32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්

වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින්  පිළිබඳ තොරතුරු වසන් කරයි.

  වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම වඩාත් උග්‍රවෙමින් පවතී. මෙම අලි මිනිස් ගැටුම හේතුවෙන් ලංකාවෙන් වාර්තාවන 6000ක තරම්වූ වන අලි ගහනයෙන්   පසුගිය 2014 වර්ෂයේ සිට 2021 මාර්තු දක්වා කාලය  තුළ දී වාර්තා වී ඇති දත්තවලට අනුව පමණක් වන අලි 2087දෙනෙකුට අධික ප්‍රමාණයක් මෙන්ම මිනිස් ජීවිත 550කට ආසන්න ප්‍රමණයක් අහිමි වී තිබේ.  .

  මේ  අතරින් ද ඉහළම අලි හා මිනිස් මරණ වාර්තා වී ඇත්තේ 2019 වර්ෂයේ දී වන අතර එය වන අලි 415 දෙනෙකු හා මිනිස් ජීවිත 115කි . මේ ආකාරයෙන්   වාර්ෂිකව අලි මිනිස් ගැටුමට ගොදුරුව මිය යන අලි ඇතුන් සහ මිනිසුන්ගේ ප්‍රමාණය ඉහළ යමින් පවතින්නේ වනාන්තර හෙළිකිරීම් තුළ වන අලින්ට හිමි වාස භුමි හෙළිකිරීම බවයි පරිසරවේදීන් ද පෙන්වා දෙනු ලබන්නේ.

 විශේෂයෙන්ම   අලි ඇතුන්ගේ වාසස්ථාන, ආහාර සහ ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම මෙන්ම පාරිසරික තුලනය තහවුරු කිරීම වැනි විද්‍යාත්මක ක්‍රමවේදයන්ගෙන් විසඳිය යුතු මෙම අලි මිනිස් ගැටුම විසඳීම කෙරෙහි නිසි අවධානයකින්  තොරව  මෙකී ගැටලුව ශ්‍රී ලංකාවේ විසඳීමට යන්නේ අලි ඇතුන් පරිස්ථාපනය, නිශ්චිත බිම් ප්‍රමාණයකට කොටු කිරීම වැනි අසාර්ථක ක්‍රම මගිනි. හොරොව්පතාන  අලි රැඳවුම් මධ්‍යස්ථානය ඊට කදිම නිදසුනකි.  

    ලංකාවේ වන අලි කළමනාකරණය වෙනුවෙන් මෙන්ම අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමට යැයි පවසමින් ඉදිකෙරුණු මෙම වන අලි රැඳවුම් මධ්‍යස්ථානය හුදෙක් අසාර්ථක එකක් පමණක් නොව එය මේ වනවිට වනඅලින්ගේ සිර ගෙයකටත් එහා ගිය වදකාගාරයක ලක්ෂණ සහිත ස්ථානයක් බවට පත්ව තිබේ.  එසේම එය   වංචනික ක්‍රියා රාශියක් සිදුවන ස්ථානයක් බවට පත්ව තිබීමද බරපතල ගැටලුවකි. මෙම විමර්ශනය මගින් අවධානය යොමු කෙරෙනුයේ ඒ සම්බන්ධයෙනි.

  පසුගිය 2019 වර්ෂය වනවිට පැවති රජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම වනජීවී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අවස්ථා කිපයක දී මෙම වන අලි රැඳවුම් මධ්‍යස්ථානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම අලි රැඳවුම්  මධ්‍යස්ථානය වන අලි අල්ලා පුනුරුත්ථාපනය සිදුකරන ස්ථානයක් ලෙසයි.  “වන අලි අල්ලා පුනරුත්ථාපනය කිරීමට රැඳවුම් මධ්‍යස්ථානය සකස් කරමින් සිටිනවා. හොරොව්පතාන ප්‍රදේශයේ වන අලි රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදි කර තිබෙනවා”.(‘By ITN News Editor සැප්තැම්බර් 4, 2019 15:01 -Link https://www.itnnews.lk/2019/09/04/171041/)

  එමෙන්ම Dec 12, 2019  Live at 8 රුපවාහිනී  පුවත් විකාශයේ දී අදහස් දක්වා ඇති  වනජීවී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ප්‍රකාශ කර ඇත්තේ හුදෙක්  මෙම වන අලි රැදවුම් මධ්‍යස්ථානය දරුණු වන අලින්ගේ සුපෝෂණ මධ්‍යස්ථානයක් බවයි ”. දරුණු අලි ගෙනැල්ල මේකට දාන්නේ දැනටමත් ඒ සතුන්ට අවශ්‍ය වතුර සඳහා වැව් හදල තියෙනවා. ඒ වගේම ආහාර හිඟය කාලෙට ආහාර දෙන්න ලෑස්ති කරලා තියෙනවා. මෙය දේශීය විදේශීය සංචාරකයින්ට නැරඹීමට විවෘත කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ( news link -https://www.youtube.com/watch?v=CuO9uhsmU_I)

මේ ආකාරයෙන් බලධාරීන් පවසා සිටිය ද එය හුදු වචනවලට පමණක් සීමාවෙමින් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ වන අලි සුපෝෂණය කරනවා වෙනුවට මෙහි සිටින  වන අලින් වෙනුවෙන් වෙන් කළ මුදලින් සුපෝෂණය වූ නිලධාරීන් හා කොන්ත්‍රාත්කරුවන් පිළිබඳව මේ වනවිට කරුණු අනාවරණය වී තිබේ.

  හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අසාර්ථක බව මෙන්ම  එහි සිදුව ඇති මහා පරිමාණ වංචාවන් රැසක් ගැන 2020 ඔක්තෝම්බර් මස නිකුත් කරඇති විගණකාධිපතිවරයාගේ  අයිඊඑන්/එෆ්/ඩීඩබ්ලිව්සී/19/පීආර්/11 අංක දරන   වාර්තාව මගින් පෙන්වාදී තිබේ. එමගින් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ ඉටු කරගැනීමට නොහැකි වී ඇති බවත් වංචනික සිදුවීම් සිදුවී ඇති බවත් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා එම වාර්තාවේ සඳහන් කර තිබේ.

  මීට අමතරව හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය ඉදිකිරීමේදි සිදුව ඇති මහා පරිමාණ අයථා ක්‍රියා රැසක් ද එහිදී අනාවරණය වී තිබේ. ඉන් පළමුවැන්න වනුයේ 2012/3/17 දිනැති අංක 12/0151/549/001 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුව හෙක්ටයාර 997 ක රුපියල් මිලියන 345 ක් වැය කරමින් සිදුකළ මෙම ඉදිකිරීමට පාරිසරික බලපෑම් වාර්තාව ලබාගත යුතුව තිබුණ ද එවැන්නක් ලබාගෙන නොතිබීම යි.

  එම  විගණන වාර්තාවට අනුව අලි රැඳවුම් මධ්‍යස්ථානයට මුල්ම අලියා මුදා හැර ඇත්තේ 2015 සැප්තැම්බර් 04  වැනිදාය.  අවසන් වරට අලියෙකු ඊට මුදා හැර ඇත්තේ 2021  පෙබරවාරි මාසයේ ය . මෙම කාල සීමාව තුළ මුදාහැර ඇති අලි ඇතුන් සංඛ්‍යව 64 ක් බව තොරතුරු දැනගැනීමේ පනතට අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු මගින් අනාවරණය විය.

 ශ්‍රී ලංකාවේ පවතින අලි මිනිස් ගැටුමට විසඳුමක් සෙවීමේ අරමුණින් පසුගිය (2015 වර්ෂයේ)  රජය සමයේ විවෘත කරනු ලැබූ හොරොව්පතාන වන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත වසර 06ක කාලයක දී වන අලින් 64 දෙනෙකු පමණ එහි රැඳවීමට කටයුතු යොදා ඇතත් එම වන අලින්ගෙන් 2021 මාර්තු මස වන විට ඉතිරිව ඇත්තේ වන අලි 20ට අඩු ප්‍රමාණයක් බව ඒ පිළිබදව සිදුකළ සොයාබැලීමක දී අනාවරණය විය.

දැනට එහි  ජීවත්ව සිටින අලි 20 දෙනා මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව ද නම හෙළි කිරීමට අකමැති වනජීවී  නිලධාරියෙකු කියා සිටියේ ය. මෙම මන්ද පෝෂණ තත්ත්වයට  එක් හේතුවක් වන්නේ 2019 සිදුකළ විගණනයෙන් පසුව සිට මේ දක්වා වන අලින්හට බාහිරින් ලබාදෙන සොච්චම් ආහාර වේල ද අහිමි වීමයි.

මේ වනවිට  රැදවුම් මධ්‍යස්ථානය තුළ අලි 44 දෙනෙකු සිටිය යුතු වුවත් මේ වනතෙක් එම අලින් සම්බන්ධයෙන් වනජීවී දෙපාර්ත මේන්තුව තුළ සැලකිය යුතු තොරතුරු නොමැති බව තොරතුරු දැනගැනීමේ පනත මගින් වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු මගින් අනාවරණය විය.එමෙන්ම මේ සම්බන්ධයෙන් සිදුකර තිබෙන විගණන වාර්තාවෙන්ද ඒ බව තහවුරු කර තිබේ.

  මේ අයුරින් අතුරුදහන්වී ඇති අලින්ගෙන්  12ක් මියගොස් ඇති අතර ඉන් අලි 05ක් මියගොස් ඇත්තේ ආහාර හිඟය නිසා ඇතිවූ මන්දපෝෂණ තත්ත්වය නිසා බව විගණන වාර්තාවේ සඳහන්ය.විගණන වාර්තාවේ එසේ සදහන් වුවත්   මේ සම්බන්ධයෙන් අපකළ  වැඩිදුර ගවේෂණයේ දී අනාවරණය වූයේ වන අලි 15 දෙනෙකු  පමන හොරොව්පතාන වන අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළදී මියගොස් ඇති බවයි.

  එසේ මියගිය අලි අතරින්  වන අලින් 06දෙනෙකුගේ  අස්ථි කොටස්  2017 දෙසැම්බර් මාසයේ දී හොරොව්පතාන වන අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ අභ්‍යන්තර මාර්ගයක් තනමින් යන අවස්ථාවක දී හමුවී තිබේ.ඉන් අනතුරුව ද තවත් ස්ථාන කිහිපයකදී ඒ ආකාරයෙන්ම වන අලි දෙදෙනෙකුගේ අස්ථි කොටස් හමුවී තිබේ. එමෙන්ම මියගොස් දින දෙක තුනකට පමණ පසුව හමුවූ වන අලි සිරුරු 07ක් පමණද වේ. ඉන් ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ 2021/පෙබරවාරි 04 දින යි.

අලි අතුරුදහන් වූ හැටි

  මේ ආකාරයෙන් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ වන අලි අතුරුදහන් වී ඇති බවට වනජීවී දෙපාර්තමේන්තුව කියා සිටියත් එහි සැබවින්ම සිදුව ඇත්තේ වන අලි මියයාම මෙන්ම  එම  අලි ගාලේ විදුලි වැට බිඳ වන අලින් පලා යාම යි.

” මේකේ ඉන්න අලින්ට කන්න නෑ ඒ නිසා උන් කොහොම හරි අලිවැට කඩාගෙන යනවා. එහෙම අලි කීපදෙනකු යනවා අපි දැකල තියෙනවා. බොහෝ වෙලාවට ඒකෙන් පැනල යන අලි ගම්  වදිනවා. ඒකෙන් අපේ ජීවිතත් අනතුරේ. වගාවනුත් හානි කරනවා. එහෙම ගම් වැදුණු අලින්ට මිනිස්සු වෙඩි තියලත් තියෙනවා ” යැයි හොරෝවූපතානේ පදිංචි බි .කේ සිරිවර්ධන මහතා කියා සිටියේ ය.

Photo 4

(ගම්මුන්ගේ වෙඩිපහරින් මියගිය හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි නියපොත්තා නමැති වන අලියා)

 කෙසේ නමුත් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි වන අලි කොපමණ සංඛ්‍යාවක් මියගොස් ඇත්දැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තොරතුරු දැනගැනීමේ පනත මගින් විමසා සිටි අවස්ථාවේ 2021 ජනවාරි 13වන දින  ඒ සඳහා පිළිතුරු දෙමින් සඳහන් කර ඇත්තේ මේ ආකාරයෙන් මියගිය අලි සම්බන්ධයෙන් සමීක්ෂණයක්  සිදුකර නොමැති බවයි.

   වන අලින්ගේ මියයාම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව තොරතුරු දීම මග හරිනු ලැබුවත් ඒ සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමේදී අනාවරණය වූයේ හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථනයේ වනජීවී නිලධාරීන් හා එක්ව එම කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් වන අලි මරණ පරීක්ෂණ කීපයක්ද සිදුකර තිබෙන බවයි.

මෙවන් පසුබිමක හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ දී මියගිය  වන අලි සම්බන්ධයෙන්  සිදුකළ සොයා  බැලීමක දී  එහිදී මියගිය වන අලි කීපදෙනෙකුගේ ඡායාරූප  කිහිපයක් සොයාගැනීමට හැකි විය. ආසන්න වශයෙන්  හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ දී මියගොස් සිටි  වන  අලියෙකු   2021/පෙබරවාරි 04 දින හමුවී තිබේ. එම  ඡායාරූපය ඔස්සේ  Google Earth හරහා සිදුකළ සොයා බැලීමකදී පැහැදිලිව අනාවරණය වූයේ එම වන අලියා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ඔලගම්පිටිය  යන ස්ථානයේ මියගොස් ඇති බවයි.එමෙන්ම  එසේ මියගිය අලියාගේ දේහ ලක්ෂණ පරික්ෂා කිරීමේදී  යම් ආකාරයකින් එම අලියා 2018 නොවැම්බර් මස 25 වනදා මහියංගනය මාපාකඩ ප්‍රදේශයෙන් ඇල්ලු වන අලියාට සමානකම් විදහා දක්වයි

    මේ සම්බන්ධයෙන්  වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතාගෙන් සිදුකළ විමසිමකදී ඔහු කියා සිටියේ හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී වන අලි මියගොස් තිබෙන නමුත් ඒ සම්බන්ධයෙන් කරුණු ප්‍රකාශ කිරීම සඳහා තමන්හට අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අවසර ගත යුතු බවයි.

  එමෙන්ම ලෝක සත්ව සහ මින්මැදුරු සංවිධානය නිකුත් කර ඇති සත්ව සුභසාධන ආචාර ධර්ම මාලාවේ 10 වෙනි ඡේදයට ප්‍රකාරව සත්වෝද්‍යානයක සිටින සතෙකු කැලයට මුදා හරින්නේනම් එම සතා  කැළයට හුරු කිරීම පියවරෙන් පියවර කළ යුතුය. නමුත් එම අචාර ධර්මද   උල්ලංඝනය කරමින් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ ඇති පින්නවල සිටි අලින් දෙදෙනෙකු අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත මුදා හැර තිබේ. (මෙලෙස මුදාහළ ජයතු නම් අලියා ආහාර හිඟයෙන් මියගොස් ඇති අතර අනෙක් අලියා පලාගියේ ද මිය ගියේ ද යන්න පිළිබඳ වාර්තා නැත.)

 අලි රැඳවුම් මධ්‍යස්ථනය සඳහා හොරොව්පතාන වනෝද්‍යානයේ මුළු බිම් ප්‍රමාණයෙන් 58% ක් යොදා ගැනීම නිසා සෙසු සතුන්ගේ වාසභූමි සහ ආහාර අවශ්‍යතා අහිමිව යෑම ද බරපතළ තත්ත්වයක් ද මතුවී තිබේ . අලි රැඳවුම් මධ්‍යස්ථානය වටා විදුලි වැට ඉදිකිරීමට පෙර එම සීමාවේ කොටුවන සතුන් ඉවත් කිරීම දෙපාර්තමේන්තුවේ වගකීමකි. එහෙත් මී ගවයෙකු සහ කෙනරක් දිගු කලක් රැඳවුම් මධ්‍යස්ථාන බිමේ කොටු වී සිටීම නිලධාරීන්ගේ අපරීක්ෂාකාරී බවට සාක්ෂියකි. තණ බිම් ප්‍රමාණවත් නොවීම සහ සියලු තණ බිම් වියළී පැවතීම හාමතේ අලි මියයෑමට හේතුවක් බව නම හෙළි කිරීමට අකමැති වනජීවී නිලධාරියෙකු කියා සිටියේය.එය විගණන වර්ථාවේද සදහන් වූ කාරණාවකි. ඒ සම්බන්ධයෙන් අප ස්ථානිය ඡායාරුප ඔස්සේ සිදු කළ විමර්ශනයේදීද එය තහවුරු විය.

  ලීටර් 2000ක ධාරිතාවෙන් යුත් පොකුණු කිහිපයක් ඉදිකර තිබුණ ද ඒවායේ ජලය නොවීම සහ ජලය සැපයීමට රැඳවුම් මධ්‍යස්ථානය සතුව බවුසර් නොමැතිවීම වැනි අඩුපාඩු ගණනාවක් අලි රැදවුම් මධ්‍යස්ථානය නිරීක්ෂණයට ගිය විගණන නිලධාරීන් නිරීක්ෂණය කළ බව විගණන වාර්තාවේ  සඳහන් වෙයි.

  මෙම ආහාර හා ජල හිඟය මෙන්ම වෙනත් ප්‍රචණ්ඩ වන අලින්ගේ පහර කෑමට ලක්වී  මිට පෙර අවස්ථා කීපයකදීම  මෙහිදී මියගිය වන අලින් කිපදෙනේකුගේම දිරායමින් තිබූ අස්ථි කොටස් සහිත සිරුරු හමුවී ඇතත් වනජීවී දෙපාර්තමේන්තුවේ වගකිවයුතු නිලධාරීන් එය වසන්කිරීමට තැත්කරන්නේ කුමන කාරණයක් නිසාද? යන්න බරපතල ගැටලුවකි.

  එමෙන්ම බලධාරීන් කෙසේ කියනු ලැබුවත් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇත්තේ කුඩා වැව් 04ක් බවත් එහිද ප්‍රමාණවත් ජලය රැඳී නොමැතිබවත් Google Earth හරහා සිදුකළ සොයා බැලීමේදී අනාවරණය කරගත හැකිවූ අතර එහි නිලධාරියෙකුද එය සනාථ කළේය. 

Photo 9

අලින්ගේ හිරගෙය

  සාමාන්‍යයෙන් වැඩුණු අලියෙකු දිනකට කිලෝමීටර 20ත් 25 ත් අතර ප්‍රමාණයක් ගමන්කරනු ඇත. එමෙන්ම වනගත මද කිපුණු අලියෙකු සාමාන්‍යයෙන් කිලෝමීටර් 60ක් පමණ දිනකට ගමන්කරන බවයි පරිසරවේදීන් පෙන්වාදෙන්නේ. නමුත් හොරොව්පතාන වන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සමස්ත විශාලත්වය වන්නේ හෙක්ටෙයාර් 998 (අක්කර 2466) ක තරම් කුඩා භූමි ප්‍රමාණයකි. මෙහි වන අලි කොටුකිරීම තුළ එම සතුන්ගේ ස්වභාවික හැසිරීම් රටාව නිදහසේ ජීවත්වීමේ අවකාශය සම්පුර්ණයෙන්ම අහුරා තිබේ.

    එමෙන්ම කිලෝග්‍රෑම් 200ක් 300ක් පමණ ආහාර  වන අලියෙකු හට දෛනිකව ලබාගත යුතු බව වන අලින් සම්බන්ධයෙන් පර්යේෂකයෙකු  වන ආචාර්ය පෘතු විරාජ් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.  කෙසේ නමුත් මෙය ද්විතික ලක්ෂණවලින් යුත් වනාන්තර කොටසක් බැවින් එහි ඇති ආහාර ප්‍රමාණය මෙම රැඳවුම් මධ්‍යස්ථානය තුළ  ඇති ශාක මගින් ලබාගැනීමට නොහැකි ය. එවන් පසුබිමක පිටතින් ආහාර සැපයීම සිදු කිරීම අනිවාර්ය වේ. නමුත් මේ වන විට එය නතර කර තිබීම හේතුවෙන්   මෙහි සිටින වන අලින් ආහාර හිඟයකින් ජීවත්වන බව තහවුරු වී තිබේ. ඒ තුළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙය හිරගෙයකට එහා ගිය වදකාගාරයක් බවට පත්වී තිබේ.

  ඉහත ඡායාරූපයේ දැක්වෙන ඇතා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති ආහාර හිගයට කදිම නිදසුනකි 2018 ජුලි 02 දින පුත්තලම සිමෙන්ති ගම ප්‍රදේශයෙන් අල්ලාගන්නා විටදී වයස වුරුදු 30 ක් මෙන්ම උස (8′ 6”) අඩි අටකුත් අගල්  6ක් විය. 2018 ජුලි 03 දින මෙම ඇතා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානට ගෙනවිත් දමා ඇති අතර   ඒ අනුව මෙම ඇතා 2021 වර්ෂය වනවිට වයස අවුරුදු 33ක පෘෂ්ටිමත් ඇතෙකු වියයුතුය. නමුත් අවාසනාවකට සිදුව ඇතිදේ ඡායාරූප සාක්ෂි දරයි.   හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලින්ට ප්‍රමාණවත් තරම් ආහාර පාන ලැබේ නම් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ කෙසේද ?

තරාදියක්වත් නොමැතිව කෝටි දෙකහමාරක කෑම කිරලා!

  2018 නොවැම්බර් 01 සිට 2019 ඔක්තෝබර් 31 දින දක්වා කාලපරිච්ඡේදයේ හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලි තිස් දෙනෙකු සඳහා ආහාර සැපයීමට රුපියල් 26,133,700ක කොන්ත්‍රාත්තුවක් පිරිනමා ඇත.එහිදී සපයනු ලබන ආහාරවල ගුණාත්මකභාවය හෝ අලි ඇතුන් ඒවා ආහාරයට ගන්නට රුචිවේද යන්න සලකා බලා නැත. ඒ පිළිබඳව ප්‍රමාණවත් අධීක්ෂණයක් ද සිදුකර නැති බව ද අදාළ විගණන වාර්තාවෙන් හෙළි වෙයි.

 එමෙන්ම ආදාළ කොන්ත්‍රාත්තුව සූරියවැව ප්‍රදේශයේ නිස්සංක නැමති අයෙකු විසින් ලබාගෙන ඇති බව මේ සම්බන්ධයෙන් අපකළ වැඩිදුර විමර්ශනයේදී සොයාගැනීමට හැකිවිය. එමෙන්ම අදාළ කොන්ත්‍රාත්කරුට එම කොන්ත්‍රාත්තුව ලබාගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගේද  සහයෝගය ලබා දී ඇතිබවත් කොන්ත්‍රාත්කරු අදාළ වෛද්‍යවරයාගේ සමීප හිතවතෙකු බවත් ලැබුණු අභ්‍යන්තර තොරතුරු ඔස්සේ අනාවරණය විය.

  ”ඔය කෑම දෙන එකට මමත් සම්බන්ධ වුණා. නිස්සංක කළේ අලින්ට දෙන කෑම ටික අඩුවෙන් කිරලා  ඇතුළට අරන් ගිහින් ඒ ටිකම ආයෙත් එලියට ගෙනැල්ලා අලුත් එකක් වගේ ආපුහු ඇතුළට ගෙනියන එක.ඒකට වනජීවී දෙපාර්තඑමේන්තුවේ අදාළ අංශය භාර  නිලධාරියෙකුත් සහයෝගය දුන්නා” නම හෙළි කිරීමට අකමැති මේ සඳහා සම්බන්ධ වූ අයෙකු කියා සිටියේ ය.

   අලි ඇතුන් ආහාරයට නොගන්නා සියඹලා කොළ සැපයීමත්, සපයන ලද කොස් කොළ ආහාරයට නොගෙන ඉතිරි වීමත් ආහාර සැපයීමේ ක්‍රියාවලියේ අඩුපාඩු තිබූ බවට නිදසුන් ලෙස දැක්විය හැකිය. වඩාත්ම පුදුමය වනුයේ සපයන ලද ආහාරවල බර කිරීම සඳහා තරාදියක්වත් එහි නොතිබීම ය. ගෙවීම් සියල්ල කර ඇත්තේ බර නිවැරදි දැයි තහවුරු කරගැනීමකින් තොරව ය. පුද්ගලික සහල් මෝලක සවිකර ඇති තරාදියක් භාවිත කර ඇති අතර බර කිරීම සිදුකළ බව වාර්තා වුවද එය අධීක්ෂණය සඳහා නිලධාරියෙකු යොදවා නොතිබූ බව විගණන වාර්තාවේ වූ සදහන ඉහත නම හෙළි කිරීමට අකැමති මුලාශ්‍රය මගින්ද එය තහවරු කරන ලදී.

2019 ජුනි මස වන විට මධ්‍යස්ථානයේ සිටින අලින් සංඛ්‍යාව 9ක් බව වාර්තා වුව ද 2019 අගෝස්තු 01 දින සිට ඔක්තෝබර් 31 දින දක්වා අලි තිස් දෙනෙකු සඳහා ආහාර පිටින් සපයා තිබේ.

 ඒ වෙනුවෙන් රුපියල් 6,559,245 ක මුදලක් වියදම් කර ඇති බව ද විගණන වර්තාවේ සඳහන් වේ. මෙතරම් ප්‍රමාණයක් ආහාර සැපයුව ද මධ්‍යස්ථානයේ සිටි අලි පස් දෙනෙකුම මියගොස් ඇත්තේ ආහාර නොමැතිවීම සහ මන්දපෝෂණය හේතුවෙන් බවයි ඒම විගණනයන් වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ.

  කෙසේ නමුත්  වන අලින්ට ආහාර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබාගත් නිස්සංක මහතාගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කර සිටියේ මෙවන් අදහසක්. ” මම අලින්ට ආහාර ලෙස ලබාදුන්නේ කොස්කොල ,නුගවැනි දේවල්. නමුත් ඒ වනවිට ඒ අලින් කන්න පුරුදුවෙලා තිබුනේ බඩ ඉරිගු කෙසෙල් වැනි දේවල්. ඒ නිසා තමයි උන් කෑම ගත්තේ නැතුව ඇත්තේ. ඒ වගේම අපි ටෙන්ඩරය ගත්තේ කෑම ටික රැඳවුම් මධ්‍යස්ථානයේ ඔෆිස් එක ලඟට ගිහින් දෙන්න විතරයි එතනට ගියාම ඒකේ නිලධාරීන් අපේ අයට අලි වෙඩිල්ලක් දෙකක් දීලා යන්න කියනවා. කවුරුවත් ආවේ නෑ .ඒ නිසා අමතරව කිලෝමීටර් 15ක් විතර අලින්ට කෑම දෙන්න ඒක වටේ යන්න සිද්ධ වුණා. ”

  ” අපිට එක ලෝඩ් එක දෙපාරක් යන්න බෑ. මොකද අපි ළඟ තියනවා ඒ අය භාරගෙන අත්සන් කරපු ලේඛන, ඕකේ ඉන්න කිසිම කෙනෙක් එක්ක මගේ පුද්ගලික සම්බන්ධතාවයක් නෑ. රාජකාරී වශයෙන් විතරයි හඳුනන්නේ” යනුවෙන්ද ඔහු කියා සිටියේ ය.

    අඩවි ආරක්ෂක නිලධාරියෙකු ඇතුළු තවත් නිලධාරීන් සේවකයින් 20 කට අධික ප්‍රමාණයක් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සේවය වෙනුවෙන් රාජකාරියේ යොදවා තිබේ. එමෙන්ම  ඔවුන්හට එම සේවාවන් කිරීමට පහසුකම් ලෙස  ට්‍රැක්ටරයක් ද සමග වාහන තුනකුත් ලබාදී තිබියදී අලින්ට ආහාර සැපයු  නිස්සංක නමැති අය චොදනා කරන ආකාරයට  අලි රැදවුම් මධ්‍යස්ථානය සදහා  ආහාර සැපයු පිරිස සම්බන්ධයෙන් මෙන්ම එම ආහාර  ඔවුන් නිසි පරිදි සතුන්ට ලබා දුන්නේදැයි සොයා බැලීමක් සිදු නොකිරීමද බරපතල ගැටලුවකි.

  එසේ නම් අලි කෑමෙන් ගසා කෑමක් කර ඇත්තේ කවුරුන්දැයි සොයා බැලිය යුතුව තිබේ. මේ පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ, පවතින ආහාර හිඟය සම්බන්ධයෙන් පළවන මත තුළ සත්‍යතාවයක් නෑ. ඒ සම්බන්ධයෙන් විගණනයෙන් ප්‍රකාශ කර තිබුණත් එය අවබෝධයකින් තොරව සිදුකළ දෙයක්බවයි.

 අධ්‍යක්ෂක ජනරාල් වරයා එසේ කියා සිටියත් මෙම විගණනය සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් විධාන ප්‍රකාරව හා 2018 අංක 19 ජාතික විගණන පනතේ 3(1)(ඈ ),5(2),12(ඌ) වගන්ති අනුව බව එම විගණනය තුළම සදහන් කර තිබේ. ඒ ආකාරයෙන් සිදුකරනු ලබන විගණනයක් පිළිගත නොහැකි තත්වයක් පවතීනම් එයද බරපතල ගැටලුවකි .

වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර

මේකෙදි අලි  මැරෙනවා  කියන එක ස්වභාවික දෙයක්. මොකද මේකට ගේන්නේ දරුණු අනතුරුවලට ලක්වූ අලි. එහෙම වෙලාවට එහෙම  සතෙක් මැරෙන්න පුළුවන්.  නමුත් ඒ සතා වෙඩිකාලා මැරෙන්න කලින් තමයි අපි ඇතුළට ගෙනැල්ල දාන්නේ. අනෙක් කාරණය තමයි  අපි මේ සතුන්ගේ ශරීර සෞඛ්‍යය ගැන හොයල බැලුව එකේ ප්‍රශ්නයක් නෑ. ඒ තුළින් කියන්නේ ආහාර තියෙනවා කියල. දැන් ආහාර දීම නවත්වල තියෙන්නෙත් ඒකේ ඇතුළෙ ඇතිතරම් ආහාර තියෙන නිසා. ඒ වගේම සතුන්ට පැනයාමට නොහැකි ආකාරයෙන් නිලධාරීන් සොයා බැලීමක් කරනවා

 එමෙන්ම මේ වනවිට හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ කොපමණ අලින් ප්‍රමාණයක්  සිටිනවාද යන්න විමසු විට අධ්‍යක්ෂවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සෙවීමට සංගණනයක් සිදුකර නොමැති බවයි. එමෙන්ම මෙහි කිසිදු මුදල් අක්‍රමිකතාවයක් සිදුවී නොමැතිබවත්, තිබෙන්නේ මිනුම්දෝෂ බව ද හෙතෙම කියා සිටියේ ය

අලින්ට ප්‍රමාණවත් ආහාර ඇති බවට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා  කියා සිටියත් 2018 ජුලි 02 දින පුත්තලම සිමෙන්ති ගම ප්‍රදේශයෙන් අල්ලාගත් ඇතාගේ දේහ ලක්ෂණ මගින් ඒ අයුරින් අලින්හට ආහාර තිබෙන බවක් නිරීක්ෂණය නොවේ.

 සතුන්ට පැනයාමට නොහැකි ආකාරයෙන් නිලධාරීන් සොයා බැලීමක් කරනවා යනුවෙන් වන ජීවී අධ්‍යක්ෂ ජනරාල් වරයා කියා සිටියත් දැඩි කුසගින්නේ සිටින ශක්තිමත් වන අලින් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලි වැට බිද පලාගිය අවස්ථා එමටය. ඊට කදිම නිදසුනක් ලෙස ගල්ගමුවේ ඒක දන්තයා  විසින් අලි වැට බිද අවස්ථා කීපයදී හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයෙන් පළායාම පෙන්වා දිය හැකිය.

 අලි හිරකරලා ප්‍රශ්නේ විසඳන්න බෑ

 ප්‍රචණ්ඩ අලි යනු සක්‍රිය පිරිමි සතුන් වේ. එවැනි සතුන් මෙලෙස කොටු කිරීම නිසා ගැහැණු සතුන් හා ලිංගිකව එක්විමේ අවස්ථා උන්ට අහිමිවෙයි. මෙය අලි ගහනය කෙරෙහි ඍජුවම බලපාන අතර ශක්තිමත් අලින්ගේ ජාන පරම්පරාවක් අහිමි වීමට ද හේතුවෙන බව ශ්‍රී ලංකාවේ මෙන්ම ව්දෙස් රටවල් ගණනාවකම  වන අලින් සම්බන්ධයෙන් පර්යේෂකයෙකු වන  ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු මහතා කියා සිටි.

”අලි අල්ලලා හොරොව්පතානේ හිර කළා කියල මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. එහෙම විසඳන්න පුලුවන් නම් අවුරුද්දකට අලි 300ක් 400ක් මැරෙන්නේ නෑ. මේ අකාරයෙන් දරුණු  වෙන්නේ මිනිසුන්ගෙන් බැට කාපු අලි, උන් කරන්නේ ඒ සඳහා ප්‍රතිචාර දැක්වීම අපි මුලින්ම කරන්න ඕන. ඒ අලින් හරියටම හදුනා ගැනීම නමුත් ඒකට වැඩ පිළිවෙලක් නෑ.”

  ”ඒ වගේම ප්‍රචණ්ඩ යැයි කියන අලි තමයි මෙහෙම අල්ලලා ගෙනියන්නේ. එහෙනම් මේක හිරගෙදරකට වැරදි කරපු අය  දානවා වගේ දෙයක්. නමුත් හිර ගෙදරින් සිරකරුවෙක් පැනල ගියාම හෝ මිනිහෙක් මැරුණම ඒක බාරව සිටි අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා. නමුත් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි අලි මැරුණම ,අතුරුදහන්  වුනාම ඒකට කවුරුවත් වගකීමක් ගන්නේ නෑ. ඒක බරපතල ගැටලුවක් .අඩුම ගානේ කරපටියක්වත් දාලා මේ අලින්ගේ සංචාරක ක්‍රියාවලිය ගැන හොයන්න තිබුනා. එහෙම කළා නම් මේ අලින්ට වුණේ මොකද කියලවත් හරියට දැනගන්න තිබුණා. මේ නැතිවෙලා තියන්නේ තවත් වසර 20ක් 30ක් ජීවත්වෙන්න ඕන සතුන්, ” බවයි ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු අවධාරණය කරන්නේ.

  ඉහත කාරණා සියල්ල සම්බන්ධයෙන් සලකා  බැලීමේදී තහවුරු වන කාරණා අතර හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට භූමියේ ප්‍රමාණයට වඩා  වන අලි දැමීම, එම සතුන්හට ප්‍රමාණවත් ආහාර නොමැතිකම නිසා දැඩි මන්දපෝෂණ තත්වයෙන් පෙළීම මෙන්ම ඒ සම්බන්ධයෙන් බලධාරීන් ගේ නිලධාරීන්ගේ නිසි අවධානයට,සැලකිල්ලට  ලක්නොවීම නිසා මේ වනවිට අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින වනඅලින් දැඩි අවදානමක සිටින බව පෙනී යයි.    එවන්  පසු බිමක උඩවලව වනෝද්‍යානයේ සිටින රම්බෝ වැනි හස්තින්ද හොරෝවූපතානේ සිරකිරීම තුළින් එම අහිංසක සතාටද අත්වියහැකි ඉරණම ගැන අමතුවෙන් කිවයුතු නොවේ. එමෙන්ම සිදුකළ විගණනය විදිමත් නොවේනම් කළයුත්තේ විදිමත් විගනයක් සිදුකර මේ සදහා නිසි විසදුමක් ලබාදීමයි,එසේ නොකරමින් නැවතත් මෙහි ගැටලුවක් තිබෙනබව ඕනෑවටත් වඩා පෙනී යද්දී තවත් වන අලින් මෙහි ගෙනවිත් දැමීමෙන් සිදුවන්නේ එම සතුන්ගේ ජීවිතද අනතුරේ දැමීම නොවේ ද ?එම නිසා සතෙකු ලෙසට වඩා සම්පතක් ලෙස සලකමින් මේ වන අලි සුරැකීමට පීයවර ගැනීම වගකිවයුත්තන්ගේ යුතුකමක් මෙන්ම වගකීමකි.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -