32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

සාධාරණ සමාජ ක්‍රමයක් ඇති කිරීම සඳහා කාන්තාවන් ප්‍රමුඛ මේ රටේ සමස්ත ජනතාව අරගල කළ යුතුයි – ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිණි අමරසූරිය

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

අයිතිවාසිකම් සුරකින, සමානාත්මතාය හා සාධාරණ සමාජ ක්‍රමයක් ඇති කිරීම සඳහා කාන්තාවන් ප්‍රමුඛ මේ රටේ සමස්ත ජනතාව අරගල කළ යුතු බවත්, ඒ සඳහා අයිතින් උදෙසා කාන්තාවෝ සංවිධානය සමග එක්ව මේ රටේ පාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා එක්වන ලෙසත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිණි අමරසූරිය මෙණවිය මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ වතු කම්කරු කාන්තාවන්ගේ හමුවකදී ඊයේ (13) දා පස්වරුවේ ඉල්ලා සිටියාය.
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව, ජනතා විමුක්ති පෙරමුණ මගින් සංවිධානය කර තිබූ මෙම කාන්තා හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් හරිණි අමරසූරිය මන්ත්‍රීවරිය මෙසේද කීවාය.
“වතුකරයේ ජනතාවට ඓතිහාසික අත්දැකීම් තිබෙනවා. මුලින්ම ඔබලාට තමුන්ගේ පුරවැසිභාවය වෙනුවෙන් අරගල කරන්න සිදු වුණා. පසුව වතුවල කරන රැකියාවේ අයිතිවාසිකම් ඉල්ලා අද දක්වා අරගල කරන්න සිදු වී තිබෙනවා. ඒ වගේම සාධාරණ වැටුපක් ඉල්ලා අදත් අරගල කරනවා. ඒ සියළුම දේ පැත්තක තිබියදී හරි අධ්‍යාපනයක්, සෞඛ්‍ය සේවාවක්,පාරක් ලබා ගැනීමට අරගල කරන්න වෙලා තිබෙනවා. වතු කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් ඉල්ලා අද දක්වා අරගල කරන්න වෙලා තිබෙනවා. ඉතිහාසයේ ඉඳන් එන ඒ අරගල අද දක්වා අවසන් වෙලා නෑ.”


“2015 වතු කම්කරුවා විසින් ආරම්භ කළ රුපියල් 1000/- දෛනික වැටුප් වැඩි කරන ලෙස ආරම්භ කළ ඉල්ලීම ඔබලාට ලැබුණාද? කීදෙනෙකුට ලැබුණද? තවම එය ලැබුණේ නෑ. පොරෝන්දු කියක් ලැබිල ඇද්ද? ඒ වෙනුවෙන් ඔබලා ඡන්ද කීයක් පාවිචිචි කරන්න ඇද්ද? ඒ පාවිච්චි කරපු ඡන්දෙන් පාර්ලිමේන්තු ගිය කීදෙනෙක් අදත් පාර්ලිමේන්තුවේ ඉතාමත් සැපෙන් ඉන්නවද? ඔබලා වැඩකරන, ඔබලාගේ ළමයින් අධ්‍යාපනය හදාරණ වතුකරයේ පාසල් වල ගැටළු විසඳිලාද? ඒවායේ අවශ්‍ය තරම් ගුරුවරු ඉන්නවද? පහසුකම් තියෙනවද? වතුයායේ රෝහල් තිබෙනවද? වෛද්‍යවරු ඉන්නවද? පවුල් සෞඛ්‍ය සේවිකාව වෙලාවට එනවද? කොවිඩ් එන්නත ලැබුණද? කිසි දෙයක් ලැබිල නෑ. ඔබයි මමයි අතර වෙනසක් තිබෙනවාද? කිසිම වෙනසක් නෑ. මමත් ගැහැණියක්. මම වගේම ඔබලාත් මේ රටේ පුරවැසියන්. මට ලැබෙන අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව, ඔබටත් ලැබෙන්න අයිතියක් තියෙනවා. ඔබේ දරුවාට පෙෘෂ්‍යදායි ආහාරයක් ලබා දීල ඇති දැඩිකරන්න ඔබට අයිතියක් තියෙනවා. කරදරයකදී පොලීසියට ගියාම ගරුත්වයක් ඇතිව සලකන්න ඔබටයි, මටයි හැමෝටම එකම අයිතියක් තිබෙනවා. ඒ එකම අයිතිය අපි හැමෝටම තියෙනවද? ඒ අයිතිය නෑ. ඒක සිදුවන්නේ කොහොමද? එහෙම වෙන එක හරිද? ඒක වෙනස් කරන්න ඔබලා අවුරුදු ගාණක් තිස්සේ අරගල කරනවා. වසර ගාණක් ඔබ ඡන්දය පාවිචිචි කරනවා. වෘත්තිය සමිති හැටියට සංවිධානය වෙලා තිබෙනවා.”
“ඒ මොන අරගල කරමින් සිටියත් තවම අපි ඉන්නේ අධිරාජ්‍යවාදීන්ගේ කාලයක වගේ. අපේ රටේ පරවැසියන් හැටියට අපට ලැබෙන්න ඕන, ලැබිය යුතු අපේ අයිතිවාසිකම් මේ දක්වා ලැබිලත් නෑ. අපිට දීලත් නෑ. මම මේ ප්‍රදේශයේ තවත් වතුයායකට ගියා. වතුකම්කරු සහෝදරවරුන් හමුවෙන්න. ප්‍රධාන මාර්ගයෙන් ඒ වත්තට හැරෙන තැන ලස්සන විශාල නාම පුවරුවක් තිබුණා. ඒ පුවරුවේ හිනාවෙච්ච මුහුණු 06 ක් තිබුණා. ඒ අයගේ දායකත්වයෙන් පාරක් ලැබුණ බව එහි සඳහන් කර තිබුණා. හැබැයි ඒ පාරේ යනකොට මට හිතුණා. පාරටනම් වියදම් කරලා නෑ. ලස්සන බෝඩ් එකටනම් වියදම් කරල තියෙනවා කියල. ඒ පාර පයින්වත් යන්න පුළුවන් පාරක් නොවෙයි. ඉතාම අබලන්. ඒ පාරේ තව ටිකක් ඉදිරියට යනකොට බස් මගි ආවරණයක් වගේ එකක් තිබුණා. ඒකේ භාගයක් පිරෙන්න ගලෙන් කොටපු ස්මාරකයක් තිබුණා. ඒකේ නම් ලැයිස්තුවක් තිබුණා. පැය කිපයක් ඒ පාරේ මම ගියා හැබැයි එක බස් එකක්වත් යනවා දැක්කේ නෑ. බස් නැති පාරක ඒ බස් නැවතුම්පළ කාට මොනව කරන්නද කියා දන්නේ නෑ. බස් නැති ස්ටෑන්ඩ්, බෙහෙත් නැති ඩිස්පෙන්සරි, ගුරුවරු නැති පාසල්, බෝඩ් ලෑලි විතරක් තියෙන පාරවල්. මොකක්ද මේ? මේව දැක්කම ලොකු තරහක් ඇතිවෙනවා. ඇයි අපි මේ දේවල් ඉවසන්නෙ? මට ඒ වෙලාවේ හිතුණා අර මුහුණු 06 න් එක්කෙනෙක් හරි එතන හිටියනම් මොනවා හරි කරන්න. අපිට පොරොන්දු දීල, අපේ ඡන්දෙන් බලයට ඇවිල්ලා, අපේ ජීවිත මීට වඩා දියුණු කරනව කියල දිවුරල පොරොන්දු දීල, පාර්ලිමේන්තුවටත් ගිහින් අත උස්සල ව්‍යවස්ථාවට එකඟයි, මේ රටේ මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් එකඟයි කියල දිවුරුම්දීල මොනවද අපි කරන්නේ? මටත් ලඡ්ඡා සිතුණා එවැනි පාර්ලිමේන්තුවක වාඩිවෙලා ඉන්න එක ගැන. ඒක වෙනස් කරන්නනම් අපිට විතරක් තනියෙන් බෑ. සියළු දෙනාටම තේරෙන්න ඕන. මේ අය කරන දේ වැරැද්දක් කියල අපිට තේරෙන්න ඕන. මෙහෙම වියයුතු නෑ. මෙහෙම වෙන්න දෙන්න හොඳ නෑ. මේක ඉතාමත් අසාධාරණයි. මම පාර්ලිමේන්තුවට ගිහින් මාස 06 යි. මම අද එනවිට ඔබලා ඉතා ආදරයෙන් පිළිගත්තා. මට ලජ්ජා සිතුණා. මම කිසි දෙයක් ඔබලාට කරන්නේ නැතිව මට ලබාදුන් පිළිගැනීම ගැන. මම යමක් කරලා තිබුණනම් මට ඒ පිළිගැනීම හා සෙනෙහස ලැබෙන්න අයිතියක් තිබෙනවා. කිසි දෙයක් නොකර මට කුමටද ඒ ගෞරවය? අපේ රටේ නායකයන්ට, පාලකයින්ට අපි උගන්වන්න ඕන. ඒ අය ඒ තැන්වලට යවන්නේ අපි වෙනුවෙන් වැඩ කරන්න කියල. අපේ ජීවිත මීට වඩා දියුණු කරන්න. එහෙම කරන්නේ නැතිනම් ඒ අයට අපේ ගෞරවය, ආදරය දියයුතු නෑ. හැබැයි මොකුත් නොකර ඔවුන්ට අපේ ආදරයත්, ඡන්දයත් ලැබෙනකොට ඒ අය සිතනවා අපි ඕන දෙයක් කළොත් ජනතාව අපි පිළිගන්නවා, අපිට ඡන්දය දෙනවා, අපිට බනින්නෙත් නෑ කියල. ඒ නිසා ඒ අය වෙනස් වන්නේ නෑ. ඒ අය වෙනස් කරන බලය තිබෙන්නේ ඡන්ද දායකයින් වන මේ රටේ පරවැසියන් ළඟයි. මේ රට තවම මොනවා වුණත් ප්‍රජාතන්තවාදී රටක්. ජ්‍රජාතන්නත්‍රවාදී, සමාජවාදී ජනරජයක් ලෙස තමයි කියන්නේ. ජනරජයක් කියන්නේ ජනතාව රජ කරවන රටක් විය යුතුයි. එසේනම් බලය, ශක්තිය තිබෙන්නේ ජනතාවටයි.හැබැයි අපේ රටේ පාලකයින් හැසිරෙන්නේ කොහොමද? අපිට බයෙන්ද? නැතිනම් ඒ අයට බයෙන් අපි හැසිරෙනවද? මමත් ඇතුළු ඒ අය ජනතාවට බයවෙනකම් මේ රට කවදාවත් වෙනස් කරන්න බෑ. අඩුම තරමේ අපේ දරුවන්ට මීට වඩා හොඳ රටක් ඉතිරි කරන්න, ගරුත්වය රැක දෙන සමාජ ක්‍රමයක්, බය නැතිව පාරේ බැහැල යන්න පුළුවන් රටක්, අපේ ගරුත්වය රැකගෙන කරන්න පුළුවන් රැකියාවක්, මහන්සියට සරිලන වැටුපක් දෙන තැනකට එනකන් අපේ රටේ පාලකයින් වෙනස් වන්නේ නැතිනම් ඒ පාලකයින්ගෙන් වැඩක් නෑ. පාලකයින් බයකරන්න පුළුවන් ශක්තිය,ධ්‍යෛර්ය ඔබලාට තියෙනවා කියල මම දන්නවා.”
“අපේ රටේ කාන්තාවන් සිටිනවා 52% ක්. භාගෙකට වැඩියි.ඡන්දේ දෙන්න යන විට එය 56% ක් කාන්තාවෝ. එතකොට බලය තිබෙන්නේ අපි ළඟයි. අපි ඒ බලය දැන් පාවිච්චි කරමු මේ රට වෙනස් කරන්න. අපිව නියෝජනය කරන, අපේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින පාලකයින් පත් කරගන්න ඒ බලය අපි පාවිච්චි කරමු. ඡන්දය දීල නිකන් ඉන්න බෑ. පුරවැසියන් හැටියට අපේ වැඩේ පටන් ගන්නනේ ඡන්දය පාවිච්චි කළාට පස්සේ. ඔබලා අපිට කරදර කරන්න. මේ දේ කළාද ? ඇයි මෙතන හොරකම් කරන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? දේශපානඥයින්ට ඒක බලපෑම් කරමින් පෙන්නන්න. ඒ පරවැසි වගකීම ඉෂ්ඨ කරන්න මේ සියළු දෙනාටම ශක්තිය ධ්‍යෛර්ය, අත්දැකීම තිබෙනවා කියල මට හොඳටම විශ්වාසයි. මට මේ ප්‍රදේශයේ සංචාරයේදී දැණුන දෙයක්, අත්දැකීම නිසා මම අහනවා ඇයි අපි මේව තවදුරටත් ඉවසන්නේ කියල. ඉවසන්න එපා. පාලකයින්ට තවදුරටත් මෙසේ හැසිරෙන්න ඉඩ දෙන්න එපා. අපි ඔබ වෙනුවෙන් කරන සමානාත්මතාවය මූලික කරගෙන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ව්‍යාපාරයක් හැටියට, වාමාංශික ව්‍යාපාරයක් හැටියට ඔබෙන් ඉල්ලා සිටිනවා අපි අතර වෙනසක් තිබිය යුතු නෑ කියල. සමානාත්මතාය ඇති සාධාරණ සමාජ ක්‍රමයක් වෙනුවෙන් අරගල කළ යතුයි. ඒ අරගලයට අපත් සමග එක්වෙන ලෙස වතු කම්කරු සහෝදර කාන්තාවන් ඇතුළු ජනතාවට ආරාධනය කර සිටිනවා.”
මෙම අවස්ථාවට අයතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම්, සමාජවාදී කාන්තා සංවිධානයේ සභාපතිනි හා දෙහිවල- ගල්කිස්ස නගර සභාවේ නාගරික මන්ත්‍රීණී සමන්මලී ගුණසිංහ, අයිතින් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපතිනි සරෝජා සාවිත්‍රී පොල්රාජ්, එම සංවිධානයේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායිකා කලෙයි චෙල්වි, කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය සස්තිකා සමරදිවාකර, යන මහත්මීන් ඇතුළු එම සංවිධානයේ සාමාජිකාවන් පිරිසක් සහභාගි වූහ.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -