
ලෝකය තුල සීග්‍රයෙන් පැතිරගිය කොරෝනා වෛරස් තත්වය තුල බොහෝ රටවල ආරථිකය කඩා වැටුණු අතර එය සංවර්ධිත රටවලට මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට ද දැඩිසේ දැනෙන්නට වූ දෙයක් විය. නමුත් එය බොහෝ සෙයින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සදහා දරාගැනීමට හැකි දෙයක් නොවන බැවින් ලෝකයේ බොහෝ සංවිානවල මුල්‍යමය සහය ඒ ඒ රටවල් සදහා ප්‍රදානයන් හා ණය ලෙස ලබාදීම සිදුවූ දෙයකි.
ඒ ආකාරයෙන් ලංකාවට කොරෝනා වෛරසයේ බලපෑම සිදුවූ දින සිට මේ දක්වා විටින් විට ලංකාව සදහා විදෙස් සංවිධාන මගින් ප්‍රදාන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුද වෙත ඩොලර් කෝටි තිහකට අධික මුදල් (ඩොලර් තිස් කෝටි අනූ ලක්ෂතිස්හය දහස් තුන්සිය අසූ හයක මුදලක් -309036386) ප්‍රමාණයක් ලැබී තිබෙන බවත් ඊට අමතරව ණය මුදල් ලෙස ඩොලර් දහතුන්කෝටි අසු ලක්ෂයක මුදලක් 2020.ජුලි 30 වනදා වන විට ලැබී තිබෙන බවත් තොරතුරු දැනගැනීමේ පනතට අනුව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාගත් තොරතුරු මගින් අනාවරණය විය.
මෙහිදී ප්‍රදානයන් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඩොලර් මිලියන 1.9 (1900000)ක් , එක්සත් ජාතීන්ගේ අරමුදලින් (UNFPA ) ඩොලර් 212260ක් ,UNICEF මගින් ඩොලර් 125000ක් , ආසියානු සංවර්ධන බැංකුව(ADB) මගින් ඩොලර් 300000000ක මුදලක් ද ගෝලීය අරමුදල මගින් 1,194,424ක් ද ලැබී තිබේ. ණය මුදල් ලෙස ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් 10,000,000 ප්‍රමාණයක් හා ලෝක බැංකුව මගින් (WP) ඩොලර් 128,000,000 ක මුදල් ප්‍රමාණයක් ලංකාවට ලැබී තිබේ. ඒ අනුව ආධාර සහ ණය ලෙස පසුගිය කාලය තුල ලංකාවට ඩොලර් තිස් එක් කෝටි අනූ ලක්ෂයකට අධික මුදලක් ( 319036386) එය රුපියල්වලින් බිලියන පනස්ට අටකට අධික මුදලක්(රුපියල් – 58702695024 ) වේ.
මේ වනවිට ලංකාව තුල 2020.ඔක්තෝම්බර් මස 17 වනදා වන විට PCR පරීක්ෂණ තුන්ලක්ෂ අසු අටදාස් එකසිය හතලිස් නවයක් (388149) සිදුකර තිබෙන අතර ඒ සදහා දලවසයෙන් ඩොලර් එක්කෝටි විසි තුන් ලක්ෂයකට අදික මුදලක් වැය වී තිබේ (12322190.4) එය රුපියල් වලින් බිලියන දෙකකට වඩා වැඩි ප්‍රමානයක් වේ (රුපියල්- 2328894000 )
මෙම PCR පරීක්ෂණ තුලින් 2020.ජුලි 25 දක්වා පරීක්ෂණ 153022 ක් සිදුකර තිබෙන අතර අනෙකුත් PCR පරීක්ෂණ 235127 සිදුකර ඇත්තේ එතැන් සිට 2020.ඔක්තෝම්බර් මස 17 වන දා දක්වා ය. මිට අමතරව බෙහෝ දෙනෙකු තම පුද්ගලික වියදමින්ද PCR පරීක්ෂණ සිදුකරගෙන තිබේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ සිදුකරන ලද PCR පරීක්ෂණ සදහා හැරුණු කොට මේ වනවිට මෙම අරමුදල් මගින් PCR පරීක්ෂණ කටයුතු සිදුකිරීම සදහා අවශ්‍ය පර්යේෂණ පහසුකම් වැඩි කිරීම සදහා යාපනයේ හා මඩකලපුවේ පර්යේෂාගාර වැඩි දියුණු කිරීම මෙන්ම PCR පරීක්ෂණ සදහා ලබාගන්නා උපකරණ සදහා ද මෙම මුදල් යොදාගත් බවයි .
” අපි සමාජය දැනුවත් කිරීම් කටයුතු සදහාද මෙම මුදල් භාවිත කරලා තියෙනවා. ඊට අමතරව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් සකස් කරන ලද රුපවාහිනී දැන්වීම් කීපයක් සදහාද මෙම මුදල් යොදවා තියෙනවා. එමෙන්ම අදාළ උපකරණවලට අමතරව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා දිනකට විශාල මුදලක් වැය වෙනවා ”
එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්රය හැරුණු කොට ඒ සදහා පත්කරගෙන සිටින කොමිසමක් මගින් වෙනත් ක්ෂේත්රයන් සදහාද මෙම මුදල් වැයකරන බවත් ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බවද සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතා කියා සිටියේය.
කෙසේ නමුත් තොරතුරු දැනගැනීමේ පනතට අනුව ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය කොපමණද යන්න කෙරෙහි හා එම මුදල් වියදම්කර ඇති ආකාරය සම්බන්ධයෙන් කළ විමසීමකදී සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශය මගින් මෙතෙක් ඒ සදහා පිළිතුරු ලබාදී නොමැත.