

දෙසතියට වතාවක් අරලිය ගහ මන්දිරයට රැස්ව රාජපක්ෂ කෙනෙක් බන්ධනාගාර ගත කරන්න සාකච්ඡා කර ඒ සඳහා ක්‍රියාත්මක වූ උදවිය අද අධිකරණ නිදහස ගැන කතා කිරීම විහිළුවක් බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
රනිල් වික්‍රමසිංහ,අනුර දිසානායක,පාඨලී චම්පික ඇතුළු පිරිස එක කඳවුරකි සිට මේ වැඩපිළිවෙළ දියක් කරත්දී ඊට එරෙහිව නොසැලී මුහුණ දීමට ශක්තිය ලබා දුන්නේ මේ රටේ ජනතාව බවද ඒ මහතා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිව් වසරක් සපිරීම නිමිත්තෙන් සිව්දෙස සුරැකි සිව් වසර යන තේමාව යටතේ පැවැති කුණ්ඩසාලේ ආසන සම්මේලනය පසුගියදා (06) කුණ්ඩසාලේ මැණික්හින්න රඹකැන් උත්සව ශාලාවේ දී පැවති අවස්ථාවේදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය රජය කළ තුට්ටු දෙකේ නින්දිත පාවාදීම් වල පව් ගෙවන්නට සිදුව තිබෙන්නේ වත්මන් රජයට බවත් එම සියලු අභියෝග වලට නොබියව මුහුණ දීමට සූදානම් බවත් රඹුක්වැල්ල මහතා කීවේය.
එදා විදේශ ඇමැතිවරයා ලෙස මංගල සමරවීර කළ පාවදීම පදනම් කරගනිමින් මානව හිමිකම් කොමාසාරිස්වරිය රටට චෝදනා ඉදිරිපත් කර තිබෙන බවත් ඒවා පිළිනොගන්නා බව අප දැනුම් දී තිබෙන බවත් කී ඒ මහතා මේ සියලු ගැටලු වලට සාර්ථකව මුහුණ දීමට හැකිවී තිබෙන්නේ මේ රටේ ජනතාව ආණ්ඩුවට ලබාදෙන ශක්තිය බවද අවධාරණය කළේය.
අවුරුදු හතරක් වැනි කෙටි කාලයකදී පොදුජන පෙරමුණ දේශපාලන විප්ලවයක් මේ රටේ සිදුකළ බවත්ඒ ගමන පැමිණියේ රෝස මල් යහනාවක් මතින් නොවන බවත් ඇමැතිවරයා පැවසුවේය.
සියලු වේදනාවන්,පීඩාවන් දරා ගනිමින් සියලු ප්‍රශ්න වලට මුහුණ දුන් බවත් එෆ්.සී.අයි.ඩී එකට ගොස් ප්‍රකාශ ලබාදී සිනාමුසු මුහුණින් පිටතට පැමිණියේ වරදක් නොකළ බව සිත දන්නා නිසා බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්,කුණ්ඩසාලේ ප්‍රාදේශිය සභාවේ සභාපති ආර්. අකමීමන මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
– Advertisement –

