32 C
Colombo
Sunday, March 7, 2021
- Advertisement -

මහජන මුදලින් කල්බදු ගෙවා -ගජමිතුරන්ට සැප වාහන දුන් අයවැය චක්‍රලේඛය

Must Read

වාහන සොරකම් ඉහළට – අවධානයෙන් සිටින්නැයි පොලීසියෙන් ඉල්ලීමක්

කූඨ ලේඛන සකස්කර වාහන ජාවාරමක යෙදෙන පුද්ගලයින් දෙදෙනෙකු බස්නාහිර බුද්ධි කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.කුලී පදනම මත ලබාගන්නා වාහන...

පාස්කු වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයට දින නියම කෙරේ

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව ලබන 10 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට...

ජනතාවගේ සුබසෙත සඳහා වැය නොකළ විග්නේෂ්වරන් ඇතුළු නායකයින්ට මානව හිමිකම් ගැන කතා කරන්නට කිසිදු සාධාරණ අයතියක් නෑ

මධ්‍යම රජයේ පළාත් සභාවට ලබාදුන් ජනතා මුදල් සතයක් උතුරේ දෙමළ ජනතාවගේ සුබසෙත සඳහා වැය නොකළ විග්නේෂ්වරන් ඇතුළු නායකයින්ට මානව...

රාජ්‍ය ආයතනවලට අවශ්‍ය වාහන මෙහෙයුම් කල්බදු ක්‍රමයට ලබාගන්නා ලෙස උපදෙස් දෙමින් ඉකුත් පාලන සමයේ නිකුත් කළ චක්‍රලේඛය ගජ මිතුරන්ට ලක්ෂ ගණනින් අයුතු ලාභ ලැබීම සඳහා ලබාදුන් වරප්‍රසාදයක් බව අනාවරණය වෙයි. 

අදාළ චක්‍රලේඛය වන්නේ 2016 මාර්ත 17 දිනැතිව එකල මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාව සිටි ආර්. එස්. එච්. සමරතුංගගේ අත්සනින් සියලු රාජ්‍ය ආයතන අමතා නිකුත් කර ඇති අංක 01/2016 දරන ජාතික අයවැය චක්‍රලේඛයයි. ඒ මගින් රාජ්‍ය ආයතනවලට උපදෙස් දෙන්නේ, ඒවාට අවශ්‍ය වාහන, මිලදී ගැනීමට වඩා මෙහෙයුම් කල්බදු ක්‍රමයට  ලබා ගැනීම වඩා ප්‍රතිඵලදායක බැවින් අදාළ චක්‍රලේඛය අනුව ක්‍රියාකරමින් ඉදිරියේදී අවශ්‍ය වාහන කල්බදු හෙවත් ලීසිං ක්‍රමයට ලබාගන්නා ලෙසයි. 2016 එවකට පැවති යහපාලන රජය ඉදිරිපත් කළ අයවැය යෝජනාවලට අනුකූලව මුදල් ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ 2016.03.04 දිනැති MF/TIP/03/CM/2016/31 අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අනුමැතිය හිමි වූ අතර ඒ අනුව ඉහත චක්‍රලේඛය නිකුත් කෙරිණි. 

අදාළ චක්‍රලේඛයේ සඳහන් වන අන්දමට රාජ්‍ය ආයතනවලට වාහන මිලදී ගැනීමට වඩා මෙහෙයුම් කල්බදු ක්‍රමයට ලබාගැනීම ප්‍රතිඵලදායක වන්නේ හිතවතුන්ට සැලකීම සඳහා කොළේ වසා ගැසීමේ කදිම උපායක් ඉන් නිර්මාණය වන නිසාය. ඒකාබද්ධ අරමුදලෙන් වියදම් දරන රාජ්‍ය ව්‍යාපාර ඇතුළු සියලු රාජ්‍ය ආයතනවලට අංක 01/2016 අයවැය චක්‍රලේඛය අනුගමනය කිරීමට දැඩිව උපදෙස් දෙමින් එහි පස්වැනි ඡේදයේ සඳහන් වාහන සම්බන්ධයෙන් වෙනස් පිළිවෙතක් අනුගමනය කිරීමට උපදෙස් දෙන්නේ එහි එන වාහන ගජමිතුරු සැපයට අදාළ නොවන නිසාය. 

ආයතන 65කින් මහජන මුදල් ගිලියි

අංක 01/2016 අයවැය චක්‍රලේඛය බරපතළ වංචාවක හවුල්කාර ලියවිල්ලක් බව බැලූ බැල්මට පැහැදිලි වන හෙයින් තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ කළ විමසීමකට පිළිතුරු දෙන අතිරේක අයවැය අධ්‍යක්ෂ ජනරාල් ජී.එම්.ජී.කේ. ගුණවර්ධන අයවැය දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරියා ලෙස පවසන්නේ අදාළ චක්‍රලේඛයෙන් රාජ්‍ය ආයතන 65කට කල්බදු ක්‍රමයට වාහන මිලදී ගැනීමේ අනුමැතිය ලබා දී ඇති බවයි. එහෙත් මේ චක්‍රලේඛයද ඇතුළු ඒ හා ඈඳෙන සියලු ලේඛන චෞර ලිපි වන්නේ වාහන මිලදී ගැනීම යනුවෙන් ඒවායෙහි කිහිප තැනකම සඳහන් වුවද කිසිම වාහනයක් මෙකී රාජ්‍ය ආයතන 65 සඳහා සැබෑ වශයෙන් මිලදී ගෙන නොමැති නිසාය.  බැලූ බැල්මට පෙනෙන්නේ එකවර වාහන මිලදී ගැනීමට රජය සතු මූල්‍ය වත්කම් ප්‍රමාණවත් නොවන හෙයින් ලීසිං හෙවත් කල්බදු ක්‍රමයට වාහන මිලදී ගන්නට ඇති බවයි.  සිදුව ඇත්තේ එය නම් වාහනයේ ක්ෂයවීම, රුපියලේ මිලදී ගැනීමේ හැකියාව ආදිය හා සමග බලනවිට එහි එතරම් වරදක් නොපෙනේ. 

නමුත් සිදුව ඇත්තේ වරදක් වංචාවක් බව පෙනෙන්නේ සමස්ත ක්‍රියාවලිය අධ්‍යයනය කරන විටය. මේ චක්‍රලේඛයෙන් ලබාදෙන උපදෙස්වලට අනුව මෙහෙයුම් කල්බදු ක්‍රමයට මිලදී ගත හැකි යැයි දැක්වෙන්නේ මෝටර් රථ, වෑන් සහ ඩබල් කැබ් වන අතර ඒවායේ එන්ජින් ධාරිතාව, ඉන්ධන භාවිතය හා ගියර් පද්ධතිය යනාදී වෙනස්කම් මත මිලදී ගැනීමේ සීමාවන්ද දක්වා තිබේ.  එසේම මිලදී ගනු ලබන එක් වාහනයක් සඳහා ගෙවිය යුතු මිල ගණන් පිළිබඳවද උපදෙස් ලබා දී තිබේ.  එම මිල ගණන් ආයතනවල දෛනික කටයුතු සඳහා වන වාහනවල සිට අමාත්‍යංශ ලේකම්වරු දක්වා පරාසයක නිලධාරීන් සඳහා මිලදී ගැනීමේදී මාසිකව ගෙවිය යුතු බදු කුලිය රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 03 දක්වා වේ.  අප අවශේෂ මූලාශ්‍රයකින් ලබාගත් තොරතුරුවලට අනුව ආයතන 65ක් සඳහා වාහන 350ක් පමණ මිලදී ගෙන තිබෙන අතර වියදම් මධ්‍ය අගයකට ගෙන එක් වාහනයක් සඳහා රුපියල් ලක්ෂ 02ක් වියදම් කර ඇත්නම් මසකට රුපියල් ලක්ෂ 700ක්ද, වසරකට රුපියල් ලක්ෂ 8,400ක්ද, වසර පහක් අවසානයේ රුපියල් ලක්ෂ 42,000ක්ද කල්බදු ගෙවීම සඳහා මහජන මුදලින් වියදම් කර ඇත. මේ දක්වා ඇති අගයන් උපකල්පන මත එළඹී ප්‍රක්ෂේපන බව සැබෑ නමුත් සැබෑ වියදම මේ අගයට වඩා අඩු විය හැකිවාක් මෙන්ම වැඩි වන්නටද පුළුවන. එය එසේනම් වසර පහක් අවසානයේ රාජ්‍ය ආයතන 65කට අත පිසදාගෙන පැත්තකට වන්නට සිදුවෙද්දී අහිංසක මහජනයාට මහත්ම වින්නැහියක් වී හමාරය.

වත්ත බද්දට දී ඇස්සට දත නියවීම

මේ ගවේෂණයට පාදක වූ තොරතුරු විමර්ශනයේදී එක්තරා රාජ්‍ය මණ්ඩලයකට වාහන හතරක් මිලදී ගෙන ඇති බව අනාවරණය වූ අතර නිදසුනක් ලෙස එහි සභාපතිවරයාගේ වාහනය පිළිබඳව පමණක් අවධානය යොමු කරමු. මේ සභාපතිවරයා වෙනුවෙන් මිලදී ගෙන තිබුණේ ටොයෝටා ෆෝර්චූනර් වර්ගයේ රථයක් වන අතර වර්තමාන වෙළඳපොළ මිල ගණන් හා සසඳන විට එම වකවානුවේ ෆෝර්චූනර් රථයක මිළ ලක්ෂ 60ක සිට 80 දක්වා පරාසයක විය. නිෂ්පාදිත වර්ෂය හා අයත් උප කාණ්ඩය මත එම පරාසය තුළ මිල නියම වන අතර අදාළ රථය කල්බදු ක්‍රමයට මිලදී ගැනීමට වසර 05ක් සඳහා ගිවිසුම් ගතව තිබුණි. එම ගිවිසුම 2022 නොවැම්බර් මාසය දක්වා බල පැවැත්වෙන අතර එම කාලයෙහි මාස 60ක් සඳහා මසකට රුපියල් ලක්ෂ 02 බැගින්  රුපියල් එක්කෝටි විසිලක්ෂයක් ගෙවීමට එකඟව තිබුණි.  ඒ අනුව වාහනයේ නියමිත මිලට වඩා වැඩිපුර මිලියන හතරකට ආසන්න මුදලක් ගෙවීමට සිදුව තිබේ.

මේ චක්‍රලේඛයෙන් රජයට මුදල් හිඟ නිසා කල්බදු ක්‍රමයට වාහන ගන්නට උපදෙස් දුන්නත් එහි සැබෑ යටි අරමුණ හෙළි වන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා දී ඇති උපදෙස්වලිනි.  චක්‍රලේඛයේ මාතෘකාව යොදා ඇත්තේ කල්බදු ක්‍රමයට වාහන මිලදී ගැනීම  වුවත් මෙහිදී සිදුවන්නේ අදාළ ආයතනය ලීසිං කොම්පැනියක් වෙත ගොස් තමන්ට වුවමනා වාහන කල්බදු ක්‍රමයට ඍජුව මිලට ගැනීම නොවේ. භාණ්ඩාගාර ලේකම් සමරතුංග මහතාගේ අත්සනින් කැබිනට් අනුමැතියද ලැබූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ උපදෙස් දෙන චක්‍රලේඛය නියෝග කරන්නේ තුන්වන පාර්ශව මගින් වාහන ලබාගන්නා ලෙසයි. ගජමිතුරු සංග්‍රහ හෙවත් දේශපාලනඥයන්ගේද, ඔවුන්ගේ හිතවතුන්ගේද, ඇතැම් ඉහළ නිලධාරීන්ගේද සැප වාහන අවශ්‍යතාව වසර පහක ඇවෑමෙන් සපුරාලීමට අඩිතාලම දමමින්, මෙතෙක් වාහන මිලදී ගැනීම ගැන උපදෙස් දුන් චක්‍රලේඛය ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහන් ඡේදයේදී මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ භාවිතා කර ආපසු ලබාදීම යන පදනම යටතේ වාහන ලබාගැනීම යනුවෙන් සඳහන් කර බළලාට මල්ලෙන් එළියට පැනීමට ඉඩ සලසා ඇත. 

මේ ක්‍රමය යටතේ පෙර නිදසුනෙහි සඳහන් කළ රාජ්‍ය  මණ්ඩලය සිය ෆෝර්චූනර් රථයට මසකට රුපියල් ලක්ෂ 02 බැගින් වසර පහකදී එක්කෝටි විසිලක්ෂයක්ද, කිලෝමීටර් 3000කට වැඩිවූ සෑම මාසික ධාවනයකදීම වැඩිවන කිලෝමීටරයට රුපියල් 45ක් බැගින්ද ගෙවා එය ඇතුළු වාහන හතරක්ම දළ වශයෙන් කෝටි 04ක් පමණ ගෙවා 2022 නොවැම්බර් මාසයේදී  ඒවා සැපයුම්කරුවන්ට නැවත භාර දී අත පිස දා ගත යුතු වේ. ඒ අනුව මේ පදනම මත වාහන මිලදී ගත් ආයතන 65කටම 2022 වනවිට අපගේ උපකල්පනය අනුව නැවත ආසන්න වශයෙන් වාහන 350ක හිඟයක් ඇති වේ. ගජමිතුරන්ට සැප වාහන 350ක්  නොමිලේම ලැබේ. 

මේ වාහන සැප වාහන වන්නේත් සූර චෞරයින් පිරිසක් තමන්ගේ උන් පිනවීමට කළ කට්ටකමක් යැයි චක්‍රලේඛය හැඳින්විය හැකි වන්නේත් එහිම පස්වැනි වගන්තිය අනුවය. ගිලන් රථ, බැකෝ, ඩෝසර්, ගලි බවුසර්, ලොරි, යතුරුපැදි හා වෙනත් විශේෂ කාර්ය වාහන මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ මිලදී ගැනීමට අවශ්‍ය නොවන බව එහි දැක්වේ. සැබෑය. කිසිවෙකුට වසර පහක් සඳහා ආණ්ඩුවට ගලි බවුසරයක් බදු කුලියට ලබා දී නැවත එය තමාගේ කරගැනීමේ වුවමනාවක් නැත. එකවර වාහන මිලට ගැනීමට සල්ලි නැති ආණ්ඩුවට ඒවා මිලට ගත හැකිය. චක්‍රලේඛයේ සුදුසුකම් ඇති සැපයුම්කරුවන්ද යටිකූට්ටු දේශපාලන සබඳතා ඇති දළකාරයන් මිස හුදී ජනයා නොවන බව පැහැදිලිය. 

පුරවැසි වගකීම

මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා මේ චක්‍රලේඛය නිකුත් කරන්නේ සිය රාජකාරියේ කොටසක් ලෙසය. මේ ක්‍රියාවලියට කැබිනට්ටුවද අනුමැතිය දී ඇත. ජාතික අයවැය යෝජනාවල මේ ප්‍රසම්පාදන යෝජනාව ඇතුළත්ය. දැන් පුරවැසියාගේ වගකීම මේ චෞර ජාලය හඳුනා ගැනීමයි. අයවැය සම්පාදන කාර්යයට මැදිහත් වන නිලධාරීන් හා එවකට සිටි මුදල් ඇමතිවරයාගේ සිට මේ සීතල හොරකමට සම්බන්ධ වූවන් හඳුනා ගැනීම පුරවැසියාගේ කාර්යයි. මෙහිලා උපකල්පනය කළ ගණන් ඉලක්කම් එහා මෙහා වීමට හැකි වුවද අතිශය සරළ කාරණා කිහිපයක් ගැන ප්‍රශ්න කළ යුතුය. ආර්ථික අහේනියෙන් හෙම්බත්ව සිටින රටක රජයේ ආයතන සිය වාහන සංචිතය වසර පහෙන් පහට මාරු කරන්නේ නැත. ඇතැම්විට ජපානයේද වසර තුනක්වත් ධාවනය කර මෙරටට ගෙන්වන රීකන්ඩීෂන් වාහන පවා වසර පහළොවක් විස්සක් කිසිම හෙණයක් නැතිව භාවිතා කරන පුරවැසියන් ඉන්නා රටක රාජ්‍ය ආයතනවලට සිය වාහන අවුරුදු 10ක් භාවිතා කරන්නට බැරි නැත. එසේ කරන්නට නම් මේ වාහන ඍජුව ඒ ඒ ආයතන මගින් කල්බදු ක්‍රමයට ලබා ගත යුතුව තිබුණි.  දැන් මතුවන ගැටලුව එසේ නොකළේ ඇයිද යන්නයි.  ප්‍රතිපලය වසර පහකට පසුව නැවතත් වාහන අවශ්‍යතාවයක් මතු වීමයි. 

භාණ්ඩාගාර ලේකම්වරයා සිය චක්‍රලේඛයේ පෙන්වා දී ඇති  පරිදි මෙය පිරිවැය අතින් වඩා ප්‍රතිඵලදායක ක්‍රමයක් වන්නේ වාහන සැපයුම්කාර ගජමිතුරන්ට මිස පුරවැසියාට නොවන්නේ එහෙයිනි.  මාසික කුලී පදනම මත අදාළ ආයතනවලට වාහන සපයා ගත්තේ නම් මීට වඩා ලාභදායකය. මේ ක්‍රමයේදී රියැදුරු රජයෙන් යොදවා වැටුප හා දීමනා ගෙවා ඇති නමුත් වාහන කුලියට ගත්තේ නම් රියැදුරාද ලබා දෙයි.  රජයට සල්ලි නෑ කියමින් බෑඟිරි ගෑ නමුත් මේ යටිකූට්ටු මගඩිය සඳහා ඒකාබද්ධ අරමුදලෙන් අරමුදල් ලබන ආයතනවලට ප්‍රතිපාදන ජාතික අයවැය දෙපාර්තමේන්තුවෙන් ලබා දී ඇත. වෙනම පුනරාවර්තන වැය විෂයක් ඇති කර ඇති අතර අදාළ වියදම මෙහෙයුම් වියදමක් ලෙස සලකා ඇත්තේ රජයට කිසිම වත්කමක් ඉන් ඇති නොවන නිසා බවද දක්වා ඇත. තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතා කරමින් අප කළ විමසුමට ප්‍රතිචාර දක්වන අවස්ථාවේද ජාතික අයවැය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම වාහන රාජ්‍ය ආයතනවල වත්කමක් නොවන බැවින් ඒවායේ වටිනාකම ක්ෂයවීම ගැන සොයාබැලීමද අදාළ නොවන බවයි. වසර පහක් අවසානයේ වත්කම් ක්ෂය වීමක් තිබිය හැකි වුවද මේ ක්‍රමයට සිදුව ඇත්තේ ශූන්‍ය වී අහිමි වීමකි.

– Advertisement –

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

වාහන සොරකම් ඉහළට – අවධානයෙන් සිටින්නැයි පොලීසියෙන් ඉල්ලීමක්

කූඨ ලේඛන සකස්කර වාහන ජාවාරමක යෙදෙන පුද්ගලයින් දෙදෙනෙකු බස්නාහිර බුද්ධි කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.කුලී පදනම මත ලබාගන්නා වාහන...
- Advertisement -

More Articles Like This

- Advertisement -