

සීගිරිය පව්වත් පිදුරංගල පව්වත් පෙනෙන මානයේ සීගිරිය අවුඩංගාව ප්‍රදේශයේ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා සංවිධානාත්මක කණ්ඩායමක් මේ දිනවල වන සතුන් ගහනව සිටින මහ කැලෑව කපා ගස් කොළන් කපා බිම දමා හෙළි පේලි කර විනාශ කරමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.
මීට දින දෙක තුනකට පෙර දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සීගිරිය ප්‍රදේශයේ වන අලින් ගහන ව පවතින අක්කර හැටකට අධික ප්‍රමාණයක් කැලෑව කපා අඹ පොල් ආදී පැල වගා කරන බව අප හෙළිදරව් කළෙමු .එම ඉඩම් කොල්ලය දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා විසින් තහනම් කරනු ලැබීය.
දඹුල්ල දිගම්පතහ ප්‍රදේශයේ අවුඩංගාව කොට්ඨාසයට අයත් සීගිරිය අභය භූමියේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් විශාල වනයක් මෙයාකාරයෙන් ව්‍යාපාරිකයන් පිරිසක් ප්‍රාදේශීය දේශපාලනය කරන පිරිසක් එක්ව පුද්ගලයන් කුලියට යොදවා මහ ගස් කපා බිම දමා ඉඩම් අත්පත් කර ගැනීම සඳහා ක්‍රියා කරමින් සිටින බව පෙන්වා දෙති.
මේ පිළිබඳව බලධාරීන් හට කොතෙක් කීවද කිසිදු අවධානයක් නොමැති බවත් මේවා දැනුම් දෙන ප්‍රදේශවාසීන්ට සිදුවන්නේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් මැර කණ්ඩායම් වලින් දැඩි ලෙස තර්ජනය කිරීම් සහ පහරකෑම් වලට ලක්වීම බව ඔවුහු පෙන්වා දෙති .එමෙන්ම රජයකින් ලැබෙන සියලු වරප්‍රසාද අහිමි වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් මෙම පුද්ගලයන්ට දැඩි බියකින් පසුවන බවත් එමෙන්ම ව්‍යාපාරිකයන් විසින් විවිධ කණ්ඩායම් යොදවා මෙම සිද්ධීන් අනාවරණය කරන ජනතාවට සහ ඊට විරුද්ධ වන ජනතාවට තර්ජනය කරමින් පහර දෙන බවද ජනතාව කියති.
සීගිරිය ප්‍රදේශයේ කීපදෙනෙකු ඉතා රහසිගතව තම මුහුණු ආවරණය කරගනිමින් සීගිරිය අවුඩංගාව ප්‍රදේශයට පැමිණ දිනපතා කපා බිම හෙළන මෙම රූක්ෂ වනස්පතිය අප හට පෙන්වන්නට ඉදිරිපත් වුනෙමු .ඔවුන් කියා සිටියේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉනාමළුව වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරින් ද මේ සඳහා සහයෝගය ලබා දෙන බව ය .එමෙන් ම ප්‍රදේශයේ දේශපාලන බලධාරීන්ටද මෙම ඉඩම් වල කොටස් යන බවත් ඔවුහු සඳහන් කළහ .
එමෙන්ම සීගිරිය සහ පිදුරංගල පව්ව ඉතා අලංකාරව දර්ශනය වන සෑම කැලෑ ප්‍රදේශයක් ම මෙම සංවිධානාත්මක කණ්ඩායම විසින් කපා විනාශ කොට වැටවල් ගසා අත්පත් කරගෙන සංචාරක හෝටල් ඉදිකිරීම සඳහා පිටස්තර පුද්ගලයන්ට අති විශාල මිල ගණන් යටතේ අලෙවි කිරීම සිදුකරන බව ද ඔවුහු පෙන්වා දෙති. අභයභූමියට රජයේ ඉඩම් වලට ඔප්පු හා බලපත්‍ර හදන බව ද ඔවුන් අප සමග පැවසූහ.
වන අලින් මෙන්ම වන සතුන් ගහනව සිටින සීගිරිය අවුඩංගාව ප්‍රදේශීය මහා රක්ෂිත කපා දමා ඇති ඇත්තේ කොහොඹ, කටකෑල , කොලොන් ,බුරුත ,මිල්ල ,දමුනු,දබ ,වෙලන් , ආදී විශාල ගස්වේ . මේ වන විටත් එම වනස්පතියන් මහ පොළොව මත පතිත වී ඒවායේ සාරය කඳුළු සලන්නා සේ එලියට දක්නට තිබේ .

මේ මහා අපරාධය සිදුවන දෙස සීගිරි පව්වත් පිදුරංගල පව්වත් ඇස් දෙකෙන් බලා ඉන්නා සේ මෙම ඉඩමට දර්ශනය වීම ද විශේෂත්වයකි.
මෙම මහා පරිමාණ පරිසර විනාසය ඉඩම් මංකොල්ල කෑම පිළිබඳව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතාගෙන් විමසීමේදී කියා සිටියේ තමාට මෙතෙක් ග්‍රාම නිලධාරිවරයා හෝ මේ සම්බන්ධයෙන් දැනුවත් කොට නොමැති බවය. ප්‍රදේශයට ගොස් පෞද්ගලිකවම සොයා බලා මෙම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කළේය.
එමෙන්ම මෙම පරිසර පද්ධතිය වනය ආරක්ෂා කිරීම සඳහා බලය ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දඹුල්ල ඉනාමළුව බීට්ටු කාර්යාලයේ ප්‍රධානියා වෙත ය . එහි බිට්ටු අඩවි වන නිලධාරි විජේවර්ධන මහතා හමුවීම සඳහා කාර්යාලය පරිශ්‍රයට ගියද එහි ආරක්ෂක නිළධාරින් කියා සිටියේ බීට්ටු වන නිලධාරී මහතා නොමැති බවය .ඔහු වෙනත් ප්‍රදේශයකට රාජකාරියකට බැහැරව ගොස් ඇති බව ය.
පෙරද සීගිරිය අභය භූමියේ අක්කර හැට හැත්තෑවක් කපා වෙනත් පැළ වර්ග රෝපණය කිරීමේ සිද්ධිය විමසීමට ගිය ද ඒ මහතා මුණ ගැසීමට අප හට නොහැකි විය.

– Advertisement –
