32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

ලංකාවේ තොරතුරු අයිතියේ සබැ තත්වය

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

තොරතුරු කොමිසමේ ක්‍රියාකාරිත්වය වැඩිකොට පුරවැසියාගේ තොරතුරු අයිතිය ස්ථාපිත කළ යුතුයි.

   ලෝකය තුළ ජනරජ බිහිවීමත් සමඟම රජයේ හිමිකාරීත්වය ජනතාව සතු බවට සංකල්පයක් ඇති විය.   රජය හා රාජ්‍ය ආයතන නඩත්තු කරනු ලබන්නේ ජනතාවගේ බදු මුදල්වලිනි. එබැවින් ජනතා අරමුදලින් රජය සිදුකරන කාර්යයන් පිළිබඳ තොරතුරු ජනතාවට දැනගැනීමට අයිතියක් තිබිය යුතු ය යන්න මූලික සංකල්පයක් විය. එය ප්‍රජාතන්ත්‍රවාදී රටක කැපී පෙනෙන දෙයක් ද වේ.

  තොරතුරු දැනගැනීමේ නිදහස මානව අයිතියකි. පුරවැසියන්ට රජයයන් වගවීම සඳහා පුරවැසියන්ට තොරතුරු දැන ගැනීමේ අයිතිය ඇත. – නිල ලේඛන වෙත ප්‍රවේශ වීමේ අයිතිය, තොරතුරු දැන ගැනීමේ නිදහස ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතින්නේ මෑතක සිට වුවත් එය කිසිසේත්ම නව සංකල්පයක් නොවේ.

 මේ ආකාරයෙන්  තොරතුරු පනත  මගින් ජනතාවට තොරතුරු දැනගැනීමේ  අයිතිය මැනවින් ආරක්ෂා වීම සඳහා මූලික අවශ්‍යතා 3ක් පිළිබඳව අවධානය යොමු කර තිබේ. විශේෂයෙන්ම

1. තොරතුරු සඳහා ඇති ප්‍රවේශය ලබා දීම , එහිදී ජනතාවට අවශ්‍ය තොරතුරු බාධාවකින් තොරව ලැබීමට ඇති හැකියාව මින් අදහස් වේ. තොරතුරු සුලභ බව මෙන්ම තොරතුරු ලබා ගැනීමේ මාධ්‍යයන් බාධාවකින් තොරව සමාජය තුල ක්‍රියාත්මක වන බව මින් අදහස් වේ. ඒ සදහා තොරතුරු දැනගැනීමේ පනතේ 7 වන වගන්තිය යටතේ ඇති උප වගන්ති මගින් ද එහි අවශ්‍යතාවන් පිළිබද කරුණු අනාවරණය කර තිබේ.

2. තොරතුරු ප්‍රසිද්ධ කිරීම සඳහා රාජ්‍යමය ආයතනවලට ඇති වගකීම

3. තොරතුරු ඉදිරිපත් කිරීමට ඇති වගකීම යන්න ද ඒ අතර වේ.

 මේ ආකාරයෙන් වූ සංයුතියකින් යුතුව ලංකාවේ තොරතුරු පනත සැකසී ඇති නිසාම ලෝකයේ තොරතුරු දැනගැනීමේ පනත අනුව වර්ගීකරණයේදී  ලංකාවට හිමි වන්නේ ලොව සිව්වන තැන බව  ගෝලීය තොරතුරු ශ්‍රේණිගත කිරීමේ වෙබ් අඩවිය මගින් පෙන්වා දෙනු ලබයි.  (https://www.rti-rating.org/)

ශ්‍රේණිගතවන ආකාරය

  නවතම ශ්‍රේණිගත කිරීම්වල වඩාත්ම කැපී පෙනෙන වෙනස වන්නේ 2011 දී දියත් කළ දින සිට ප්‍රථම වතාවට ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින රට ලෙස සර්බියාව විස්ථාපනය කිරීමයි. මෙක්සිකෝව මේ වනවිට  සර්බියාව වෙනුවට පළමු ස්ථානයට පත්ව තිබේ.  මෙක්සිකෝව සිය ‘විනිවිදභාවය සහ පොදු තොරතුරු සඳහා ප්‍රවේශවීමේ පොදු පනත’ සැළකිය යුතු ලෙස ප්‍රතිසංස්කරණය කර ඇති අතර එම නිසා ගත හැකි මුළු ලකුණු 150 න් ලකුණු 136 ක් ලබා ගෙන තිබේ.  මෙය ඔවුන්ගේ පෙර ලකුණු 117 ට වඩා සැලකිය යුතු දියුණුවක් වන අතර සර්බියාවට වඩා ලකුණු 135 ක් ඉදිරියෙන් සිටී.

මේ ආකාරයෙන්  ශ්‍රී ලංකාව තුළ තොරතුරු දැනගැනීමේ පනත සම්මත වීමට මත්තෙන්  ඉන්දියාව ශ්‍රේණි ගතකිරීමේ ලකුණු 128 ක් ලබා ගනිමින් 04 වන ස්ථානයේ රැඳුණු අතර මේ වනවිට එම ස්ථානය ලබාගෙන ඇත්තේ ලකුණු 131ක් ලබාගත් ශ්‍රීලංකාව වේ. එමෙන්ම  2020 වර්ෂය වනවිට ගෝලීය ශ්‍රේණිගත කිරීමට අනුව ඉහලින්ම සිටින රටවල් 10 අතර  ඇෆ්ගනිස්ථානය ලකුණු 139 ලබාගෙන ප්‍රථම ස්ථානයේ පවතී. එමෙන්ම පිලිවෙලින් මෙක්සිකෝ 136, සයිබීරියාව 135 , ශ්‍රී ලංකාව 131 , ස්ලොවේනියාව 129, ඇල්බේනියාව 127, ඉන්දියාව 127, ක්‍රොඒෂියාව,126,ලයිබීරියාව 124 , එල් සැල්වදෝරය 122 වේ.

  ඉන්දියාවේ   තොරතුරු දැන ගැනීමේ පනතේ 8 වන වගන්තියේ සඳහන් සියලුම නිදහස් කිරීම් වලට  පරීක්ෂණය අදාළ නොවන බැවින් ඉන්දියාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් නීතිය ව්‍යතිරේක කාණ්ඩයේ ලකුණු 26 ක් ලබා ගෙන තිබේ.  අභියාචනා මත ඉන්දියාව වැඩිම ලකුණු ලබා ගත්තේ(30 න් 29 ක්) ය. සම්බාධක කාණ්ඩය ශක්තිමත් නීතිමය ආරක්ෂාවක් නොමැති බැවින් ඉන්දියාව 8 න් 5 ක් ලබා ගෙන තිබේ . වාර්තා කලමනාකරණය සඳහා නිශ්චිත ප්‍රමිතීන් නොමැති බැවින් ඒවා ප්‍රායෝගිකව අනුගමනය නොකිරීම නිසා ඉන්දියාව ප්‍රවර්ධන මිනුම් කාණ්ඩයේ 16 න් 13 ක් ලබා ගෙන තිබේ . එමෙන්ම මේ අතර  ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත ඉන්දියාවේ තොරතුරු දැනගැනීමේ පනත තුළවත් නොවූ  ආකාරයෙන් පුරවැසියා හට තොරතුරු සඳහා ලබාදී ඇති ප්‍රවේශවීමේ හැකියාව පදනම් කරගනිමින් මේ ආකාරයෙන් ඉන්දියාව අභිබවා ඉහලට පැමිණීමට හැකිවී තිබේ.

 කෙසේ නමුත් මේ ආකාරයෙන් පනතක් ලෙස ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය ශක්තිමත් කර තිබුණත් එය ප්‍රායෝගිකව ක්‍රියත්මක කිරීමේදී ලංකාව තුළ තවමත් ඇත්තේ සුභවාදී ස්වභාවයක් නොවන බව ලංකාවේ තොරතුරු දැනගැනීමේ කොමිසම ඇතුළු ලොව තවත් තොරතුරු කොමිසන් සභා කීපයක් සඳහා එකම ආකාරයේ ප්‍රශ්නාවලියක් යොමු කරමින් ලබාගත් තොරතුරු  මගින් අනාවරණය කරගැනීමට හැකි විය.

  මෙහි දී එකම වර්ෂය තුල ශ්‍රේණිගත කිරීම් අනුව හතරවන තැන පසුවන   ශ්‍රී ලංකාව තුළ මෙන්ම හය වන ස්ථානයේ පසුවන  ඇල්බේනියාව සළකා බැලීමේදී පෙනී යන්නේ කොමිසන් සභා  ක්‍රියාකාරිත්වය මෙන්ම පුරවැසියා  හට තොරතුරු සඳහා ප්‍රවේශවීමේ ප්‍රයෝජික ක්‍රියාවලිය  ලංකාවට වඩා ඇල්බේනියාවේ ක්‍රියාත්මක වන බවයි.

 මෙහිදී පසුගිය 2018 සහ 2019 වර්ෂවලදී රටවල් කීපයක තොරතුරු දැනගැනීමේ කොමිසන් සභා සඳහා ලැබී ඇති අභියාචනා ප්‍රමාණය සලකා බැලීමේදී ලංකාවේ තොරතුරු කොමිසම වෙත  2018 වර්ෂයේ  800ක් හා 2019 වර්ෂයේ 1089ක් ලැබී තිබේ. එමෙන්ම ඇල්බේනියාවේ  තොරතුරු කොමිසම වෙත  2018  කාලය තුළ පැමිණිලි 820ක් ලැබී ඇති අතර 2019 දී පැමිණිලි 786 ක  ප්‍රමාණයක් ලැබී තිබේ. එය ජර්මනිය තුළ 2018 දී අභියාචනා 291 ක් 2019 දී අභියාචනා 461 ක් ඉදිරිපත් කර තිබේ.

ලංකාවේ තොරතුරු කොමිසම වෙත මේ ආකාරයෙන් පැමිණිලි වැඩි වශයෙන් ලැබීමට මූලික හේතුව වී ඇත්තේ බොහොමයක් පොදු අධිකාරීන් තොරතුරු පනත සැලකිල්ලට නොගෙන තොරතුරු නොදීමේ පසුබිමක් ඇති කරගෙන තිබෙන නිසාවෙනි.

එමෙන්ම මේ ආකාරයෙන් ලැබෙන පැමිණිලි විභාග කිරීමට ඇල්බේනියාව තුල සතියේ දින පහක් වෙන්කර ඇති අතර ලංකාවේ තොරතුරු කොමිසම තුල අබියාචනා විභාග කරනු ලබන්නේ සඳුදා සහ අඟහරුවාදා දින දක්වා පමණ ය. මේ තුල අභියාචනා විභාග කර ඒ සඳහා තීන්දුවක් ලබාදීම සඳහා බොහෝ අවස්ථාවන්හි වසරකට ආසන්න කාලයක් ගත වූ අවස්ථා ද නිරීක්ෂණය වී තිබේ. මෙතුලින් පෙනී යන්නේ වර්ගීකරණයෙන් ඉහලින් සිටියත් ප්‍රායෝගික තලය තුල ලංකාවේ තොරතුරු අයිතිය  ඇත්තේ අනෙකුත් ගෝලීය දර්ශකයේ ඉහලින් සිටින රටවල් 10ට වඩා අඩු මට්ටමක බවයි.

කොමිසමේ නියෝග කැඩුවොත් දඬුවම් ලැබේද ?

 මේ සඳහා ලංකාවේ තොරතුරු කොමිසම තුළ කිසිදු නීතිමය ක්‍රියාවක් ස්ථාපිත කර නොමැති වීම තුළ පුරවැසියාගේ තොරතුරු දැනගැනීමේ අයිතියට දැඩි බාධාවක් ඇතිවී තිබේ. රටක පුරවැසියාගේ මුලික අයිතියක්ද වන තොරතුරු දැනගැනීමට ඇති අයිතිය මේ තුලින් අහුරා තිබේ. මේ සම්බන්ධයෙන් ඇල්බේනියාවේ තොරතුරු කොමිසම මගින් කළ විමසීමකදී අනාවරණය වූයේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ නීතියේ 25 වන වගන්තිය මගින් පැමිණිලිකරුට උසාවියේ හෝ මහජන අධිකාරියේ අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අයිතිය ලබා දී ඇති බවත් කොමසාරිස්වරයාගේ තීන්දුව ලබාදී නියමිත කාල සීමාව තුල අදාළ පොදු අධිකාරිය   ක්‍රියාත්මක නොවන්නේ නම්, කොමසාරිස් කාර්යාලයට පරිපාලන පරීක්ෂණ පැවැත්විය හැකි අතර තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ විධිවිධානවලට අනුකූලව සම්බාධක පැනවිමට කටයුතු කරන බවයි.

  මේ ආකාරයෙන් තවත් එක්  පනතකට පමණක් සීමා වෙමින්  කටයුතු කිරීම නිසා   ශ්‍රී ලංකාව තුල ඇති බොහොමයක් පොදු අධිකාරීන් තවමත් ජනතාවට පහසුවෙන් තොරතුරු සදහා  ප්‍රවේශ වීමට හැකිසේ තම ආයතනයේ තොරතුරු සංයුතිය ගොඩ නගාගෙන නොමැති බව තොරතුරු දැනගැනීමේ අයදුම්පත් 1200  කට අධික ප්‍රමාණයක් යොමුකරමින්  සිදුකළ සොයා බැලීමකදී ද  අනාවරණය විය.

විද්‍යුත් තැපෑල(ඊ මේල්)  භාවිතය අඩුවීම

 විශේෂයෙන්ම මෙම සොයා බැලීමේදී විද්‍යුත් තැපෑල මගින් තොරතුරු ඉල්ලුම්පත්  500 කට අධික ප්‍රමාණයක් යොමුකරනු ලැබුවත් ඒ සඳහා ප්‍රතිචාර දක්වා ඇත්තේ 200 කටත් අඩු පොදු අධිකාරීන් ප්‍රමාණයක් පමණි. විශේෂයෙන්ම මෙම සොයා බැලීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල 322ක් සඳහා තොරතුරු අයදුම්පත් යොමු කරනු ලැබුවත් ඉන් ප්‍රතිචාර ලැබී ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 120 ක් පමණක් වන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල 202 කින් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත. ප්‍රතිචාර දැක්වූ ප්‍රදේශීය  ලේකම් කාර්යාල 120 අතරින් තොරතුරු ලබා දී ඇත්තේ ප්‍රදේශීය  ලේකම් කාර්යාල 99ක් පමණි.

 එමෙන්ම බොහොමයක් ප්‍රාදේශීය  ලේකම් කාර්යාල තුල ඇති විද්‍යුත් ලිපින භාවිතයෙන් තොර වීම මෙන්ම නිලධාරීන් ස්ථාන මාරු වන අවස්ථාවන්හි විද්‍යුත් ලිපිනය ද වෙනස් වීම මෙම සොයා බැලීමේදී අනාවරණය වූ තවත් කාරණයකි. මේ තුල ඊ මේල් මගින් තොරතුරු ඉල්ලීමේදී තොරතුරු ඉල්ලුම්කරුට බරපතල ගැටළුවකට මුහුණ දෙන්නට සිදුව තිබේ.

 එමෙන්ම ප්‍රතිචාර දැක්වූ ප්‍රදේශීය  ලේකම් කාර්යාල  අතුරින් කීපයක් තොරතුරු නොමැති බව මෙන්ම  තොරතුරු දැනගැනීමේ පනතේ  05 වන වගන්තිය යටතේ තොරතුරු ලබාදීමට නොහැකි බව පවසා තිබේ. නමුත් ඉහත ප්‍රදේශීය  ලේකම් කාර්යාල 322 සදහාම එකම තොරතුරු ඉල්ලීම් අයදුම්පත්‍රයක් යොමුකළ අතර එහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල 99ක් තොරතුරු ලබාදෙන විට තවත් කීපයක් එය 05 වගන්තියට අයිතිවන බව පවසමින් තොරතුරු දීම ප්‍රතික්ෂේප කිරීම තුලින් පෙනී යන්නේ ජනතාවට තොරතුරු ලබාදීමේදී පනතේ විධිවිධානයන් නිසි අයුරින් ක්‍රියාත්මක නොකිරීම මෙන්ම එම විධිවිධානයන් අවභාවිත කරන ස්වරුපයකි.

 මේ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල කීපයක් නිසි අයුරින් එම තොරතුරු, ලේඛනගතකර නොමැති බව පවසමින් එම තොරතුරු ලබාදීම සිදු කළ නොහැකි බවත් අවශ්‍ය නම් පැමිණ ලේඛන පරික්ෂා කර බලා තොරතුරු සොයා ගැනීමට අවස්ථාව ලබා දීමට අවකාශය ලබාදිය හැකි බව පවසමින් දන්වා තිබෙන්නේ, තොරතුරු දැනගැනීමේ අයතිවාසිකම් පිළිබඳ පනතේ 07 වගන්තියේ උපවගන්ති මගින් පෙන්වා දෙන තොරතුරුවලට ප්‍රවේශ වීමේ අයිතිවාසිකම  සුසාධනය කිරීම සඳහා නිසි අයුරින් සාදනු ලබන නාමාවලි සහ සුචියක් අනුව එහි ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතා සමඟ අනුකුලවන ආකාරයට සහ ආකෘතියකට අනුව සෑම පොදු අධිකාරියක් විසින්ම සිය වාර්තා පවත්වාගෙන යාමේ අවශ්‍යතා පැහැදිලි කර තිබියදී ය. (7.(1) )වගන්තිය )

මේ ආකාරයෙන් දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 362 ක් වෙත  2020 අගෝස්තු මස 12 වන දින සිට  තොරතුරු අයදුම්පත් යොමුකර ඇතත් මේ වනවිට තොරතුරු ලබා දී ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කාර්යාල 144ක් පමණ වන අතර 218ක් මෙතක් තොරතුරු ලබාදීම සිදුකර නොමැත. එමෙන්ම පොලිස්  අධිකාරී කාර්යාල 42 ක් වෙත 2020 සැප්තැම්බර් 14 දින  යවන ලද තොරතුරු ඉල්ලුම්පත් සදහා තොරතුරු ලබාදී ඇත්තේ පොලිස්  අධිකාරී කාර්යාල 08ක් පමණි.

තොරතුරු ලබාගන්නා කාරණාව හා අනන්‍යතව පැහැදිලි කළ යුතුද?

 එමෙන්ම පුරවැසියෙකු තොරතුරු ලබාගැනීමට අයදුම්කිරීමේදී තොරතුරු අවශ්‍ය කාරණාව සම්බන්ධයෙන් බොහොමයක් පොදු අධිකාරීන්  විමසා තිබේ.  දිවයිනේ බොහොමයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සිටින තොරතුරු නිලධාරීන්, නම්කළ නිලධාරින් ද මේ ආකාරයෙන් තොරතුරු අවශ්‍ය කාරණාව සම්බන්ධයෙන් විමසීම මෙන්ම අනන්‍යතාව පැහැදිලිකිරිම සදහා හැදුනුම්පතේ පිටපත් ඉල්ලීම මෙම නිරීක්ෂණයේදී පැහැදිලි වූ කරුණකි.

   පුරවැසියෙකු තොරතුරු ඉල්ලීම් කරනු ලබන අවස්ථාවකදී එම තොරතුරු ඉල්ලා සිටින හේතුව සම්බන්ධයෙන් ඔහුගෙන් විමසීම තොරතුරු පනතට පටහැනි දෙයක් බවයි තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් උපදේශකයෙකු මෙන්ම නීතිඥයෙකු ද වන ජගත් ලියනආරච්චි මහතා කියා සිටින්නේ. එමෙන්ම අනන්‍යතාව පැහැදිලි කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය තාවක් පිළිබඳව තොරතුරු පනතේ කුමන හෝ ස්ථානයක් නොමැති බවත් අනිවාර්ය වන්නේ ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම බවත් ඔහු විසින් පෙන්වා දෙනු ලැබේ. එමෙන්ම අදාල තොරතුරු ඉල්ලුම්කරු RTI 1 ඉල්ලුම් පත්‍රයේ ඔහු පුරවැසියෙකු බව සදහන් කර තිබේනම් ඒ මත පදනම් වී අදාල තොරතුරු නිලධාරියා තොරතුරු ලබා දිය යුතු වන අතර යම් අකාරයකට ලංකාවේ පුරවැසියෙකු නොවන අයෙකු එසේ පුරවැසියෙකු බවට සඳහන්කර තිබේනම් එය ලංකාවේ අපරාධ නීතිය යටතේ වරදක් වන බව ලියනාරච්චි මහතා පෙන්වා දෙයි.

  පනතේ විධිවිධානයන්ට අනුව නියමිත දිනයන්හි ප්‍රතිචාර නොදැක්වීම , බොහෝ අවස්ථාවල පිළිතුරු දීම ප්‍රමාද වීම මත, පසු ගිය දිනයක් සඳහන් කරමින් පිළිතුරු එවූ අවස්ථා ලිපි කවර දින පරික්ෂා කිරීමේදී මනාව තහවුරු වූ කරුණකි. එමෙන්ම තොරතුරු ඉල්ලුම්පත ලැබුණු බව දැන්වීම මෙන්ම තොරතුරු එවීමේදී ,තොරතුරු දීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවන්හි නම්කළ නිලධාරියා කවුරුන්ද යන්න දැක්වීම අනිවාර්ය වුවත් බොහොමයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙන්ම අනෙකුත් පොදු අධිකාරීන් බොහොමයක් එම නියමයන් කඩ කිරීමෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාව තුල තොරතුරු පනත ස්ථාපිත කර වසර හතරකට අධික කාලයක් ගත වුවත් පොදු අධිකාරින් තුල සිටින තොරතුරු නිලධාරීන් තොරතුරු පනතේ විධිවිධානයන් නිසි අයුරින් නොදන්නා බව මෙන්ම එම නියමයන් සම්බන්ධයෙන් නිසි තැකීමක් නොකරන බවයි.

ඉහළ නිලධාරීන්ගෙන් අවසර ගැනීම.

 තොරතුරු දැනගැනීමේ පනතට අනුව තොරතුරු ඉල්ලා සිටින අවස්ථාවන්හි තොරතුරු ලබාදීමට පෙර  තොරතුරු නිලධාරීන් මෙන්ම නම් කළ නිලධාරීන් ද ඉහල නිලධාරීන්ගෙන්  අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් අවසර ලබාගැනීම මේ වන විටත් සිදුකර තිබෙන අයුරු මෙම ගවේෂණයේදී හෙළි වූවකි.  එය ද අදාල පොදු අධිකාරීන් තොරතුරු දැනගැනීමේ පනතේ 30 වන වගන්තිය තුලින් තමන්ට ලබා දී ඇති නිදහස හා වගකීම් සම්බන්ධයෙන් අනවබෝධයෙන් හා තවමත් පෙර සේ ඉහල නිලධාරීන්ගේ අවසර ගැනීමේ ක්‍රමවේදය අනුගමනය කිරීමේ පටිපාටිය මේ තුලින් විදහා දක්වයි.

   එමෙන්ම රටේ මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තවදුරටත් ස්ථාපිත කිරීම සඳහා අදාල නිලධාරින්ද තොරතුරු පනතේ විධිවිධානයන් සම්බන්ධයෙන්  නිසි දැනුවත්කිරීම් සිදු කළ යුතු සේම තොරතුරු පනතේ විධානයන් කඩ  කරන පොදු අධිකාරින්හි තොරතුරු නිලධාරීන්ට එරෙහිව පනතට අනුව නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. ඒ සඳහා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම අහෝසි නොකර සිටිනු ලැබුවා සේම   තොරතුරු කොමිසමේ ක්‍රියාකාරිත්වය ශක්තිමක් කරමින් පුරවැසියා හට තොරතුරු සදහා ප්‍රවේශ වීමේ ඇති හැකියාව වර්ධනය කරදීමට කටයුතු සලසා දීම   ප්‍රජාතන්ත්‍රවාදී රජයක වගකීමකි යුතුකමකි.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -