සංවර්ධනාත්මක මාධ්‍යය වෙනුවෙන්  සාර්ක් රටවල මාධ්‍යවේදීන් එකම වේදිකාවට ගෙනා දිල්ලියේ පැවති ජාත්‍යන්තර සම්මන්ත්‍රණය

0
165

රටක සංවර්ධනය සිදු කිරීමේ දී ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය සහ ජනමාධ්‍යවේදීන්ගේ  වගකීම  මැයෙන් සාර්ක්  රටවල් අටක මාධ්‍ය නියෝජිතයන්ගෙන් සමන්විත දින තුනක ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ඉන්දියාවේ නවදිල්ලි නුවරදී 13වන දින පස්වරුවේ  අවසන් කෙරිණි.

  සාක් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය සංවිධානය කර තිබූ මෙම සම්මන්ත්‍රණය  ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ගෞතම් බුද්ධා විශ්වවිද්‍යාලයේ දී  ඉකුත් 10වන දින   ආරම්භ කෙරුණු අතර මේ සඳහා රටවල් 8 ක් නියෝජනය කරමින් ජනමාධ්‍යවේදීන් රැසක් පැමිණ සිටියහ.

  ලංකාව නියෝජනය කරමින් ජනමාධ්‍යවේදීන් තිදෙනකු සහභාගි වී සිටියහ. සා ර් ක්  ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ ශ්‍රී ලංකාවේ උප සභාපති රාහුල් සමන්ත හෙට්ටිආරච්චි, සහ මාධ්‍යවේදී  කාංචන  කුමාර ආරියදාස, සනත් ප්‍රියන්ත යන මාධ්‍යවේදීහු  දිල්ලි අගනුවර පැවති මෙම සමුළුවට එක්ව සිටියහ.

    රටක සංවර්ධනය සඳහා ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය පිළිබඳව සහ ඔවුන් අතින් සිදුවිය යුතු කරුණු කාරණා අභියෝග  පිළිබඳව දින දෙකක සාකච්ඡා වට ලෙස ක්‍රියාත්මක වූ අතර එක් දිනක් දිල්ලියේ ප්‍රධාන විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු සහ   උපකුලපතිවරුන් මෙන්ම ජනමාධ්‍ය පාඨමාලා පිළිබඳව පර්යේෂණ කරන විද්වතුන් සමඟ සාකච්ඡාමය සැසිය සිදු කෙරිණි.

 මෙම සමුළුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ  මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා සාර්ක් කලාපීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ජාත්‍යන්තර විධායක කමිටුවට තෝරා පත්කර ගැනීම විශේෂත්වයකි.මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි යනු තොරතුරු දැනගැනීමේ පනත භාවිතයෙන් ලංකාවේ විශිෂ්ට ගවේශනාත්මක මාධ්‍ය කරණයක නියැලෙන මාධ්‍යවේදියෙකි.

සාර්ක් කලාපීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ජාත්‍යන්තර විධායක කමිටුවට තෝරා පත්කරගත් මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා

මෙම සමුළුව සංවිධානය කළ සාර්ක් මාධ්‍යවේදීන්ගේ සංසදය වෙත ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ මාධ්‍යවේදීන් සිගිරි අප්සරා අනුරුවක සමරු ඵලකයක්  සාර්ක් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති රාජු ලාමා මහතාවෙත  පරිත්‍යාග කළහ .

සාර්ක් මාධ්‍යවේදීන්ගේ සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස  දිල්ලියේ පිහිටි  ගෞතම් බුද්ධා විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආර්.කේ.සිංහ මහතා මෙන්ම  දිල්ලි විශ්වවිද්‍යාලයේ නියෝජනය කරමින් ජේෂ්ඨ   විද්වතුන්  කිහිපදෙනෙකුම එක්ව සිටියහ .

රටකය සංවර්ධනය මෙන්ම ජාතිය ගොඩනැගීමේ දී ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය ඉතා බුද්ධිමත්ව කළ යුතු බවත් නිර්මාණාත්මකව රට  ගොඩනැගීම සඳහා ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය මැනවින් ආසියානු රටවල් තුළ ඉටු කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය .

   සාර්ක් ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ සභාපතිවරයා වූ රාජු ලාමා මහතා සම්මන්ත්‍රණය අමතමින් කියා සිටියේ ජාතිය   ගොඩනැගීමේ දී මාධ්‍යවේදීන්ගේ  කාර්යභාරය අද්විතීය බව ය. මාධ්‍යවේදීන් ලෙස කටයුතු කිරීම සිදුකළ යුතු බවත් දකුණු ආසියාවේ  මාධ්‍යවේදීන්ගේ සහයෝගීතාවය නිදහස ගැන පමණක් කථා නොකොට රටක්  ගොඩනැගීමට කටයුතු කළ යුතු බව ද සාමය සමාදානය ආර්ථික සංවර්ධනය අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කළ යුතු බවද    හෙතෙම පෙන්වා දුන්නේය.

 රටවල්හි පවතින ආණ්ඩු සහ පාලන බලධාරීන් සිදුකරගෙන යන සංවර්ධන කටයුතු සඳහා ජනමාධ්‍යවේදීන්ගේ සහයෝගය ලබාදෙන බවට කලාපයේ ජනමාධ්‍යවේදීන් තම හස්තය දිගු කළ යුතු බවත් ඒ සඳහා අනෙකුත් ජනමාධ්‍යවේදීන්ට ද තමා  ආරාධනා කර  සිටින බව සඳහන් කළේ ය.

 දිල්ලි අගනුවරදී මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ දී  දකුණු ආසියාවේ  ජන  මාධ්‍යවේදීන්ගේ අභියෝග, දකුණු ආසියාවේ කාන්තා පුවත්පත් කලාවේ අභියෝග, ජනමාධ්‍ය ආයතනවල වත්මන් භූමිකාව, අභියෝග, ඩිජිටල් සහ මුද්‍රිත මාධ්‍යවේදීන්ගේ කුසලතා සංවර්ධනය ආදී මාතෘකා යටතේ සැසි වාර කිහිපයක් පැවැත්වීම විශේෂත්වයකි.