32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

තෙකලා විදුලිය,නළ ජලයට මුදල් ගෙවා කුප්පි ලාම්පුවෙන් එළිය බැලීම.

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

පළාත් පාලන ආයතන සහ ඉඩම් වෙන්දේසිකරුවන්ගේ කූට ජාවාරම් පිළිබඳ විමසුමක්!

චාන්දනී දිසානායක 

            “තෙකලා විදුලිය, නළ ජලය  සමග සියලු පහසුකම් , විනාඩි දෙකෙන් අහවල් නගරයට .ජනප්‍රිය පාසල්, පුළුල් මංමාවත් .. “

         “අනේ දැන්වීම් පුවරුවලයි පෝස්ටර්වලයි එහෙම තිබුණා . අපි ඉඩම් ගත්තේ ඒ හින්දා. ඒත් අද අපි කුප්පි ලාම්පුවෙන් එළිය බලනවා . ඔන්ලයින් තියා රෑට

ලයිට් එකක්වත් නැති හින්දා  අපේ දරුවෝ ඉන්නේ අපේ අම්මලා ළඟ. “

       වසර ගණනක් විදුලිය නැතිව පීඩා විඳින මවකගේ  එම අඳෝනාව තව බොහෝ දීර්ඝය.

              ඉඩම් කැබලි කොට විකුණන වෙන්දේසිකරුවෝ  පාරිභෝගිකයන් නතු කර ගත හැකි ආකාරයට විවිධ ප්‍රචාරණ ක්‍රම දියත් කරමින්, උපක්‍රමශීලීව ඉඩම් අලෙවිකරණයේ යෙදී සිටිති.   පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා පදනම් කරගෙන අලංකාර අත්පත්‍රිකා, බැනර් පෝස්ටර්, මගින්  විකුණුම්  ප්‍රචාරණය කළ වෙන්දේසිකරුවන් අද වන විට සමාජ මාධ්‍ය ද භාවිතා කරමින්  වඩාත් උපක්‍රමශීලීව සහ ආකර්ශනීය අයුරින් සිය ප්‍රචාරණ කටයුතු වර්ධනය කරගෙන තිබේ.

                 ලංකාවේ සුප්‍රසිද්ධ දේපළ වෙළඳාම් කරන්නන්ගෙන් ඉඩම්  මිලදීගෙන පදිංචි  වෙන ජනතාව ගැටලු ගණනාවකට මුහුණ පාන්නේ , ප්‍රචාරණයන් කළ තෙකලා විදුලිය, ජලය ආදී මූලික පහසුකම් ලබා ගැනීමට නොහැකි වන අවස්ථාවන්හිදීය  . ඉන් ප්‍රධානතම ගැටලුව විදුලියයි . ඊට අමතරව නළ  ජලය පිළිබඳව,  වෙන්දේසි කිරීමේ  ඇති නිර්දේශවලට අනුව මාර්ග   වල නියමිත පළල නොමැතිකම , පොදු ඉඩම් වෙන් නොකිරීම ,  වැනි ගැටලුවලටද පාරිභෝගිකයෝ මුහුණ පාති .  

              පදිංචියට  ඉඩමක් තෝරා ගැනීමේදී විදුලිය,  ජලය , පිළිබඳව මූලිකව ඕනෑම ගැනුම්කරුවෙක් සැලකිළිමත් වුවත් ,ඉතාමත් සූක්ෂම ආකාරයට විදුලිය ලබා නොදී ඉඩම් විකිණීමට තරම් ලංකාවේ බොහෝ ප්‍රදේශවල  වෙන්දේසිකරණයේ යෙදෙන ඇතැම්  කූඨ ව්‍යාපාරිකයින් දක්ෂය.

 ඉඩම් අලෙවියට අදාළව පිළිපැදිය යුතු කොන්දේසි,නීති-රීති සමුදායක් පවතිද්දී ඇතැමෙකුට ඒ කිසිවක් අදාළ නොවන තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ කෙසේද?මෙම ඉඩම් අලෙවියට අදාළව නිර්දේශ ලබාදෙන පළාත් පාලන ආයතන තමන්ට පැවැරී ඇති වගකීම ඉටුකිරීමට නොහැකිවීම ගැන පවසන්නේ කුමක්ද?මෙම විමර්ශණය ඒ වෙනුවෙනි.

               ඉඩම් කැබලි කොට වෙන්දේසි කිරීමේ දී  විවිධ ආයතන  ගණනාවකින් නිර්දේශ ලබා ගත යුතුය . එම ආයතන අතර අදාළ පළාත් පාලන ආයතනද ප්‍රමුඛය. පොතේ හැටියට එසේ වියයුතු වුවත් ඇතැම් පළාත් පාලන ආයතන අත්‍යාවශ්‍ය ලියකියැවිලි සහ නිර්දේශ රහිතව  වෙන්දේසිකරුවන්ට  රිසිසේ සිය ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට ඉඩප්‍රස්ථා සලසා දීමටද කැමැතිය. ඒ විවිධ ආශ්චර්යමත් කාරණාවල ප්‍රතිථලයක් වශයෙනි. විදුලිය සම්බන්ධ අත්‍යාවශ්‍ය ලිපි ලේඛන පිළිබඳ කඩුල්ල පැනගැනීම ඉඩම් ව්‍යාපාරිකයෙකුගේ ඉලක්ක අතර ප්‍රමුඛතම ඉලක්කයකි.එය ඉඩම් වෙන්දේසිකරණයේදී වැඩිම වැය බරක් සහිත අසීරුම ඉලක්කයක් ජයගැනීමකි. එසේම, එය ඉඩම් ලාභීන්ටද වැඩිම බලපෑමක්  සහ අසීරුතාවක් ඇති කරවන කඩුල්ලකි.

         පී සමරසේකර  මහතා 2016 වසරේ දී වැල්ලව ප්‍රදේශයෙන් ඔනෙල්ටා  නැමැති දේපල  අංශයෙන්  ඉඩමක් මිලදී ගෙන සිදුවූ අපහසුතා පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග වලට එළඹි අයෙකි.

 සම්පූර්ණ මුදලම ගෙවා ඉඩම් මිලදී ගත්තත්, පොරොන්දු ප්‍රකාරව ඉඩමට හිමිවියයුතු විදුලි බලය ඔහුට හිමිවී තිබුණේ නැත.

අන්තිමේදී ලයිට් ඇතුළු පහසුකම් නැතිව අධිකරණය හරහා සාධාරනයක් ලබාගත් බව ඔහු කීවේය . වසර දෙකහමාරක කාලයක් ජීවත් වූ කුලී නිවසේ ගාස්තු ගෙවීමට අධිකරණයෙන් තීන්දුව ඔහුට ලැබී ඇත .

      2013 වසරේ සිට කුප්පි ලාම්පුවෙන්  එළිය බලන වැරැල්ලවත්ත වෙන්දේසි ඉඩමේ පදිංචි කරුවෝ විදුලිය නැතිකමින්  පීඩාවට පත්ව ඉදිකරමින් තිබූ නිවෙස් ඇතැම් අය  අතහැර දමා ඇති බව, එම ගමෙහි වසර අටක් පදිංචිව සිටින අනෝමා  සමන් කුමාරි මහත්මිය  දරුවන් සමඟ ජීවත් වීමට නොහැකිව විඳින වේදනාව ගැන මෙලෙස අදහස් පළ කළා ය .

අනෝමා  සමන් කුමාරි මහත්මිය

” අපේ දරුවෝ ඉගෙන ගන්නවා එයාලට online ඉගෙන ගන්න තියා ලයිට් එළියෙන් පාඩම් කරන්නවත් නෑ. දරුවො ඉන්නෙ අම්මලත් එක්ක . අපි කුප්පි ලාම්පු පත්තු කරගෙන මේ ගෙවල් වල දුක් විඳිනවා. මෙයාලා ප්‍රසිද්ධ කළේ ලයිට් දෙනවා කියලා . ප්‍රසිද්ධ කරපු අත්පත්‍රකා  අපි ළඟ තියෙනවා. ඒත් දැන් මේ අයගේ ෆෝන් නම්බර්ස් වැඩ කරන්නෑ .” 

                2013 දී  wayamba property  developers නමැති  ආයතනය ඉඩම් කැබලි තිස් අටක් විකුණා ඇත්තේ අදාල ඉඩමට විදුලිබල මණ්ඩලයේ සැළසුම් කළ මුදල් නො ගෙවා ය . එසේ තිබියදී එම ඉඩමට අදාළ පළාත් පාලන ආයතනය වන  ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව විසින් අනුමැතිය ලබා දුන්නේ කෙසේදැයි ගැටලුවක් පැන නගී.

            ඇතැම්  පළාත් පාලන ආයතන ගැටළු විසඳීමට තැන තැන පැලැස්තර ගැසීමෙන් ජනතාව තවත් අසරණ වන බව පාරිභෝගිකයෙකුගේ ප්‍රකාශයකින් සනාථ වේ.

      වින්රෝස් නමැති දේපළ සමාගමෙන්  ඉඩමක් මිළ දී ගත්   කුරුණෑගල ප්‍රදේශයේ සී. තෙන්නකෝන් මහත්මිය ඇයට සිදුවූ  අසාධාරණය පිළිබඳව  මෙලෙස සඳහන් කළාය .  

             2017 වසරේ වෙන්දේසි කළ ඉඩමකින්  ඉඩමක් අපි මිලදී ගත්තා . 2020 ජූලි මාසෙ පදිංචි වෙන්න පෙර විදුලිය ඉල්ලුම් කළා. ඒත්,   2021 මේ වෙනතුරුත් විදුලිය ලැබුණේ නෑ.  වෙන්දේසි සමාගම  විදුලිබල මණ්ඩලයට ඉල්ලුම් පත්‍ දමා නැති නිසා විදුලිය දෙන්න බැහැ කියලා පළාත් විදුලි ඉංජිනේරු කාර්යාලයෙන් කීවා.  ප්‍රාදේශීය විදුලි අධිකාරී කාර්යාලයේ සහ පළාත් කාර්යාලය තෙවතාවක් මැනුම් කටයුතු  කළා .  විදුලිය නොදීම පිළිබඳ චෝදනා කරමින් මම සමාගමට කතා   කළා. ඊට පසුව ජෙනරේටර් එකක් ගෙනත් දීලා වියදමට මුදලකුත් දුන්නා. එය සැක සහිත නිසා ඒ පිළිබඳව මම  සොයා බැලීමක් කළ . ඇය සදහන්  කළා ය  .

            පළාත් පාලන ආයතන සිය වගකීම ඉටුකරන්නේද?

     ඉඩමක් කොටස් කර අලෙවි කිරීමේදී අනුමැතිය ලබා දෙන ක්‍රමවේදය පිළිබඳව පළාත් පාලන දෙපාර්තමේන්තු කොමසාරිස්ගෙන් සහ පළාත්  පාලන ආයතනවලින් තොරතුරු දැනගැනීමේ පනතට අනුව ලබාගත්  තොරතුරු වලට අනුව ඉඩම් කැබලි කිරීමේ නීතිය සහ ක්‍රමවේදය විමසා බැලුවෙමු .   

 2015.01.20 දිනැති අංක 1898/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ අතුරු ව්‍යවස්ථාවට අනුව කැබලි කිරීමට යෝජිත ඉඩම හෙක්ට්යාර දෙකේ සිට  හෙක්ටයාර් 10 දක්වා ඉඩමක සංවර්ධන සැලැස්මට අනුමැතිය ලබා ගැනීම,  පළාත් මෙහෙයුම් කමිටුවේ ලිඛිත එකඟතාවය මත කළ යුතුය  .

                එම කමිටුවේ  පළාත් විෂයභාර ලේකම්වරයා , පළාත්  පාලන කොමසාරිස් වරයා, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් වරයා, පළාත්  ඉඩම් කොමසාරිස් වරයා ,  පරිසර අධිකාරියේ  අධ්‍යක්ෂවරයා,  පළාත් නිවාස කොමසාරිස් යන අයගෙන් සමන්විත ය . එලෙස අනුමත කරගන්නා වෙන්දේසි  ආයතන  සඳහා මුල් ලියාපදිංචියට ලක්ෂ පහක මුදලක් පළාත් පාලන කොමසාරිස් කාර්යාලයට ගෙවා ලියාපදිංචි විය යුතුය. 

                  පර්චස් අසූවේ සිට හෙක්ටෙයාර  හතර දක්වා ඉඩමක් හෝ ඉඩමකින් කොටසක් කැබැලි කිරීමේදී ඊට අදාළ සංවර්ධන සැලැස්ම අදාළ පළාත් පාලන ආයතනයේ  නිශ්චල හා නිවාස දේපල සංවර්ධන කමිටුවට ඉදිරිපත් කළ යුතුය .

       එහිදී  හෙක්ට්යාර දෙකට වැඩි ප්‍රමාණයක ඉඩමක් කොටස් කිරීමේදී පරිසර හානියක් නොමැති බවට  පරිසර අධිකාරියෙන් ලබා ගන්නා වාර්තාව තිබිය යුතුය. ඒ ආකාරයට  යෝජිත ඉඩම කුඹුරු ඉඩමක් නම් ගොවිජනසේවා කොමසාරිස් වරයාගෙන්, වෙරලබඩ කලාපයේ ඉඩමක් නම් 1981 අංක 57 දරණ වෙරළ සංරක්ෂණ පනත යටතේ  එම දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ වරයාගෙන් ,

ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීයාගෙන්,  පානීය ජලය ලබා ගත හැකි බවට ජල සම්පත් මණ්ඩලයේ නිර්දේශය,

යෝජිත ඉඩම රක්ෂිතයක ට හෝ සංවේදී ප්‍රදේශයකට යාබදව  තිබේනම් රාජ්‍ය හෝ පළාත් සභා ආයතනය මගින් ලබාගන්නා නිර්දේශ තිබිය යුතුය. එලෙස නිර්දේශ ලබා  ලියාපදිංචි  කරනු ලබන ඉඩම   අදාල පලාත් පාලන් ආයතනයේ  අධීක්ෂණය මත සංවර්ධනය කිරීමේදී අදාළ නිර්දේශ වලට අනුකූලව තිබේද යන්න පිළිබඳව කාර්මික නිලධාරීන් විසින් අධීක්ෂණය කරනු ලබයි . 

          අංක 1929 / 45  2015 අගෝස්තු මස 28 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ 9.5 වගන්තියට අනුව කට්ටි කරනු ලබන ඉඩමේ ඇති සෑම ඉඩම් කැබැල්ලකට ම  තෙකලා විදුලිබල පහසුකම් සපයා තිබිය යුතුය ” යන වගන්තියට අනුව ඉඩම සංවර්ධනය කිරීමේදී  අදාළ ව්‍යාපෘතිය සඳහා විදුලිබල මන්ඩලය ඇස්තමේන්තු කරනු ලබන  මුදල් ගෙවා  එම මුදල් කුවිතාන්සිය  සමග සංවර්ධන  ව්‍යාපෘතියේ  වාර්තාව  පළාත් පාලන ආයතනයට  ඉදිරිපත් කළ යුතුය .  නිර්දේශවලට අනුකූලව  සම්පූර්ණ කරන ලද ව්‍යාපෘතියක්නම් එය කොටස් කර  විකිණීමට අවසාන අනුමැතිය ඒ ඒ ප්‍රදේශවලට අයත්   පලාත් පාලන ආයතන  විසින් දෙනු ලබයි .

                  නීත්‍යානුකූලව  අනුමැතිය ලබාගෙන කැබලි කරන ඉඩම් සඳහා ජලය,  විදුලිය ඇතුළු පහසුකම් ලබාදීම වෙන්දේසි කරුවන් විසින් කළ යුතුය .

ඊට අදාළව මිනින්දෝරු සැලැස්ම, කාර්මික  වාර්තාව, අදාළ නිලධාරීන්  සැපයිය යුතුය.

ඒ පිළිබඳව අංක 1317 සහ 2003.11.28 දිනැති අතුරු ව්‍යවස්ථාව හා 2014.10.01දින අංක 1882/22 දරණ සංශෝධිත  අතුරු ව්‍යවස්ථාව තුළත්  1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත යටතේත් ඇතුලත්ව ඇත .

               මේ කොන්දේසි වලට පිටින් ගොස් ඉඩම් කැබලි කර විකුණන   ඇතැම් වෙන්දේසි කරුවන් නිසා අතරමං වෙන ඉඩම් ගැනුම්කරුවන්   රට පුරා බොහෝ ප්‍රදේශ වල සිටින ඒ බව     විදුලිබල මණ්ඩලයේ පළාත් විදුලි ඉන්ජිනේරු  කාර්යාල වලට ලැබී ඇති අයදුම්පත්‍ර  ප්‍රමාණය  සාක්ෂි දරයි. 

                හෙක්ටෙයාරයකට වඩා වැඩි ඉඩමක් වෙන්දේසි කිරීමේදී  සියයට දහයක (10%)  කොටසක් අදාළ පළාත් පාලන ආයතනයට  ලබා දිය යුතුය.

 ඉඩම් කට්ටි කිරීම   පිළිබඳව   තීරණ ගැනීම සඳහා පළාත් පාලන ආයතනය විසින්   “නිශ්චල සහ නිවාස දේපල සංවර්ධනය කිරීමේ කමිටුවක්”  පිහිටුවා ගත යුතුය. එම කමිටුවේ, පලාත් පාලන ආයතනයේ සභාපති වරයා , එම පළාත් පාලන ආයතනයෙ ලේකම්වරයා,  ඇතුළු නිලධාරී පිරිසකගෙන්  සමන්විතය. 

 එසේ තිබිය දී වෙන්දේසි කරුවන්  අණපනත් වලින් රිංගා  අක්කර 5ට වඩා අඩුවන ආකාරයට  කොටස්  වශයෙන්  කිහිප වතාවකදී එකම ඉඩම  කැබලි කොට   වෙන්දේසි කිරීම කරනු ලබයි. එවන් අවස්ථාවල පොදු ඉඩමක් වෙන් නොකිරීම ,  විදුලිය සඳහා මුදල් ගෙවා බිල්පත් ඉදිරිපත් නොකිරීම ,  ජලය සැපයීම වෙනුවෙන්  පොදු ළිදක්  පමණක් ඉදිකිරීම වැනි නීතියෙන් රිංගා කටයුතු කිරීමට වෙන්දේසි කරුවෝ පෙලඹෙති . එසේ  තිබියදීත් වගකිවයුතු නිලධාරීන් සහ

ආයතන ප්‍රධානීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව ජනතාව නිළධාරීන්ට  චෝදනා කරති  . 

 පාලන ආයතන වල වගකිවයුත්තන්  සහ වෙන්දේසි කරුවන් එක්ව සිදුකරන  ක්‍රියා හේතුවෙන් වසර ගණනාවකට පසුව හෝ ජනතාවගේ ප්‍රශ්නවලට රජයට  මැදිහත් වීමට සිදුවන්නේ   මහජන මුදල් භාවිතා කිරීමෙනි . 

              ඉඩම් වෙන්දේසි  ආයතන කියන්නේ කුමක්ද?

     Winrose ආයතනයේ  කළමනාකරුවකු වන එන්. කුමාර මහතා ඔවුන්ගේ ගැටලු සහගත ඉඩම්  පිළිබඳව පළ කළේ මෙවැනි අදහසකි .  

” අපේ ආයතනයෙන් සාමාන්‍යයෙන් එහෙම දෙයක් වෙන්නෙ නෑ . නමුත් මොකක් හෝ කරුමෙට ඔබ කියන ඉඩමේ  විදුලිය දෙන්න පරක්කුවක් තියෙනවා. එහි වරද  තියෙන්නේ අපේ නෙවෙයි , විදුලිබල මණ්ඩලය  විදුලිය ලබා දෙන්න පරක්කු වෙන්නේ   කණු සහ transformer හිග නිසයි . අනිත් කාරණාව තමයි ඒ අය විටින් විට පනත් වෙනස් කරනවා . නමුත් අපි දන්නේ නෑ ලයිට් දියයුත්තේ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය හරහා .දැන් මාස දෙක තුනකදී වෙනස් කරපු පනතකට අනුව පළාත් කාර්යාල හරහා තමයි ලයිට් දෙන්නෙ . 

                    අපි විදුලිබල මණ්ඩලයට අයදුම් කළේ 2020 සැප්තැම්බර් ඔක්තෝබර් වල වගේ .  නමුත් 2021 මාර්තු මාසේ අපි රුපියල් ලක්ෂ 25ක් විතර මුදලක් ගෙව්වා.” 

           ඔහු සඳහන් කරන ඉඩම වෙන්දේසි කිරිමට මිනුම් කටයුතු සිදුකර ඇත්තේ 2017 වසරේ දි වුවත්, විදුලිබල මණ්ඩලයට අදාල   මුදල් ගෙවා ඇත්තේ 2021 වසරේදීය. ඒ ගැනුම්කරුවෙකුගේ මැදිහත්වීම සහ සොයා බැලීමක ප්‍රතිථලයක් වශයෙනි. ඉඩම් සංවර්ධනය කිරීමේ දී විදුලිබල මණ්ඩලයට අයදුම්පත්‍රය යොදා අදාළ මුදල ගෙවිය යුතු වුවත් ,වසර හතරක් යනතුරු ඔවුන් නොගෙවා සිටීම සහ ඔවුන්ට ඉඩම වෙන්දේසි කිරීමට අනුමැතිය ලැබුණේ කෙසේද යන්න පිළිබඳවද ඔහු ගෙන් විමසීමක් කළ ද ඊට නිශ්චිත පිළිතුරක් ලබාදීමට ඔහු සමත් වූයේ නැත .ප්‍රශ්න සහගත තවත් වෙන්දේසිකරුවන් කීප දෙනෙකුගේ  ප්‍රතිචාර මෙයට එක් කිරීමට උත්සාහ කළ ද  ඔවුහු ඒ වනවිටත් ගනුදෙනු හමාරකොට   දුරකථන අංකද  අත්හැර දමා තිබිණි .   

විදුලි බල මණ්ඩලයේ ප්‍රතිචාරය කෙබඳුද?

විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා සදහන් කළේ,  වෙන්දේසිකරුවන් කරන මේ අකටයුත්තට අත තැබීම ඉතා වැදගත් .රට පුරාම මේ වගේ වංචාවන් සිදුවෙනවා, ඔවුන් කරන ව්‍යාපෘති වලට අයදුම්පත්‍ර ඉදිරිපත් කර විදුලි බල මණ්ඩලයෙන්  ඇස්තමේන්තුවක් ගත යුතුයි. එහෙත් , එහෙම නොකර වෙන්දේසිකරුවන් ජනතාවට ඉඩම් අලෙවි කරනවා. ඒ අයට  විදුලිය දෙන්න ක්‍රමයක් අප සතුව නෑ. අප ආයතනයේ උපකරණ වලත් කිසිදු හිගයක් නෑ.    

විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා

   ගැටලු සහිත ඉඩම් වලින් විදුලිය  ඉල්ලුම් කළ ඉල්ලුම් පත්‍ර විශාල ගණනක් විදුලිබල මණ්ඩලයට ලැබිලා තියෙනවා . අදාල ව්‍යාපෘති සඳහා වෙන්දේසිකරුවන් ගාස්තු නොගෙවීම නිසා විදුලිය සැපයීමේ හැකියාවක් නෑ. ඒ පිළිබඳව    ඇමතිතුමාගෙන් , නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයාගෙන් වුවත්, අහන්න පුළුවන් .යැයි සභාපතිවරයා කීය .

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ  ලේකම්  වසන්තා පෙරේරා මහත්මියද අදහස් පළ කළේය.

“ඉඩම් කට්ටිකර වෙන්දේසි කරද්දී  අදාළ ව්‍යාපෘතියෙහි වියදම ඒ ඒ ව්‍යාපාරිකයන්  විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතුයි . නමුත් ඒ පනත්වලට පිටින් ගිහින් ඇතැම් ව්‍යාපාරිකයන් ඉඩම් විකුණලා පැත්තකට වෙනවා. විදුලිබල මණ්ඩලයට මුදල් ගෙවීම පැහැර හැරියාම අපිට විදුලිය ලබාදෙන්න ක්‍රමවේදයක් නෑ. ” ඇය කීය  .

  හිටපු සභාපතිවරයාගේ වැඩක් !

වෙන්දේසිකරුවන්ට අනුමැතිය ලබාදෙන ලද  පළාත් පාලන ආයතනවල සභාපතිවරු   සමඟ කතා  කිරීමේ දී  ඔවුන් කිහිප දෙනෙකුගේම පොදු ප්‍රතිචාරයක්  වූයේ  එය තමාට පෙර හිටපු සභාපතිවරයාගේ වැඩක් බවය. එසේම විශ්වාසය මත ඉඩම සංවර්ධනය කිරීමට අවසර ලබාදුන්නත් වෙන්දේසිකරුවන් එම විශ්වාසය රැකීමට අසමත්ව ඇතිබවට තවත් කිහිපදෙනෙකු ප්‍රතිචාර දැක්වීය.

          ඉබ්බාගමුවට අදාළව වෙන්දේසි කරනු ලැබූ ඉඩම් කැබලි ගණනාවක මෙවැනි ප්‍රශ්න ඇති බවට තොරතුරු අනාවරණය විය. එම ප්‍රදේශයේ එක් ගැනුම්කරුවෙක් විදුලිය ඉල්ලා විදුලිබල මණ්ඩලයට යවන ලැබූ  ඉල්ලීම් ලිපියට පිළිතුරු  වශයෙන් විදුලිබල මණ්ඩලය ලබා දී තිබුනේ , 2013 වසරේ දී වෙන්දේසි කරනු ලැබූ ඉඩමකට අදාළව රුපියල් ලක්ෂ දාහතරකට වැඩි මුදලක් අදාල ඉඩමට ඇස්තමේන්තු කර තිබියදී ඔවුන්එම ගෙවීම්  පැහැර හැරීම නිසා අදාළ ඉඩම් කැබලි 38ට විදුලිය ලබාදිය නොහැකි බවයි.

        කුරුණෑගල ප්‍රදේශයේ  මෙලෙස කැබලි කරනලද ඉඩම්  පිළිබඳව කිසිදු රාජ්‍ය ආයතනයක සංඛ්‍යාලේඛන නොමැති බව පළාත් පාලන දෙපාර්තමේන්තුව , මෙන්ම පළාත් පාලන ආයතන ප්‍රධානීන් ද කියති . ඒ පිළිබඳව   කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපති , අචල නිමන්ත වික්‍රමසිංහ මහතාගෙන් කළ විමසීමකදී, ඔහු කියා සිටියේ ,

 තමා වෙන්දේසිකරුවන් සමග විස්වාසය මත ගනුදෙනු කරන බවය. නමුත් පිට පළාත්වලින් එන වෙන්දේසි කරුවෝ  ඉඩම් ටික විකුණලා පලා යෑම නිසා එවැනි ප්‍රශ්න මතුවීම, වැඩිපුර දැකිය හැකි බවත්  සමහර ඉඩම් සදහා අනුමැතිය දෙන්න විදුලිබල මණ්ඩලයේ රිසිට් පත නොමැති අවස්ථාවල විශ්වාසය පදනම් කරගෙන දිවුරුම් ප්‍රකාශයක් ලබාගෙන වෙන්දේසි කරන්න ඉඩ සලසා දෙන බවත් ඔහු කීය .” එවැනි අය විදුලිබල මණ්ඩලයට ඒ මුදල් නොගෙවීම නිසා ඔය ප්‍රශ්න මතුවෙනවා .

 මාවතගම ප්රාදේශීය සභාවේ  හිටපු සභාපති සනත් මීගොල්ල මහතා අනාවරණය කළේ ,

හිටපු සභාපති සනත් මීගොල්ල මහතා

             ඉඩම් වෙන්දේසියේදී වැඩිපුරම වංචා කරන්නේ , ප්‍රාදේශීය සභාවල සභාපතිවරු  සහ තාක්ෂණික නිලධාරීන් . ඒ අය අන පනත් වල තියෙන කොන්දේසි වලට පිටින් ගිහින් සල්ලි හම්බ කරනවා විතරක් නෙවෙයි , ඉඩම් කැබලිත් ගන්නවා . මේක ලොකු වංචාවක්. යනුවෙනි.

පළාත් පාලන ආයතන වලට ඇඟිල්ල දිගුවීම පිළිබඳව පළාත් පාලන දෙපාර්තමේන්තු කොමසාරිස්  අයි.එම්.අයි. ඉලංගකෝන් මහතාගේ අදහස ද විමසීමට ලක්විය. 

               ” ඉඩම් කැබලි කර වෙන්දේසියේදී පළාත් පාලන දෙපාර්තමේන්තුවේ  කමිටුවට ඉදිරිපත් කරලා ආයතන කීපයක නිර්දේශ ලබා ගන්න ඕනේ . එහෙම  ලබාගෙන කටයුතු කරන කිසිම වෙන්දේසි සමාගමකට ගැටලුවක් සිද්ධ වෙන්නෙ නෑ . ඒ වගේම පාරිභෝගිකයින්ටත් කිසිදු ගැටලුවක් සිද්ධ වෙන්නේ නෑ . 

යම්  පාරිභෝගිකයෙක් එවැනි ගැටලුවකට මුහුණ දෙනවා නම් එහි වරද පළාත් පාලන  ආයතන භාරගත යුතුයි . ඇතැම් පළාත් පාලන ආයතන විසින් තහනම් කළ වෙන්දේසි සමාගම් පිළිබඳ තොරතුරු  අප සතුව තිබෙනවා. නමුත් කොපමණ ප්‍රමාණයක් වෙන්දේසි කරනවා ද යන්න පිළිබඳව තොරතුරු අප සතුව නෑ .

    මාර්තු මස කුරුණෑගල ප්‍රාදේශීය සභා මහසබාව පැවතිය දී ඉඩම් වෙන්දේසියෙන් සභාවට හිමිවන පොදු ඉඩම් කොපමණ තිබේද යන්න පිළිබඳව නිශ්චිත සංඛ්‍යාලේඛන නොමැති බව තහවුරු විය .( 2021.03.29. ප්‍රාදේශීය  සභා වර්තාව )

     පාරිභෝගිකයෙකු ඉඩමක් මිලදී ගැනීමේදී ,අදාළ වෙන්දේසි සමාගම පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයතනයක්ද යන්න . අදාළ පළාත් පාලන ආයතනයේ නිර්දේශ ලබා ගෙන තිබේද ? එම නිර්දේශ වලට අනුකූලව  ඉඩම සංවර්ධනය කර තිබේද ? යන කාරණා පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් විය යුතුය. ඒ පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියට , පාරිභෝගික උපයෝගීතා දෙපාර්තමේන්තුවටත් , පැමිණිලි කළ හැකි අතර , අධිකරණමය ක්‍රියා මාර්ගයකට යෑමේ හැකියාව සහ මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණිලි කිරීමේ හැකියාවත් තිබේ .

          එහෙත් මෙවැන්නක්  මෙතෙක් හෙළිදරව් නොවුණේ  ඉඩමකට ජලය විදුලිය ලබා දිය යුත්තේ ඒ ඒ අදාළ ආයතන විසින් යන පදනම සමාජගත වී තිබූ බැවිනි.  

  කුමන හෝ ප්‍රචාරණ ක්‍රමයක් මගින්  අදාල ආයතන වල නිර්දේශ ලබා නොගෙන, ඉඩම් වෙන්දේසි කිරීමෙන්  දේපල වෙළදාම් අංශ සහ පළාත් පාලන ආයතන වල ප්‍රධානීන් එහි වාසිය ගැනීමෙන් පාරිභෝගිකයන් වසර ගණනාවක් තිස්සේ පීඩා විඳිති. රුපියල් ලක්ෂ ගණනින් එහි වාසිය ඔවුන් ලබා ගනිද්දී පාරිභෝගිකයින්ට තම මුදලින් මූලික අවශ්‍යතා සපුරා ගැනීමට සිදුවීම ඛේදනීය කාරණාවකි  . 

ඊටත් වඩා මෙහි ඇති සෝචනීය ම තත්ත්වය නම් , ඕනෑම කෙනෙකුට තම වාසිය තකා ඕනෑම මාධ්‍යක්  (විද්‍යුත්, මුද්‍රිත, සමාජ මාධ්‍ය , අත්පත්‍රිකා ) භාවිතාකොට වංචා කරමින් , ජනතාවට පීඩාවක් වෙන   ප්‍රචාරණ ක්‍රමයක්  සමාජය තුළ ගොඩනැගී තිබීමය .                 

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -