

  “ කොහොම හරි මාස හයක් යනකම් තමයි බය ඊට පස්සේ අපි දාපු මුදල ලැබෙනවා. නමුත්  තවත් කීප දෙනෙකු මේකට සෙට් කළොත් මාස දෙකෙන් ගොඩ යන්න පුළුවන් කොයි වෙලාවේ මේක නවතියිද දන්නේ නැති නිසා කොහොම හරි තවත්  කීපදෙනෙක් වැඩේට සෙට් කරලා මම දාපු මුදල හා ලාබය ගන්න තමයි ඕන. මේකට සල්ලි දාන හැමෝම කරන්නේ ඕක තමයි” බව Onmaxdt නමින් හඳුන්වනු ලබන පිරමිඩ ජාවාරමක මුදල් තැන්පත් කරනු ලැබූ  ප්‍රියන්ත(සැබෑ නම නොවේ) ප්‍රකාශ කර සිටියේ ය.

පසුගිය කාලය තුලදී “දඩුවම්”, “පැනෝරා” මෙන්ම වර්තමානයේ  තිළිණි ප්‍රියමාලි වැනි මහා පරිමාණ පිරමිඩ ජාවාරම් තුලට මුදල් ආයෝජනය කිරීම හේතුවෙන් බොහෝ පිරිසකට තම මුදල්, දේපල පමණක් නොව ජිවිත පවා අහිමි වූ අවස්ථා එමට ය. එවන් පසුබිමක මෙරට විවිධ ස්වරූපයෙන්  පැමිණෙනු ලබන පිරමිඩ ජාවාරම් වංචාවන්ට තවමත් මිනිසුන් මුදල් ආයෝජනය කිරීමට පෙළඹෙන්නේ ඉක්මනින් විශාල මුදලක් සොයා ගැනීමට ඇති කෑදර කම නිසා මෙන්ම මේ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් නිසි කලට නීතිය ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

 කෙසේ නමුත් පිරිසක් මූලික අදියරයන්හි මේ ආකාරයෙන් මුදල් හා ලාභ ලබාගනිමින් සැපසේ සිටියත්  ඉදිරියේදී තවත් විශාල පිරිසකගේ මුදල් හා දේපල නැතිකිරීමට තරම් හානියක් මෙම පිරමිඩ ජාවාරමින් සිදුවීම වලක්වා ගැනීම උදෙසා සිදුකළ සොයා බැලීමක ප්‍රතිඵලයක් ලෙස Onmaxdt නමින් ඕස්ට්‍රේලියානු සමාගමක් ලෙසින්   අතත්‍ය මුදල්  ආයෝජන ඩිජිටල් වේදිකාවක් හරහා  ජනතාවගේ මුදල් රැස්කරමින් තිබෙන ජාවාරමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීමට හැකිවිය. මෙය ඒ සම්බන්ධයෙන් ගවේෂණයකින් අනතුරුව සිදුකරනු ලබන  පුළුල් අනාවරණයකි.

 ඕස්ට්‍රේලියාවේ සමාගමක් ලෙස පෙන්වාදෙන මෙම  පිරමිඩ ජාවාරම මගින් සිදුකරනු ලබන්නේ  crypto currency (ගුප්ත ව්‍යහාර මුදල්) හරහා මුදල් ගනුදෙනු කරන බව පවසමින් ඒ සදහා මුදල් ලබාදෙනු ලබන පුද්ගලයින්හට එම මෘදුකාංගය ( app එක) හඳුන්වාදෙමින් ඒ මගින් ඔවුන් හට ගිණුමක් ලබාදෙමින් මුදල් ආයෝජනය කිරීමෙන් අනතුරුව  එම ගිණුමේ මුදල් නිරන්තරයෙන් වැඩි වන බවට පෙන්වීමට කටයුතු කිරීමයි. ඒ මගින් මුදල් ලබාදෙන්නන් අතර විශ්වාසය ඇති කරමින් රැවටීමට ලක් කෙරේ.  

 කෙසේ නමුත් මෙසේ මෘදුකාංගයක් මගින් ක්‍රියාත්මක වුවත් ඒ සඳහා මුදල් තැන්පත් කිරීමට ඒ  වෙනුවෙන් කිසිදු අවස්ථාවක ගිණුම් අංකයක් ලබා නොදෙන  අතර ඔවුන් එම මුදල් මුදල් තැන්පත්කරුවන්ගේ අතින් ලබාගැනීම පමණක් සිදු කෙරේ. එමෙන්ම එසේ අතින් ලබාදෙනු ලබන මුදල්  Onmaxdt නම් ආයතනය සම්බන්ධ නියෝජිතයින් හරහා ලබාගැනීමට කටයුතු කෙරේ. එසේ මුදල් ලබාදීමෙන් පසු සති දෙකකින් අනතුරුව අදාළ මුදල් ලබාදුන් තැනැත්තා වෙනුවෙන් ලබාදෙන  මෘදුකාංගය මගින් තමන් උපයන ලද මුදල් USDT ලෙස ලැබෙන   බවට පෙන්වීම සිදු කෙරෙයි. නමුත් ඔවුන්ගේ ගිණුම් සදහා මුදල් ලබන්නේ රුපියල් ලෙස වේ.

විශේෂයෙන්ම  ඕස්ට්‍රේලියානු  සමාගමක් ලෙස පෙනී සිටින මෙම ආයතනය මගින් මේ ආකාරයෙන් මුදල් තැන්පත්කරුවන්ගේ ගිණුම් තුලට මුදල් තැන්පත්කිරීම් සිදුකරනු ලබන්නේ කුමන ගිණුමක් මගින් ද යන්න සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමකදී අනාවරණය  වුයේ  එම මුදල් ලබාදෙනු ලබන්නේ ලංකාවේම විවිධ පුද්ගලයන් හරහා දේශීය බැංකු මගින් බවයි.

ව්‍යාජ තොරතුරු

 එමෙන්ම Onmaxdt යන ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන ෆේස්බුක් සමාජ මාධ්‍ය  පිටුවේ ඔවුන්ගේ ලිපිනය සඳහන් කර ඇත්තේ 42 Logan Rd, Woolloongabba QLD 4102, Australia ලෙසිණි. අප මෙය googal  map හරහා මෙන්ම ඕස්ට්‍රේලියාවේ වෙසෙන මාධ්‍යවේදීන් දෙදෙනෙකු හරහා ද සිදුකළ සොයා බැලීමකදී අනාවරණය වුයේ එම ස්ථානයේ ඒ ආකාරයෙන් පවත්වාගෙන යනු ලබන ආයතනයක් නොමැති බවත් එම ස්ථානයේ පවතින්නේ The Bungalow Brisbane නැමති අවන්හලක් පමණක් බවය.

විශේෂයෙන්ම ඕනෑම පිළිගත් ආයතනයක් ගනුදෙනුකරුවන් සම්බන්ධ කර ගැනීමට මත්තෙන් එහි නෛතිකත්වය සපුරාගත යුතු ය. නමුත් එසේ වූ ලියාපදිංචියක් ලංකාවේ ද මෙතෙක් මෙම ආයතනය සිදුකර නොමැති බව සිදුකළ සොයා බැලීමේදී කරුණු අනාවරණය කරගැනීමට හැකිවිය.

  එමෙන්ම මෙවන් සමාගමකට ලංකාවේ මේ ආකාරයෙන් ආයෝජන කටයුතු සිදු කිරීම සඳහා අවසර ලබාදී තිබේද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව මගින්  තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ 2022.08.23 දිනැතිව සිදුකරනු ලැබූ විමසීමකට අනුව ලබාදුන් තොරතුරු මගින් ද අනාවරණය වුයේ එවන්  සමාගමක් සදහා ලංකාව තුළ මුදල් ආයෝජනය කිරීම සඳහා අවසර ලබාදී නොමැති බවයි. එමෙන්ම එම තොරතුරුවලට අනුව  Onmaxdt නැමති ආයතනය සම්බන්ධයෙන් මහජන පැමිණිලි ලැබී තිබෙන බවත් ඒ අනුව වැඩි දුර විමර්ශන කටයුතු සිදුකරගෙන යනු ලබන බවත් පවසා තිබේ.

 එමෙන්ම මෙම ආයතනය 2020 වර්ෂයේ සිට මේ ආකාරයෙන් මුල්‍ය ගනුදෙනු සිදුකර ඇති නමුත් ඔවුන්ගේ  වෙබ් අඩවියට අදාල Onmaxdt.com යන නාමය ලබාගෙන ඇත්තේ 2021 .07 .22 දින බව ද  එය නැවත 2022-11-22 යාවත්කාලින කර තිබෙන බවත්  https://who.is/whois යන වෙබ් අඩවි  සමාලෝචනය කරන වෙබ් අඩවිය හරහා සිදුකළ සොයාබැලීමකදී අනාවරණ විය.

මෙයට අමතරව ලොව සිදුවන වංචා සම්බන්ධයෙන් යම් සමාලෝචනයන් ලබාදෙනු ලබන Scam Detector වෙබ් අඩවියට අනුව ඕනෑම වෙබ් අඩවියක් Scam Detector හි ඇල්ගොරිතම ශ්‍රේණි ගතකිරීම් ලබාදෙනු ලබන අතර ඒ අනුව ඕනෑම වංචාවකින් තොර  වෙබ් අඩවියක් 50% කට වඩා ඉහල ප්‍රතිශතයකින් තිබිය යුතු ය. නමුත් එම වෙබ් අඩවියට අනුව Onmaxdt.com යන වෙබ් අඩවිය දරන්නේ 0.7% (https://www.scam-detector.com/validator/onmaxdt-com-review/ ) ප්‍රතිශතයක් වේ. ඒ අනුව Scam Detector වෙබ් අඩවියේ නිගමනය ලෙස දක්වා ඇත්තේ මෙම වෙබ් අඩවිය  ආයෝජන කර්මාන්තයට අදාළ අනෙකුත් සාධක සම්බන්ධ ඉහළ අවධානම් ක්‍රියාකාරකම් සහිත වෙබ් අඩවියක් ලෙස වේ.

 එමෙන්ම ඕස්ට්‍රේලියාවේ සමාගමක් ලෙස පෙනී සිටින මෙම සමාගමේ ප්‍රේක්ෂක විහිදීම සම්බන්ධයෙන් www.similarweb.com වෙබ් අඩවිය ඔස්සේ සිදුකරනු ලැබූ සොයාබැලීමකදී අනාවරණය වුයේ  2022.නොවැම්බර් මස 22 වන විට එහි ශ්‍රී ලංකික ප්‍රේක්ෂකයින් 94.61 % කැනඩාවෙන් 5.39% ක් බවයි.   https://www.similarweb.com/website/onmaxdt.com/#geography. එහි කිසිදු ආකාරයක ඕස්ට්‍රේලියාවේ ප්‍රේක්ෂක පිරසක් පෙන්නුම් කර නොමැති මෙන්ම මෙම ආයතනය ඕස්ටේලියානු සමාගමක් හෝ එහි ක්‍රියාත්මක  සමාගමක්  නොවන බවට කරුණු තහවුරු වේ. මේ සියලු දත්ත සැලකිල්ලට ගැනීමේදී මෙම Onmaxdt ව්‍යාපාරය කිසිසේත් නිත්‍යානුකූල සමාගමක් නොවන බවට මෙන්ම ඕස්ට්‍රේලියානු යෝජනා  සමාගමක් නොවන බවට  පෙන්වා දිය හැකි ය.

 කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කරුණු දැනගැනීම සදහා Onmaxdt යන ආයතනයේ ප්‍රවර්ධන කටයුතු සිදුකරමින් සමාජිකයින් බඳවාගනු ලබන ලුණුගම්වෙහෙර පදිංචි සුමිත් සුදුසිංහ නමැති අයගෙන් 2022 අගෝස්තු මස 25 දින මේ සඳහා මුදල් ආයෝජනය  කරන ආකාරය සම්බන්ධයෙන් කරුණු විමසු අතර එහිදී ඔහු පැමිණ එය සිදුකරන ආකාරය සම්බන්ධයෙන් පවසා සිටින ලදී.  එමෙන්ම මේ වනවිට ලක්ෂ ගණනින් බොහෝ පිරිසක් මුදල් ආයෝජනය කර තිබෙන බවත් ඒ සඳහා තමන් වග කියන බවත්   ඔහු පවසා සිටියේ ය. නමුත් පසුව මාධ්‍ය වෙත පලකරන මෙම ලිපිය සදහා 2022 10.10 වන දින  ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තමන්හට වගකීමක් දැරිය නොහැකි බවත් ඒ සදහා සම්පත් සඳරුවන් නමැති අයගෙන් කරුණු විමසන ලෙසයි.

“මේකෙ  සභාපති වශයෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ඩෑන් බස්නායක කියන කෙනෙක්. ඔහු නුවර කෙනෙක්. ඇත්තටම මමත් මේකේ ඉන්වෙස්ට්මෙන්ට් එකක් කරන කෙනෙක් මමත් වැඩි විස්තරයක් දන්නේ නෑ. ඕනනම් ලංකාවේ කණ්ඩායමේ ඉන්න සම්පත්ගෙන් වැඩි විස්තර දැනගන්න” එමෙන්ම මෙම ආයතනයේ, ප්‍රාදේශීය ලේකම්වරුන් පවා මුදල් තැන්පත් කර තිබෙන බවද හෙතෙම කියා සිටියේ ය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඔහු ලබාදුන් දුරකථන අංකයට අනුව 2022 නොවැම්බර් 22 දින සම්පත් සඳරුවන්  නමැති අය සම්බන්ධ කර ගැනීම සදහා අප උත්සහ කරනු ලැබුවත් ඔහු විසින් දුරකථනය සදහා ප්‍රතිචාර නොදක්වන ලදී.

ජනතාව අන්දන හැටි

විශේෂයෙන්ම මෙම පිරමිඩ ජාවාරම හා සම්බන්ධ බොහෝ පිරිස් ලංකාවේ දිස්ත්‍රික්ක බොහොමයක සිටින අතර ඒ අතර  නුවර මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට, හම්බන්තොට, රන්න, ලුණුගම්වෙහෙර යන ප්‍රදේශ තුලත් බහුලව බොහෝ පිරිසක්  මේ සදහා මුදල් ආයෝජනය  කර තිබේ. මුදල් ආයෝජනය  කර තිබෙන පිරිස් අතර රාජ්‍ය නිලධාරීන්  ව්‍යාපාරිකයින් මෙන්ම සාමන්‍ය ජනතාව ද සිටි. සාමාන්‍ය ජනතාවගෙන් බොහෝ පිරිස් ඉඩම් උකස් කර පවා මේ සදහා මුදල් ආයෝජනය කර තිබෙන බවත් පොලිස් නිලධාරින් ද  මේ අතර සිටින බව  නම හෙළිකිරීමට අකමැති වූ ආයෝජකයෙකු පවසා සිටියේ ය.

“අපි USDT 1000ක් රුපියල් වලින් තුන්ලක්ෂ හැත්තපන්දාහක් විතර දැම්මම ඒ මුදල මාස 4කින් පමණ අපිට ලැබෙනවා , ඒවගේ මාස 15ක් යනකම් මේ අය අපිට ගෙවනවා කොහොම හරි ඒ මාස 15ට,  මුලින් අපි දාපු මුදල වගේ තුන් ගුණයක් අපට ලැබෙනවා . හැබැයි තව කට්ටිය මේකට අපි බඳවා  ගත්තොත් අපිට තවත් කොමිස් එකක් හම්බවෙනවා. එතකොට දාපු මුදල මාස දෙකකදී විතර හොයාගන්න පුළුවන්. ඒ නිසා සල්ලි දාපු මිනිස්සු කරන්නේ කොහොම හරි තව කට්ටිය සම්බන්ධ  කරන එක .’’ බව නම හෙළිකිරීමට අකමැති මෙහි මුදල් ආයෝජනය කළ අයෙකු කියා සිටියේ ය.

  විශේෂයෙන්ම මේ සදහා ජනතාව දැනුම්වත් කරමින් මුදල් ආයෝජනය කිරීමට මුදල් ලබා ගන්නා පිරිස් මිනිසුන්ට පවසා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ මෙම මුදල් ආයෝජනය කරමින්  ඉන් ලැබෙන ලාබය මේ ආකාරයෙන් බෙදා දෙන  බවයි. නමුත් මේ  ආකාරයෙන් ලාභාංශ  ලෙස බෙදා දීමට තරම් ආයෝජනයක් නොව එහි කොටසක්වත් ලබාදීමට තරම් ආයෝජන ක්‍රියාවලියක් මෙම ආයතනය සිදුකරන බවට කිසිදු තොරතුරක් අදාළ ආයතනයේ නියෝජිතයන් වශයෙන් කටයුතු කරන පුද්ගලයින්හට පැවසීමට නොහැකි විය.

  කෙසේ නමුත් මෙම ක්‍රියාවලියට සම්බන්ධ බොහෝ පිරිසගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය පිටු සම්බන්ධයෙන් දීර්ග කාලයක් තිස්සේ සිදුකළ අධ්‍යයනයෙන් හෙළි වුයේ මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්, තවත්  පුද්ගලයන් මේ සඳහා බඳවා  ගැනීමේ අදහසින් ඔවුන් මෙහි ආයෝජකින් බව හුවා දක්වමින් තමන් මෙයින් විශාල දියුණුවක්  අත්කරගෙන ඇති ආකාරය දැක්වෙන ඡායාරූප හා අදහස් තමන්ගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය පිටු තුල පළකිරීමයි.

  විශේෂයෙන්ම එසේ පළකිරීම් තුළ, රුපියල් කෝටි ගණනින් මුදල් රැස්කරමින් ලබාගත් වාහන, ලබාගත් ආකාරය හා බොහෝ අවස්ථාවල විශාල ගණනින් රැස්කළ මුදල්හි ඡායාරූප පවා පලකරනු ලබයි. ලංකාවේ 2011 අංක 40 දරන මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ (සංශෝධන) පනතට අනුව යම් තැනැත්තෙකු මුදල් උපයාගන්නා ආකාරය හෙළිකිරීමට හැකියාවක් පැවතිය යුතු ය. එය ක්‍රියාත්මක කිරීමට  පොලිසියට ද බලය ඇත්තේ ය. නමුත් කන්න ඕනෑ වූ විට කබරයා ද තලගොයා කරගෙන නීතිය ක්‍රියාත්මක කරන ලංකාවේ පොලිසිය ඇතුළු  වගකිව යුතු නිලධාරීන්,  දහස් ගණනකගේ මුදල් මංකොල්ලකමින් අනාගතයේදී තවත් විශාල පිරිසකට ජීවිත, දේපල පවා අහිමිකිරීමට තරම් බලපෑමක් සිදුකරනු ලබන  මෙම ජාවාරම්කාරයින් සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක නොකිරීම කණගාටුවට කරුණකි.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට ශ්‍රී ලංකා මහබැංකුවේ නියෝජිතයින් කීපදෙනෙකු සම්බන්ධ කරගැනීමට අප කීප අවස්ථාවක් උත්සහ කරනු ලැබුවත් එය ව්‍යර්තවිය. නමුත් මේ සමබන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකොට සිදු කෙරෙන මෙම ජාවාරම මගින් ජනතාව ගලවා ගැනීමට කටයුතු කිරීම රජයේ මෙන්ම අදාළ බලධාරීන්ගේ යුතු කමකි වග කීමකි.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි