

දූෂණ විරෝධි කටයුතු සඳහා කැබිනට් මණ්ඩලයටද ඉහළින් විධායක සභාවක් පිහිටුවා මහජන නියෝජිතියින් ඇතුළු බොහෝ අය ඇප නොදී බන්ධනාගාර ගත කරන තැනට කටයුතු කරමින් දේශපාලන පළිගැනීම් ඉතිහාසයේ අපකීර්තිමත්ම යුගයක් නිර්මාණය කළ අය අද දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ කොමසම විවේචනය කිරීම හාස්‍යයට කරුණක් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
තමන්ගේ ආධිපත්‍යයේ පිහිටා අවශ්‍යය ලෙස නීතිය නවමින් විවිධ චෝදනා එල්ලකර දේශපාලන පක්ෂ නායකයින්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු,මහජන නියෝජිතයින්,පෞද්ගලික අංශ ආයතන ප්‍රධානීන්,ජීවිත පරිත්‍යාගයෙන් රට බේරාගත් රණවිරුවන් ගෙන ඉතිරිව සිටි පිරිසෙන් කොටසක් ඇප නොදී බන්ධනාගාර ගත කිරීමට මහින්ද රාජපක්ෂ පාලනයෙන් පසු නිරපරාදේ චෝදනා එල්ල කරමින් පියවර ගත උදවිය කරන චෝදනා මේ රටේ ජනතාව පිළිනොගන්නා බවද ඒ මහතා කීය.
මහනුවර හන්තාන මූලික අධ්‍යයන ආයතනයේදී පසුගියදා (19) පැවැති උත්සවයකින් අනතුරුව ඇමැතිවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.
නිදහසින් පසු බලයට පැමිණි කිසිදු රජයක් යටතේ මේ ආකාරයට බොරු චෝදනා එල්ලකර පළිගැනීම් සිදු නොවුණු බවත් චන්ද්‍රිකා,අනුර වැනි අය එදා ඒ පසුපස සිටි බවත් හෙතෙම අවධාරණය කළේය.
හොරකම්,වංචා,දූෂණ,බලය අයුතු ලෙස පාවිච්චි කිරීම් ඇතුළු අක්‍රමිකතා සියල්ල පිළිබඳ විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඇතුළු පාර්ශව වලට බාරදී තිබෙන බවත් වත්මන් රජය වෛරයෙන් වියරු වැටුණු පැසිස්ට් ඒකාධිපතිත්වයකින් කටයුතු නොකිරීම නිසා යුක්තිය පසිදලීමේ පමාවී තිබෙන බවත් එය ඉක්මන් කිරීමට කටයුතු කිරීම වැදගත් බවත් ඇමැතිවරයා පැවසුවේය.
ආණ්ඩුවේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුවට අවශ්‍යය ලෙස මිසක් විපක්ෂයට අවශ්‍යය ලෙස නොවන බවත් කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන බවත් එහිදී සාකච්ඡා කිරීමෙන් පසු එයක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කී ඒ මහතා තමන් ඇතුළු පිරිස විපක්ෂයේ සිටියදී ආණ්ඩුවේ තිබුණු එකම න්යායපත්රය විපක්ෂයේ සිටින අය බන්ධනාගාරගත කිරීම බවද අවධාරණය කළේය.
Advertisement –

