32 C
Colombo
Friday, February 26, 2021
- Advertisement -

කන්තලේ තිත්ත සීනී

Must Read

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ.සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම...

සිංහරාජ අඩවියේ දෙල්ගොඩ රක්ෂිතයේ මහා වනාන්තර කොල්ලයක්

කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැවගම ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි සුදුවැලිපත ගමේ සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර ප‍්‍රදේශයක් වන දෙල්ගොඩ...

ගේදොර වැඩ කිරීම වෙනුවෙන් බිරිඳට වන්දි ගෙවන්නැයි සැමියාට නියෝගයක්

සිය විවාහ දිවිය සමයේදී "නිවසේ වැඩ කිරීම වෙනුවෙන්" සිය දික්කසාද බිරිඳට වන්දි ගෙවන ලෙස චීනයේ "දික්කසාද අධිකරණයක්" පුද්ගලයෙක්ට නියෝග...

– Advertisement –

කන්තලේ සීනී කම්හල නැවත ආරම්බ කිරීමේ පලමු පියවර ලෙස ජනාධිපති කාර්‍ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ  ආරාධනයෙන් කන්තලේට පැමිණි දිවයිනේ ප්‍රමුඛතම බඩ ඉරිගු නිෂ්පාදකයාට කන්තලේ සීනී කම්හල හැරයාමට සිදුව ඇත්තේ,යහ පාලන රජය සමයේ නොරටුන් සමග ඇතිකර ගත් ගිවිසුම් සෞභාගයේ ඉදිරි දැක්ම යථාර්තයක් බවට පත් කිරීමට හිතන තරම් පහසු කාර්ක් නොවන බව  මොනවට පෙන්නුම් කරවමිනි.

මැතිවරණ පොරොන්දු

   සෑම මැතිවරණයකදීම ත්‍රීකුණාමලයේ ප්‍රමුඛතම මැතිවරණ පොරොන්දුව කන්තලේ සීනි කම්හලයි.චෙකොස්ලොකියානු රජයේ ආධාරයක් හැටියට හැටේ දශකයේ ඉදිවු කන්තලේ සීනී කම්හල 1993 වසරේදී වැසී ගිය පසු එලඹි සෑම මැතිවරණයකදීම පැවති සෑම රජයක්ම පාහේ කන්තලේ සීනී කම්හල විවෘත කරන බවට පාරම් බාමීන්  මුල් ගල් තැබුවද, වසර විසි නවයක් පුරා කන්තලේ සීනී නම් හැදුණේ නැත.මේ ගෙවෙන්නේ, කන්තලේ සීනි කම්හල ආරම්භ කර 60 වන වෂීය හෙවත් විශ්‍රාම ගන්වන වෂීය වුවද,කන්තලේ ජනතාව විසිනව වසරක් පුරා බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින්නේ,සීනි කම්හල පන ගසා නැගිටන තුරුය.

කන්තලේ සීනී කම්හල නැවත ආරම්බ කරන බව කියමින් පැමිණී සෑම ආයෝජකයෙකුම කලේ,කන්තලේ සීනී කම්හල තව තවත් වල පල්ලට යැවීම පමණි.එහෙත්,මෙවර කන්තලේට පැමිණි ආයෝජකයා පිලිබදව කන්තලේ ජනතාවට යම් ප්‍රශාදයක් ගොඩ නැගී තිබුණි.එම ආයෝජකයාගේ සම්ප්‍රාත්තියට බැසිල් රාජපක්ෂ මහතා මූලික වීම ඊට හේතුවයි.

මීට පෙර උක් වවන බව කියමින් කන්තලේට පැමිණී සෑම ආයෝජකයෙකුම කළේ,  කන්තලේ සීනී කම්හලේ ගොඩ ගැසී තිබෙන යකඩ ගොඩට බැල්ම හෙලීම පමණි. ඇතැම් සමාගම්  රජය හා කන්තලේ ජනතාව රැවටීමට නමට පමණක් උක් වගා කලද, නව ආයෝජකයා වසර විසිහතක් පුරා මහ කැලයක් බවට පත්ව තිබු සීනී කම්හල් භූමියට අයත් ඉඩම් ගොවියන්ට බරක් නොදී තම වියදමින්ම එලිපෙහෙලි කොට එහි බඩ ඉරිගු වැවීමට කටයුතු සැලසුම් කිරීම ගොවියන්ගේ  ප්‍රශාදයට හේතු විය.

රජයේ ප්‍රබල අමාත්‍යවරු කිහිප දෙනෙකුගේම ආශිර්වාදයෙන් ඇරඹි එම ව්‍යාපෘතියට හරස් කැපීමට අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනකු  කටයුතු කරන්නේ,කන්තලේ සීනී කම්හල නැවත ආරම්බ කිරීමේ සිහිනය දකිමින් සිටින සුවහසක් ගොවීන් නැවත වරක් අන්ත අසරණ කරවමිණි.අමාත්‍යාංශ ලේකම්වරු නීතියට අනුකූලව එසේ හරස් කපන්නේ,වෙන කිසිවක් නිසා නොව දේශපාලඥයන්ගේ උපදෙස් වලට කටයුතු කර පසු කලකදී හිරේ විලංගුවේ වැටෙන්නට ඇති අකමැත්ත නිසා වන්නට ඇත.

වසා දැමුණු කන්තලේ සීනී කම්හල නැවත ආරම්බ කිරීම මැතිවරණ වේදීකාවේ දේශපාලඥයන් කියන කථා තරම් පහසු නැත.කලින් පැවති සීනී කම්හල මේ වන විට භාවිතයට ගත නොහැකි තත්වයේ පැවතීම ඊට හේතුවයි.එහි තිබෙන සම්පත් උපයෝගි කර ගනිමින් නව කර්මාන්ත ශාලාවක් ඇරඹීම විකල්පයයි.එහි මූලික පියවර ලෙස හැම දෙනාම දකින්නේ,වසර විසිහතක් පුරා කැලයට බිලිවු සීනී කම්හල් භූමිය එලිපෙහෙලි කර නව කම්හලක් ආරම්බ කරන තෙක් එහි උක් හෝ වෙනත් වගාවකට ගොවීන් යොමු කිරීමයි.

නව රජයට කන්තලේ සීනී කම්හල නැවත ආරම්බ කිරීමේ අවශ්‍යතාවය දැඩිව ඇති වී තිබුණි.එහෙත් ,ඊට හොද ආයෝජකයෙකු සොයා ගැණීමට නොහැකිවීම බරපතල ගැටළුවක් බවට පත්ව තිබියදී,  දිවයිනේ ප්‍රකට බඩ ඉරිගු වවන්නෙකු වන එවර්ග්‍රීන් සමාගමේ හිමිකරු කේ.එස්.ටී.පෙරේරා මහතාට සීනී කම්හලේ කටයුතු ආරම්බ කෙරන තෙක්,එම භූමියේ බඩ ඉරුගු වැවීමට ආරාධනය කර ඇත්තේ,රජයේ ප්‍රබල භූමිකාවකට පන පොවන්නෙකි. අමාත්‍ය එස්.එම්.චන්ද්‍රෙස්න මහතා ඒ බව ඉකුත් ඔක්තොම්බර් 02 දින කන්තලේ සීනී සමාගමට අයත් භූමියේ අක්කර 2000 ක බඩ ඉරුගු වැවීමේ සමාරම්භක උත්සවය අමතමින් කල කථාවේදී පැහැදිලිව ප්‍රකාශ කර තිබුණි.එම උත්සවයට රාජ්‍ය අමාත්‍ය චානක වක්කුඹුර මහතා මෙන්ම ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මංත්‍රී කපිල නුවන් අතුකෝරල මහතාද එක්ව සිටියහ.

කන්තලේ සීනී කම්හල නැවත ආරම්භ කිරීමේ ප්‍රබල අවශ්‍යතාවයෙන් පෙලෙන කපිල නුවන් අතුකෝරල මංත්‍රීවරයා රජයෙන් කළ ඉල්ලීමකට අනුව බඩ ඉරිගු වැවීමට එවර්ග්‍රීන් සමාගමට ආරාධනය කර ඇති බව මේ වන විට හෙලිවී තිබේ.එහෙත් එය යථාර්තයක් බවට පත් කිරීමට ඉඩම් හා වැවිලි අමාත්‍යාංශ වලට අයත් ලේකම්වරුන් හරස් කපන්නේ ඇයිද යන්න ගැඹුරින් විමසා බැලිය යුතු කාරණයකි.

ආයෝජකයින් රැවටීම

කන්තලේ සීනී කම්හල නැවත ආරම්භ කරන තෙක් එහි බඩ ඉරිගු වවන ලෙසත්,අනතුරුව එහි උක් වගා කිරීම සදහා අවශ්‍ය වටපිටාව සැකසුණු පසු එම අවස්ථාවද අදාල සමාගම වෙත ලබා දෙන බවට රජයේ ප්‍රබලයෙකුගෙන් ලද වාචික පොරොන්දුව පමණක් පිළිගත් එවර්ග්‍රීන් සමාගම එහි බඩ ඉරිගු වැවීමේ කටයුත්තට පන පොවන්නේ,කෝටි හතරකට වඩා මුදලක් ඒ සදහා වැය කරමිනි.එපමණක් නොව සීනි කම්හල නැවත ආරම්බ කිරීමට පිලිගත හැකි තරමේ ආයෝජකයෙකු ඉදිරිපත් නොවුනහොත්,එම අවස්ථාවද එවර්ග්‍රීන් සමාගම වෙත ලබාදීමටද මෙහිදී එම ප්‍රබලයා පොරොන්දුවී ඇති බව කන්තලේ ගොවියන් කියා සිටිති.

රජයේ අමාත්‍යවරයෙකු නොවූවද, අදාල ප්‍රබලයා මේ රජයේ ප්‍රබල භූමිකාවකට පන පොවන අයෙකු බැවින් හා එබදු අයෙකුගේ ආරාධනයකට පිටුපා කටයුතු කල නොහැකි බැවින් අදාල ආයෝජකයා මෙම කටයුත්තට අත ගසන්නට ඇති බව පෙනේ.

“එදා එස්.එම්.චන්ද්‍රෙස්න ඇමතිතුමා උත්සවයෙදි පැහැදිලිවම කියා සිටියා මේ ආයෝජකයා තෝරා ගත්තේ කව්ද කියලා.එතුමා මේ රජයේ අමාත්‍යවරයෙක් නොවුනත් එතුමා පිලිබද අපිට ලොකු විශ්වාසයක් අදටත් තිබෙනවා.මේ ආයෝජකයාට වසර කිහිපයක් යනකම් අපිත් එක්ක බඩ ඉරිගු වවලා පොලොව හැදුනට පස්සේ උක් වගා කරන්න දෙන්නත් එතුමා කැමති වෙලා ඉන්නේ කියලා අපිට දැන ගන්න ලැබුණා. මෙතුමා අවංක ව්‍යාපාරිකයෙක්.අනිත් ආපු ආයෝජකයෝ වගේ කෙනෙක් නෙවෙයි කියලා…ඇත්තටම අපි ඒක හිස් මුදුනින්ම පිලිගත්තා.මොකද එතුමා ආරම්බයේ ඉදලම අපිට ඒ විශ්වාසය අපේ හිත් තුල ඇති කෙරෙව්වා.අනික අපිට බැසිල් මහත්තයා ගැන ලොකු ගෞරවයක් තියෙනවා.එතුමා දක්ෂයෙක්.එතුමා ආවට ගියාට ආයෝජකයෙක් එවන්නේ නැති බව අපි දන්න නිසයි කන්තලේ ගොවියෝ හැටියට මේ වැඩේට එක හිතින්ම සම්බණ්ද වුනේ.නමුත් දැන් බලාගෙන ගියහම අපිට හිතා ගන්න බැහැ මේ මොනවද වෙන්නේ කියලා.රජයේ ප්‍රබල ඇමතිවරු දෙන්නෙකුත් සහභාගි වෙලා පටන් ගත්තු බඩ ඉරිගු ව්‍යාපෘතිය මේ වන විට නතර වෙලා.මේක කන්තලේ ගොවීන්ට කරපු මහම මහ අපරාදයක්..“ එසේ කියන්නේ,බටුකච්චිය ගොවි සංවිධානයේ සභාපති ඩී.කේ.සෙනෙවිරත්න මහතායි.

ගොවි සංවිධානයේ සභාපති ඩී.කේ.සෙනෙවිරත්න මහතායි

ගොවීන් කියන අන්දමට කන්තලේ සීනී කම්හල නැවත අරඹන මුවාවෙන් මීට පෙර පැමිණී සෑම ආයෝජකයෙකුම කර ඇත්තේ,එහි ඇති යකඩ ගොඩට පිළිබද උනන්දුවක් දැක්වීම වුවද,නව ආයෝජකයාගේ ඒකායන අරමුණ වී ඇත්තේ,බඩ ඉරිගු වැවීම තුලින් ලාභයක් ඉපයීම හා ඒ තුලින් ගොවීන්ට ප්‍රතිලාභ ලබාදීමයි.මීට පෙර පැමිණි ආයෝජකයන්ගේ තියරිය ගොවීන් දුක් මහන්සියෙන් බිම් සකසා වගා කරන බඩ ඉරිගු හෝ උක් මිළදී ගැණීම පමණි.නමුත්,බැසිල් රාජපක්ෂ මහතා නව ආයෝජකයාගෙන් ඉල්ලා ඇත්තේ,වගා බීම සැකසීම හා ඊට අදාල කායුතු සදහා සියළු වියහියදම් එවර්ග්‍රීන් සමාගමට දරණ ලෙසත්,අස්වැන්න නෙලන අවස්ථාවේදී එම වියදම් ගොවීන්ගෙන් සාධාරණ ලෙස පියවා ගැණීමට කටයුතු කරන ලෙසත්ය.

යම් හෙයකින් වගා හානි සිදුවුවහොත්,ගොවීන් මත එම බර නොපැවරෙන අන්දමින් වගාවට රක්ෂණ ආවරණයක් ලබාදීමටත් මෙහිදී එවර්ග්‍රීන් සමාගම එකග කර ගැණීමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

“ඇත්තටම මෙහෙම ආයෝජකයෙක් මීට කලින් කන්තලේට ආවේ නැහැ.ආපු අය ඔක්කොම කෙල හෙල හෙලා හිටියේ මේකෙ තියෙන යකඩ ගොඩට.හැබැයි,මේ ආයෝජකයා අපිට බිම නොමිලේම බිම හදලා දීලා හාලා බඩ ඉරිගු වවන්න පුළුවන් තත්වයට ඉඩම් ටික හදලා තියෙනවා.මේ ටිකට අඩුම තරමින් කෝටි හතරක් පහක් වියදම් වෙලා තියෙනවා.ඒ නිසා මේ ආයෝජකයා මේක දාලා යන්නේ නැහැ කියන විශ්වාසය අපිට තියෙනවා.අනික මේ ආයෝජකයා අපිට අක්කරයක් හාන්න රුපියල් 11000 ක් දෙන්නත්,බීජ හා පොහොර වලට වියහියම් දීලා ඒක ආදයමෙන් අඩු කර ගන්නත් කැමැත්ත පල කරා.අපිට තියෙන්නේ,ශ්‍රමය වැය කිරීම පමණයි.ඉතින් ආයේ මීට වඩා හොද ආයෝජකයෙක් හිටින්න විධිහක් නැහැ.එහෙම කැමති වෙච්ච ආයෝජකයට දැන් අවශ්ථාව නැති කරලා තියෙනවා.අපි දන්නේ නැහැ මේක පිටි පස්සේ කව්ද ඉන්නේ..මොකක්ද උවමනාව කියලා.“ එසේ කියන්නේ,නැගෙනහිර ගොවි සංවිධානයේ කමිටු සාමාජික ඩී.කේ.ඒකනායක මහතායි.

නැගෙනහිර ගොවි සංවිධානයේ කමිටු සාමාජික ඩී.කේ.ඒකනායක මහතා

ගොවීන්ට බඩ ඉරිගු වගා කිරීමට අදාල අවශ්‍ය මූලික පිරිවැය වෙනුවෙන් බැංකු නයක් ලබා දීමට ආයෝජකයා සොයා බැලුවද,බොහෝ ගොවීන්ගේ නම් ඒ වන විටත් මහ බැංකු අසාදු ලේඛණයට ඇතුලත්වීම හේතුවෙන් භාදා පැමිණ තිබේ.අනතුරුව බැංකුව ප්‍රකාශ කර ඇත්තේ,අදාල නය මුදල එවර්ග්‍රීන් සමාගම විසින් බැංකුවෙන් ලබා ගෙන ගොවීන්ට ලබාදීමට කටයුතු කරන ලෙසත්ය.කෙසේ වෙතත්,එම නය මුදල එවර්ග්‍රීන් සමාගම වෙත නිකුත් කිරීම සදහා ඉල්ලා ඇති නිර්නායකය වී ඇත්තේ,බඩ ඉරිගු වගාව සදහා රජය විසින් සීනි කම්හලට අයත් අක්කර 2000 ක ඉඩම් ප්‍රමාණයක් එවර්ග්‍රීන් සමාගම වෙත ලබා දී ඇති බවට ලිඛිත ලියවිල්ලකි.මේ සියළු අර්බුධ වලට පදනම වී ඇත්තේ,බැංකුව විසින් ඉල්ලා ඇති මෙම ලියවිල්ලයි.

විධිමත් ජල කළමනාකරණයක් ඇති කොට වෂීය පුරා උක් වගාව සිදු කරන තෙක් හා සීනි කම්හල නැවත ආරම්බ කරන තෙක් ඉදිරි වෙළද ගිවිසුම් යටතේ ගොවි ජනතාව සමග සීනි කම්හලට අයත් අක්කර 2000 ක බඩ ඉරිගු වගා කිරීම සදහා එවර්ග්‍රීන් සමාගමට බලය පැවරෙන එම කැබිනට් පත්‍රීකාවට අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනා විරෝධය පෑම මෙම අර්බුධයේ ආරම්බයයි.අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනාගේ අදහස වී ඇත්තේ,මෙම භූමි භාගය මේ වන විටත් වෙනත් සමාගමට බදු දී ඇති අතර,එම සමාගම ඊට අනුභද්ධ බ්‍රිතාන්‍ය සමාගමත් එක්ක එලඹ ඇති එකගතාවයන් මත මෙවැනි සහතිකයක් ලබාදීම නීත්‍යානුකූල නොවන බවයි.

යහපාලන රජයේ හිටපු ඉඩම් අමාත්‍ය එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් යහපාලන රජයේ  පළමු ආයෝජනය ලෙස එම්.ජී.සුගර් නැමැති සමාගමට සීනි කම්හල නැවත ආරම්බ කිරීමට 2015 වසරේදී ගිවිසුම් අත්සන් කෙරුණද,එම සමාගමට සීනි කම්හල නැවත ආරම්බ කිරීමේ කිසිදු උවමනාවක් නොතිබු බව පෙනුණී.ඔවුන්ගේ අරමුණ සීනි කම්හල සතුව තිබු යකඩ තොගය විකිණීම බව ගොවීන්ගේ අදහසයි.එසේ තිබියදී අදාල සමාගම ඔවුන්ට අනුභද්ධ  බ්‍රිතාන්‍ය සමාගමක් සමග වක්‍ර ගිවිසුමකට එලබෙමින් කන්තලේ සීනි කම්හල එකී විදේශීය සමාගමට අනියම් අන්දමින් විකුණා ඇති බව නිල නොවන ආරංචි මාර්ග හෙලි කරයි.අදාල සමාගම මේ වන විටත් අදාල භූමියේම යම් ප්‍රමාණයක බ්‍රිතාන්‍ය සමාගම හා එක්ව උක් වගා කිරීම සිදු කරන අතර,එය හුදෙක්ම රජය නොමග යැවීමේ අරමුණින් සිදු කරන්නක් බව පැහැදිලිය. ඔවුන් එසේ වගා කරන උක් අස්වැන්න අවසානයේ ගිනි තබා විනාශ කිරීමට කටයුතු කිරීම සුලබ දසුනකි.

කෙසේ වෙතත්,නව රජය බලයට පත්වූයේ,රජයේ දේපල විදේශිය සමාගම් වලට නොපවරන පොරොන්දුව ජනතාව හමුවේ තබමිනි.ඒ අනුව වත්මන් රජය කල යුතුව ඇත්තේ,එම්.ජී.සුගර් සමාගම විසින් පසුගිය ආණ්ඩුව සමයේ බ්‍රිතාන්‍ය සමාගමකට පැවරු සීනි කම්හල් ගිවිසුම අවලංගු කර දැමීම වුවද,එය එසේ සිදුව නැති බව ඉකුත් 09දා අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා සහභාගි වු මාධ්‍ය හමුවකදී සිදුකල ප්‍රකාශ වලින් සනාථ වේ.ඒ මහතා එහිදී කියා සිටියේ,කෝවිඩ් වසංගත තත්වය හමුවේ අදාල බ්‍රිතාන්‍ය සමාගමට මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකි බැවින් එක් කන්නයකට පමණක් ගොවීන් සමග එක්ව බඩ ඉරිගු වැවීමට අදාල ආයෝජකයාට අවස්ථාව ලබා දී ඇති බවයි.

මේ වන එවර්ග්‍රීන් සමාගම  දැඩි බලාපොරොත්තු තබමින් කන්තලේ සීනි කම්හලට අයත් අක්කර 2000 ක් පමණ එලිපෙහෙලි කොට බිම සැකසීමට මිලියන 40 ට වඩා වැය කර ඇත්තේ,එක් කන්නයක පමණක් බඩ ඉරිගු වවා අත පිසදා ගන්නට නොවේ. එක් කන්නයක පමණක් බඩ ඉගුරු වැවීමෙන් ආයෝජකයා වැය කර ඇති මුදලෙන් අඩක් හෝ  උපයා ගත නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත.

 කන්තලේ ගොවීන් කාලයක සිට රජයෙන් ඉල්ලා සිටින්නේ,අදාල ඉඩම් ඔවුන් අතර බෙදා දීමට කටයුතු කරන ලෙසයි. එහෙත්,එම්.ජී.සුගර් සමාගම සමග එලඹ ඇති ගිවිසුමට අනුව එය එසේ කළ නොහැකි බවක් පෙනේ.කෙසේ නමුත්,කන්තලේ ප්‍රාදේශීය ලේකම් එම්.එන්.උපේක්ෂා කුමාරි මහත්මිය කියා සිටින්නේ,කන්තලේ සීනි කම්හලට අයත් ඉඩම් ප්‍රමාණය මැණුම් කොට ගොවීන් අතර ග්‍රාම නිළධාරි හා කෘෂිකර්ම නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ වගා කටයුතු සදහා ලබා දෙන ලෙස ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් හා ඉඩම් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තමාට උපදෙස් ලබාදී ඇති බවයි.

ආණ්ඩුවේ ඩීල් එකක්

ප්‍රාදේශීය ලේකම්වරිය එසේ සීනි කම්හලට අයත් ඉඩම් වගා කටයුතු සදහා නිකුත් කරන බව ප්‍රකාශ  කළද එය යථාර්තයක් නොවන බව පෙනේ.මන්ද එම්.ජී.සුගර් සමාගමට අනුභද්ධ බ්‍රිතාන්‍ය සමාගමේ පිරිසක් නව රජය බලයට පත්වීමෙන් පසුවද රජයේ ඉහලම පෙලේ බලවතකු හමුවී අදාල ගිවිසුම යාවත්කාලීන කර ගැණීමට කටයුතු කර ඇති බවට කථාවක් කනින් කොනෙන් වාර්තාවීම ඊට හේතුවයි.මේ සම්බන්දයෙන් අදහස් දැක්වු සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක් නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ මෙවැන්නකි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක් නාමල් කරුණාරත්න මහතා

“අපේ රටේ බඩ ඉරිගු නිෂ්පාදනය අත්‍යාවශ්‍ය කාරණයක්.මොකද කුකුල් ආහාර නිෂ්පාදනයේදී 50% යොදා ගන්නේ,බඩ ඉරිගු..අපේ රටේ නිෂ්පාදනය කරන බඩ ඉරිගු ප්‍රමාණය මදි නිසා අපට ඉතිරි ප්‍රමාණය ආනයනය කරන්න සිදුවෙලා තියෙන වටපිටාවක් තුල තමයි,මේ දේශීය ආයෝජකයා මේ කටයුත්තට බය නැතිව අත ගහන්නේ…එයා විශ්වාස කරන්නේ,ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ කට වචනේ විතරයි.මේ වන විට ආයෝජකයා විතරක් නෙවෙයි,ගොවියොත් අසරණ වෙලා..මේකට යහ පාලන රජය වගේම වත්මන් රජයත් වග කියන්න ඕනේ. බැසිල් රාජපක්ෂ මහතා මේ සම්බන්දයෙන් අවධානය යොමු කරනවා නම් වැදගත්.ඔහු වහාම මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා මේ ආයෝජකයාට සාධාරණය ඉෂ්ඨ කල යුතුයි.ඒ වගේම දහසක් බලාපොරොත්තු තියාගෙන මේ වැඩේට බැස්ස ගොවියන්ගේ අසරණ නොකල යුතුයි.රජය මේ වැඩෙන් මග හරිනවා කියන්නේ,යහපාලන ආණ්ඩුව බ්‍රිතාන්‍ය සමාගමත් එක්ක ඩීල් දැම්මා වගේ මේ ආණ්ඩුවෙත් කව්රු හරි හාදයෙක් ඩීල් දාලා තියෙනවා.මේකෙ වැදගත්ම කාරණය තමා මේ ඩීල් දැපු හාදයා මේ රජයේ ප්‍රබලයෙක් කියන එක.හැබැයි,ජනාධිපතිතුමන්ට මේ රට හදන්න සැබෑ උවමනාවක් තිබේ නම්,යහපාලන රජයේ ගහපු මේ ගිවිසුම් මහ දේවල් නොවයි..“

මෙකී තත්වය මත රජයේ ප්‍රබලයෙකු වන එස්.එම්.චන්ද්‍රෙස්න අමාත්‍යවරයාට මෙන්ම මෙම ආණ්ඩුවේ මහ මොලකරු ලෙස හැදින්වෙන බැසිල් රාජපක්ෂ මහතාටද සිදුව ඇත්තේ,ගලේ පැහැරු බළළුන් සේ මුනිවත රැකීමටයි.මේ සම්බන්දයෙන් අප එවර්ග්‍රීන් සමාගමේ හිමිකරු වන කේ.එස්.ටී.පෙරේරා මහතාගෙන් තොරතුරු විමසා සිටියද,ඔහු ඊට එකග නොවීය.කලු ගලේ ඔලුව ගසා ගැණීමට ඇති අකමැත්ත ඔහුගේ ප්‍රතික්ෂේප කිරීම තුල ගැබ්ව තිබේ.

මේ රටේ සියයට 61 වැඩි ජනතාවක්  ඉකුත් ජනාධිපතිවරණයේදී  හා මහ මැතිවරණයේදී වත්මන් රජය බලයට පත්කරවූවේ,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාගයේ දැක්ම යථාර්තයක් වනු දැකීමේ අදහසිනි.එහෙත්,මේ වන විට සෞභාගයේ දැක්ම ජනතාවගේ සිතන් සතන් තුලින්  කෙමෙන් කෙමෙන් ඈත්වීයාම තුල නැගෙන ජනතා අප්‍රශාදය මේ වත්මන් රජයේ අභාග්‍යවීමටද ඉඩ නැතුවාම නොවේ.

– Advertisement –

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ.සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම...
- Advertisement -

More Articles Like This

- Advertisement -