32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

රටේ වී හිඟයක් නෑ – සහල් මාෆියාව තුළ ඇති ඇත්ත කතාව

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

2015 යල කන්නයේ සිට 2019 /2020  මහ කන්නය දක්වා සමස්ත වී නිෂ්පාදනයෙන් රජය මිලදීගෙන ඇත්තේ සියයට 1.88% ක් පමණයි

කොරෝනා වසංගතය හමුවේ ලෝකයේ බොහෝ රටවල් සේම ලංකාව ද දැඩි අසීරු තත්වයක පත්වී සිටින මොහොතක ඒ තුලින් බොහෝ ක්ෂේත්‍රහට ද දැඩි බලපෑමක් එල්ල වී තිබේ. ඒ අතර වී ගොවිතැන ද එක් ක්ෂේත්‍රයකි.

 කෙසේ නමුත් වී ගොවියා මුහුණදෙන තත්වය අද ඊයේ ඇති වුවක් නොවේ. මේ රටේ පැවති  බොහෝ රජයයන් මේ සදහා විවිද වැඩ පිළිවෙලවල් සේම යෝජනා ගෙන එනු ලැබුවත් ඒ සඳහා සැබෑ විසඳුමක් මේ වනතෙක් ලැබී නොමැති පසුබිමක වී මිල සහ සහල් මිල සම්බන්ධයෙන් තීරණ ගැනීම ඒ ඒ කාලයන්හි පවතින දේශපාලන කාරණාවක් බවට පමණක් සිමා වී තිබේ.

 විශේෂයෙන්ම වී මිලදී ගැනීම් සම්බන්ධයෙන් 2020 වසරේ මුල් කාර්තුවේදී දැඩි කතා බහක් ඇතිවුවත් එය ද ප්‍රයෝගික නොවූ බව ගොවි සංවිධාන මෙන්ම ගොවින් ද පෙන්වාදෙනු ලබයි. විශේෂයෙන්ම මෙහිදී රජය විසින් වී මිලදී ගැනීම සදහා සහතික මිලක් ලෙස රුපියල් 50ක් නියම කර තිබුණත් එහිදී බොහෝ වී මෝල්  හිමියන් විසින් වී මිලදී ගැනීම සිදුකරනු ලැබුවේ රුපියල් තිහකට තිස්පහකට පමණ බවද ගොවි සංවිධාන පෙන්වා දෙති.

  කෙසේ නමුත් දේශපාලන පොරොන්දුවක්ද වූ වී සදහා සහතික මිලක් ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ රජයට,  සිය වී තොග අලෙවි කිරීමේ හැකියාවක් නොතිබූ පසු බිමක  ඒ සඳහා පිළියමක් ලෙස රජය විසින් වී අලෙවි මණ්ඩලයේ සහයට වී මිල දී ගැනීම් සඳහා යුද හමුදාව යොදවන ලදී. නමුත් මෙහිදී රජය විසින් පනවනලද උපරිම සහතික මිල සදහා මහා පරිමාණ සහල් මෝල් හිමියන් එකඟ නොවීම හේතුවෙන් නැවත රජයට සිදුවූයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් පනවන ලද මිල උපරිම සිල්ලර මිල ලෙස පිළිගැනීමට යි. 

 විදෙස් රටවල් තුළින් සහල් ගෙන්වීමට රජයට අවශ්‍ය නොවන පරිදි රට තුළ වී නිෂ්පාදනය සිදුවුවත් මේ ආකාරයෙන් රජයට සහල් මිල මෙන්ම වී මිලදී ගැනීමේ මිල පාලනය කිරීමට නොහැකි වී ඇත්තේ වී නිෂ්පාදනයෙන් සියයට 94කට  වැඩි ප්‍රමාණයක් මිලදී ගනු ලබන්නේ පුද්ගලික අංශයේ වී මෝල් හිමියන් වීම තුල ය. මේ ආකාරයෙන් වී අඩුවක් නොවුනත් සහල් මිල මේ තරම් ඉහල යාමට ප්‍රධානතම හේතුව වූ කාරණාව වන්නේ වී මිලදී ගැනීමේ බහුතරය රජයේ පාලනයෙන් බැහැරවීම තුළ ය. එමගින් රට තුළ දැඩි සහල් මාෆියාවක් නිර්මාණය වී තිබේ.

   පාලනය කර ගැනීමට නොහැකි මට්ටමට රට තුළ පවතින සහල් මිල පාලනය කරගැනීමට මෙන්ම නැතිනම් සහල් හිඟයක් ඇති කිරීමට තරම් පුද්ගලික මහා පරිමාණ සහල් හිමියන් විසින් ඒකාධිකාරියක් පවත්වාගෙන යනු ලබන තරමට ශ්‍රී ලංකාවේ  වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය පුද්ගලික අංශය සතුව පවතින බව තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ වී අලෙවි මණ්ඩලය මගින් මෙන්ම ගොවිජනසේවා දෙපාර්තමේන්තුව මගින් ලබාගත් පසුගිය වසර කීපයකට අදාළ තොරතුරු මගින් පැහැදිළිවම අනාවරණය වේ.

   එම තොරතුරුවලට අනුව පසුගිය 2015  වර්ෂයේ  සිට 2020 දක්වා දිවයිනේ වී නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සොයා බැලීමේදී මේ වන විට දිවයිනේ පවතින  සමස්ත කුඹුරු බිම් ප්‍රමාණය වන අක්කර 1,944,112 ක ප්‍රමාණයක අඩු වැඩි වශයෙන් වාර්ෂිකව වෙනස් වෙමින් යල සහ මහ කන්න තුළදී වී වගා  කිරීම සිදු කෙරේ. මෙසේ වගා කරනු ලබන වී වගාව තුළින් යල සහ මහ කන්න තුළදී  ලබා ගත් අස්වනු ප්‍රමාණය වන්නේ.

වී සහ  සහල් වෙළෙඳ පොළ

 මේ ආකාරයෙන්  රට තුල වී නිෂ්පාදනයක් සිදු වුවත් එම වී නිෂ්පාදනය තුළින් වී අලෙවි මණ්ඩලය මගින් වාර්ෂිකව  මිලදීගන්නා ලද වී ප්‍රමාණයන් ඉතා අවම මට්ටමක පැවතීම තුළ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් වෙළඳ පොළ තුළ වැඩි වශයෙන් වී සහ සහල් සංචිත පවත්වාගෙන යාම තුල එකාධිකාරියක්ද පවත්වාගෙන යයි.

  විශේෂයෙන්ම මෙහිදී  සහල් වෙළෙඳ පොළ සඳහා රාජ්‍ය ආයතන, පාරිභෝගිකයන්, වී ගොවියන්, පෞද්ගලික වී සහල් වෙළෙන්දන්, කුඩා, මධ්‍යම හා මහා පරිමාණ වී මෝල් හිමියන් යන අය ඇතුළත්ය. විශේෂයෙන්ම සහල් සඳහා ඉල්ලුම ඇති වන්නේ සිවිල් පාරිභෝගිකයන්, ත්‍රිවිධ හමුදාව හා රාජ්‍ය ආයතන මඟිනි. රජය විසින් 6 -8%ක වී ප්‍රමාණයක් පමණක් මිල දී ගනු ලබන අතර කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හා සමූපකාර විසින් 10%ක් පමණ වී මිල දී ගනු ලබයි. ඉතිරි වී ප්‍රමාණය මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් මිලදී ගනු ලැබේ.

ඉහත දත්තවලට අනුව 2015 යල කන්නයේ සිට 2019 /2020  මහ කන්නය දක්වා කාලය තුලදී දිවයිනේ සමස්ත වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 19554964(එක් කෝටි අනූපන්ලක්ෂ පනස්හතරදාස් නමසිය හැටහතර) ක් වන අතර ඒ තුලින් රජය මගින් මිලදී ගෙන ඇත්තේ මෙට්‍රික් 369183.8(තුන් ලක්ෂ හැට නම දහස් එකසිය අසූ තුන)ක් වේ. එය එම කාලය තුළ සිදුවූ සමස්ත වී නිෂ්පාදනයෙන් 1.88% කි.

 මේ අනුව පෙනී යන්නේ දිවයිනේ සමස්ත වී නිෂ්පාදනයෙන් වැඩි කොටසක් පවතින්නේ පුද්ගලික වෙළඳුන් සතුව බවයි. එමෙන්ම   අස්වනු නෙළන අවස්ථාවේ විශාල වී ප්‍රමාණයක් මිල දී ගැනීම් සිදුකරන්නේ  මහා පරිමාණ මෝල් හිමියන් විසිනි. ඒ තුළ රටේ බහුතර සහල් තොග පවතින්නේ ද ඔවුන් සතුව බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.

සහල් මිල පාලනය කිරීමට ඇති අපහසුතා

 වී අලෙවි මණ්ඩලය සතුව දිවයිනේ දිස්ත්‍රික්ක 21ක් තුල වී ගබඩා සංකීර්ණ 307ක්  පවතින අතර එම ගබඩා තුළ සහල් මෙට්‍රික් ටොන් 310040(තුන් ලක්ෂ දසදහස් හතළිහ) ක්  ගබඩා කිරීමේ පහසුකම් ඇති මුත් එම ගබඩා පහසුකම් බොහෝ අවස්ථාවන්හි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගැනීම් සිමා කිරීමට සිදු වේ.  එමෙන්ම  නියමිත කාලයන්හි රජය මගින් මුදල් ලබා නොදීම් හේතුවෙන් වී අලෙවි මණ්ඩලයට සුදුසු කාලයේදී වී මිලදී ගැනීමට  අවස්ථාව නොලැබිම නිසාවෙන් තිබෙන වී ගබඩා ද පුරවා ගැනීමට නොහැකි තත්වයක් පවතී.

 එමෙන්ම වී අලෙවි මණ්ඩලය  වැඩි මිලයට වී ලබාගත්තත් ඔවුන් බලාපොරොත්තු වන තරමේ වියලුනු වී ගොවිහට ලබාදීමේ හැකියාවක් නොමැති පසුබිමක වාසිය ලබා ගන්නා පුද්ගලික සහල් මෝල් හිමියන් ගොවීන්ගෙන් එම වී මිලට ගෙන තමන්සතු වී වියළීමේ යන්ත්‍ර (Dryer ) වියලා ගැනීම සිදුකරනු ලබයි. නමුත් එවැනි තාක්ෂනික පහසුකම් නොතිබීමද වී අලෙවි මණ්ඩලයට ප්‍රමාණවත් වී සංචිත නොලැබීමට හේතුවක් වී තිබේ.

” වැඩි ගානකට වී අලෙවි මණ්ඩලයට වී විකුණන්න අපි කැමතියි. නමුත් එයාල ඉල්ලන විදියට වී ටික දෙන්න ගියාම ගොවින් විදියට අපි සැහෙන අපහසුතාවන්ට ලක්වෙනවා. පුද්ගලික මෝල් හිමියන් ළඟටම ඇවිල්ලා වී ටික අරගෙන යනවා ඒක අපට පහසුයි” බව හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේ ගොවි මහතෙකු වන ප්‍රියන්ත ගමගේ මහතා කියා සිටි.

   මෙයට කදිම නිදසුනක් ලෙස 2020 යල කන්නයේ වී මෙට්‍රික් ටොන් 100,000 ක්   මිලදී ගැනීම සදහා රජය මගින් රුපියල්  මිලියන 5000ක් වෙන්කර තිබුණත් ගොවි ජනතාව විසින් වී අලෙවි මණ්ඩලයට ප්‍රමාණවත් වී ලබා නොදීම හේතුවෙන් රජයේ වී සංචිතද අඩුවී තිබේ. එමෙන්ම ගන්නා වී තොග නිසි ලෙස නිකුත්කිරීම් නොකිරීමේ පසුබිමක පසුගිය කාලයේදී විශාල වි තොග ප්‍රමාණයක් සත්ව අහාර ලෙස මෙන්ම විනාශ කිරීමට සිදුවීම නිසා රජයට වී මිලියන ගණනාවක පාඩුවක්ද සිදුවිය.

 වී තොග නිකුත් කිරීම සම්බන්ධයෙන් ද වී අලෙවි මණ්ඩලය සතුව විශාල ගැටළුවක් පවතී. මෙහිදී මහ කන්නය සදහා වී මිලදී ගැනීම සිදු වන්නේ මාර්තු සහ මැයි දක්වා ය. එසේ මිලදී ගන්නා වී තොග ජුනි , ජුලි ,මාස වල නිකුත්කර යල කන්නයේ නැවත වී තොග මිලදී ගැනීමට නිසි වැඩ පිළිවෙලක් වී අලෙවි මණ්ඩලය සකසා නොමැත. සාමාන්‍ය ලෙස ලංකාවේ වෙළඳ පොළ තුළ දෙසැම්බර් සිට ජනවාරි දක්වා කාලය තුළදී වී සදහා ඉහළ මිලක් පවතී. එම කාලය තුළදී වී අලෙවි මණ්ඩලය සතුව වී තොග තිබෙන්නේ නම් වී අලෙවි මණ්ඩලයට පහසුවෙන් එම වී තොග විකුණා ගැනීමට අවකාශය උදාවනු ඇත. නමුත් වී අලෙවි මණ්ඩලය මගින් හඳුනාගෙන නොමැති මෙම ව්‍යාපාරික අවස්ථාවෙන් ප්‍රයෝජන ගනු ලබන්නේ පුද්ගලික වී මෝල් හිමියන් ය. මහා පරිමාණ වී මෝල් හිමියන් ජාවාරමක් ලෙසද මෙය සිදුකරගෙන යනු ලබයි.

 කෙසේ නමුත් මේ තුළ පුද්ගලික මෝල් හිමියන් විශාල ලාබයක් ලැබුවත් එම ලාභය පාරිභෝගිකයා හට ලැබෙන්නේ නොමැති පසු බිමක සහල් මිල වැඩි වීමද සිදුවන්නේ පුද්ගලික මෝල් හිමියන්ගේ ඔනෑ එපාකම් අනුව ය. එය මේ වන විට ආණ්ඩුවට පාලනය කළ නොහැකි මට්ටමකට පත්වී තිබේ.

  “මේ වනවිට මහා පරිමාන වීමෝල් හිමියන් කීපදෙනෙක් හාල් සහ වී වෙළඳ පොළ හසුරවනවා. එය පාලනය කරන්න ආණ්ඩුවේ අදාල අමාත්‍යංශය මැදිහත්වෙන්නේ නෑ. එයාලත් මේක අස්සේ වෙනම ව්‍යාපාරයක් කරනවා” යැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැදවුම්කරු නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ ය.

 ” අපිට අවුරුද්දකට අවශ්‍ය වෙන්නේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 36ක් විතරයි. මාසයකට ගතහොත් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03යි අවශ්‍ය වෙන්නේ. පසුගිය කාලය තුලදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 60කට ආසන්න ප්‍රමාණයක් එකතුවුණා. මේ තත්වය තුල කොහොමවත් හාල් හිඟයක් එන්න විදියක් නෑ. මොකද ලබන අවුරුද්දටත් ඇතිවෙන්න වී තිබුණා. වී මෝල් හිමියන් මේ කන්නයේ ගන්න වී මේ කන්නයේ අඹරන්නේ නෑ. මාස 06ක් විතර පරණ කරනවා. මොකද පරණ කරන කොට තමයි ඉල්ලුමක් හැදෙන්නේ. හැබැයි බහුතරයක් ඒ වී ගත්තේ රුපියල් හතලිස් ගණන් වලට. දැන් ඒ අය කරන්නේ හාල් හිගයක් කෘතිමව නිර්මාණය කරලා වී මිල වැඩිකරනවා. එහිදී පාරිභෝගිකයා හිතනවා වී හිඟ නිසා තමයි හාල් මිල වැඩි වෙන්නේ කියලා. ”

  “ඒ වගේම හතලිස් ගණන්වලට ගත්ත වී රුපියල් පනස් ගණන්වලට ගත්ත කියලා හැත්තෑ ගණන්වලට විකුණනකොට මේ මහා පරිමාණ වී මෝල් හිමියන් විශාල ලාභයක් ලබන” බවද නාමල් කරුණාරත්න මහතා පෙන්වා දෙයි.

  එමෙන්ම රටේ හාල් හිඟයක් නොමැති බවත් එය නිර්මාණය කරන ලද එකක් බවත් මේ තත්වය, පැවති  සෑම  ආණ්ඩුවක් තුලදීම සිදුවන දෙයක් බවද මේ තත්වය නැතිකිරිම සදහා රජය වී නිෂ්පාදනයෙන් සියයට 20ක් වත් ලබාගෙන වී සංචිතයක් ඇතිකරගත යුතු බවද   සමස්තලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අදහස් දැක්වූ  වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා

වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා

 ”ලබන කන්නයේ  සිට පොහොර සහනාධාරය ලබාගන්නා ගොවීන්ගෙන්  වී අලෙවි මණ්ඩලයට වී දෙන එක අනිවාර්ය කරන්න යෝජනාවක් තියෙනවා  තියෙනවා එහි අපි කුඹුරු හෙට්ටයර් එකට වැඩි ගොවීන්ගෙන් සහතික මිලට වී කිලෝ 1000ක් හරි 500ක් හරි ලබා ගන්න තමයි යෝජනා කරලා තියෙන්නේ එමෙන්ම  ගොවියෝ තාක්ෂනය යොදවලා වේලලා දෙන වී ගන්න නිසා අපිට අමුතුවෙන් තව තාක්ෂනය දියුණු කරනන් අවශ්‍ය වෙන්නේ නෑ ,ඒ වගේම දැනට තියෙන වී ගබඩා ටික පුරවා ගත්තොත් අපිට ඒ ටික ප්‍රමාණවත් වෙනවා වෙළඳපොළ හසුරවා  ගන්න පුළුවන් ”

  එමෙන්ම ඉදිරියේදී පි එම් බි සහල් වෙළඳ පොලට මිට වැඩිදිය දහගුනයකටත් වඩා වැඩියෙන් වෙළඳ පොලට නිකුත් කිරීමට කටයුතු කරන බවද වී අලෙවි මණ්ඩලයේ සභාපති ජටාල් මාන්නප්පෙරුම මහතා කියා සිටියේය.

කළ යුත්තේ කුමක්ද?   

  විශේෂයෙන්ම රජයේ ආධාර උපකාර ඇතිව රජයෙන් ලබා දෙන පොහොර සහනාධාරය පවා ලබා ගනිමින් වී ගොවිතැන් කරන වී ගොවීන්ගේ අස්වැන්නෙන් කොටසක් වී අලෙවි මණ්ඩලය වෙත අනිවාර්යයෙන්  ලබා දීමේ ක්‍රමවේදයක් සැකසිය යුතුය .එමෙන්ම පුද්ගලික වී මෝල් හිමියන් ලෙස ගොවි මහතුන් ලගට ගොස් වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීම සදහා අවශ්‍ය ක්‍රමවේදයක් සැකසිය යුතුය. සම්ප්‍රදායික නොවූ නව ක්‍රම හඳුන්වා දෙමින් වී අලෙවි මණ්ඩලයේ නිලධාරින්ද එම නවීන ක්‍රම සඳහා හුරු කරමින් එය ප්‍රයෝගිකව ක්‍රියාත්මක කළ හැකි නිලධාරීන් ඒ සදහා යෙදවිය යුතුය. එමෙන්ම රජය වී තොග පවත්වාගෙන යමින් හඳුනාගත් වී මෝල් හරහා ඒවා සහල් බවට පත්කරමින් පී ඇම් බී හාල්(PMB RICE) ලෙස වෙළද පොලට නිකුත් කළ හැකි වැඩ පිළිවෙලක් රජය ක්‍රියාත්මක කරන තාක් රටේ පවතින සහල් මාෆියාවට තිත තැබිය නොහැකි ය.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -