

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් විසින් මරාගෙන මැරීම සඳහා කාන්තාවන් 15 දෙනෙකු පුහුණු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මාවනැල්ල ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගත් තරුණියගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එම තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
එම කාන්තාවන් 15 දෙනාගෙන් 5 දෙනෙකු පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව සයින්දමර්දුහි සිදුවූ පිපිරීමෙන් මියගොස් ඇති බව ද අනාවරණය වී තිබේ.
අනෙක් සියලුදෙනා මේ වන විටත් බන්ධනාගාරගතව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ සිටින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
“ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වෙලා තියෙනවා සහරාන් හෂීම් විසින් 2018 දෙසැම්බර් මාසයේ දී පවත්වන ලද ඉගැන්වීම් පන්ති සඳහා කාන්තාවන් 15 දෙනෙකු පමණ සහභාගී වී ඇති බවයි. මේ කාන්තාවන්ගෙන් 5ක් සයින්දමර්දු ප්‍රදේශයේ දී සිදුවු මරාගෙන මැරෙන පිපිරීමේ දී මියගියා. තවත් කාන්තාවන් තිදෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඊට අමතරව පෙරේදා දින අත්අඩංගුවට ගත් කාන්තාව ද ඇතුළු තවත් කාන්තාවන් 7 දෙනෙක් දැනට ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය භාරයේ පසුවෙනවා. මෙහිදී අනාවරණය වී තිබෙන්නේ එම පන්ති සඳහා සහභාගීවීමෙන් අනතුරුව එම කාන්තාවන් විසින් “බයිඅත්“ දිවුරුම ලබාගෙන ඇති බවට සහරාන් හෂීන් නැමති අපරාධකරු විසින්. “බයිඅත්“ දිවුරුමේ සඳහන් වන්නේ ඕනෑම මොහොතක මරාගෙන මැරෙන ප්‍රහාරයක් සඳහා ඔවුන් සුදානම් බවයි. “
– Advertisement –

