32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

යුධ හමුදාවේ නම කැත කළ සිරිසර පිවිසුමේ තිත්ත ඇත්ත

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

                                                           

මේ වන විට අතිගරු ජනාධිපතිතුමන්ගේ “ගම සමග පිළිසදරක්“ වැඩසටහනේ නියත ජනප්‍රියතම දෙබස වන්නේ,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යුධ හමුදාපතිවරයා අමතා අහවල් කටයුත්ත ඉටුකරන ලෙස නියෝග කිරීමයි.යුධ හමුදාවට එසේ පවරන ඇතැම් සංවර්ධන කටයුතු සැබවින්ම යුධ හමුදාවට පවරා අත සෝදා ගැණීම කොතරම් අර්ථාන්විත දැයි බුද්ධියේ විමසුමට ලක් කිරීම ඉතා වැදගත්ය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ගෝමරන්කඩවල දී පැවති “ ගම සමග පිළිසදරක්“ වැඩ සටහනේ  ප්‍රතිපලයක් ලෙස බක්මීගම මැදවච්චිය මහ විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සැකසීම යුධ හමුදාපතිවරයා හරහා සුපුරුදු ලෙස භාර කරන ලද්දේ යුධ හමුදා ඉදිකිරීම් ඒකකයටයි.පසුදින යුධ හමුදාව එම ස්ථානයට පැමිණ අදාළ කටයුත්ත ඇරඹීමට සූදානම් වෙත්ම ගම්වාසින් ඉදිකිරීම සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න ඉදිරිපත් කරමින් කියා සිටියේ,දරුවන්ගේ ක්‍රීඩා පිටිය  දරුවන්ට හා දෙමව්පියන්ට අවශ්‍ය පරිදි මිස හමුදාවට අවශ්‍ය පරිදි ඉදි නොකරන ලෙසයි.එසේ නොවුනහොත් එයද සිරිසර පිවිසුම වැව් ව්‍යාපෘතිය මෙන්    “අලිය ගිල්ල දිවුල් ගෙඩියක්“ හා සමාන වනු ඇති බවයි.යුධ හමුදාවට සෘජුව එවැනි  විරෝධයක් පළකරන්නට තරම් සිරිසර පිවිසුම මහජන විරෝධයට හේතු වූයේ ඇයි?සත්‍ය වශයෙන්ම එහි සිදුවී ඇති අක්‍රමිකතා මොනවාද?

ත්‍රිකුණාමලය දිස්ත්‍රීක්කයේ අත්‍යාවශ්‍ය  යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් පසුගිය යහ පාලන රජය විසින් ක්‍රියාත්මක කරන ලද“ සිරිසර පිවිසුම“ වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහන ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැර දේශපාලන අරමුණු ඉලක්ක කරගනිමින් මහජන මුදල් කාබාසිනියා කල පුස් ව්‍යාපෘතියක් බව  බව ගොවීහු චෝදනා කරති.

ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ 2017-2021 පස් අවුරුදු විශේෂ වැඩසටහනක් ලෙස  දියත් කළ මෙම සිරිසර පිවිසුම  ව්‍යාපෘතිය ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතේ,ශ්‍රී ලංකා යුධ හමුදා ව්‍යාපෘති කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ලද්දකි.

ව්‍යාපෘතිය ආරම්භයේ සිට 2018 වසරේ අවසානය දක්වා මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයෙකු ලෙස හිටපු නැගෙනහිර පළාත්සභා මන්ත්‍රීවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සේරුවිල ආසන සංවිධායකවරයෙකු වන ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා කටයුතු කරඇති අතර,පසුව ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ශ්‍රී.ල.නි.ප. සේරුවිල ආසන සංවිධායකවරයෙකු වු ජයන්ත විජේසේකර මහතා ජනාධිපති ලේකම් කාර්‍යාලය විසින් පත් කර තිබේ. සමස්ත ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වශයෙන් යුධ හමුදා ඉදි කිරීම් ඒකකයේ බ්‍රිගේඩියර් ඊ.එන්.රාමණායක මහතා කටයුතු කර ඇති බව ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියා සිටි.

රටක ආරක්ෂක අංශ හදිසි අවස්ථාවකදී හෝ වෙනත් ආපදා අවස්ථාවකදී සෘජුව ඊට මැදිහත්වීම සුලබ තත්ත්වයකි.  ආරක්ෂක අංශයන්හි මැදිහත්වීම  සම්බන්ධයෙන් බොහෝ විට  ජනතාවට ඇත්තේ නොමද විශ්වාසයකි. එහෙත්,විවිධ රජයන් සිය කඩිනම් දේශපාලන ව්‍යාපෘති අඩු පිරිවැයකින් සහ ඉක්මනින් ඉටුකර ගැණීමේ අරමුණින් ඒ සදහා ආරක්ෂක අංශ  යොදා ගැණීම හරහා යුධ හමුදාව දේශපාලනීකරණයවීම සහ ඒ මගින් අදාළ ව්‍යාපෘතියට සිදුවන සමස්ත හානිය සුළුපට නොවන බව  මෙවැනි නිදසුන් දෙස විමර්ශනාත්මකව බලන විට පෙනේ. සිරිසර පිවිසුම වැඩ සටහනේ වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඊට මෑත කාලීන කදිම නිදර්ශනයකි. 

  වැව් 26 ට මුදල් වෙන් කරලා

සිරිසර පිවිසුම වැඩසටහන යටතේ ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හතකට අයත්,වැව් විසි හයක් ප්‍රතිසංස්කරණය කිරීමට යෝජනාවී තිබු අතර ඒ සදහා වෙන් කරන ලද මුදල රුපියල් මිලියන 338,292,129.72 ක් බව ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් කාර්‍යාලය තහවුරු කරයි.  අදාළ ව්‍යාපෘතිය සදහා 2018 සැත්තැම්බර් මාසයේ දී ඇතැම් ඇස්තමේන්තුවල ඇතැම් අයිතමයන් ප්‍රසම්පාදනය කිරීමේ වගකීම දිස්ත්‍රීක් ලේකම් වෙත පවරා තිබේ.

ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ තොරතුරු වලට අනුව 2018/2019 කාල සීමාවේදී එම කාර්යාලය විසින් ප්‍රසම්පාදන කටයුතු සිදුකර යන්ත්‍ර හා අමු ද්‍රව්‍ය සැපයු වාරි ව්‍යාපෘති සංඛයාව 26 කි.ඉන් 23 ක ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක කර ඇති අතර,අයහපත් කාලගුණික තත්ත්වය මත ඉන් වැව් 03 ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම අත්හිටුවීමට සිදුවී තිබේ..2019-12-31 දින වන විට වැව් 09 ක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇති බව ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ හිටපු පරිපාලන නිලධාරි එස්.කේ.ඩී.නෙරංජන් මහතා 2020.02.17 දිනැති GAT/EST/sirisara/Gen දරන ලිපිය මගින් තහවුරු කර සිටි.දිස්ත්‍රීක් ලේකම් කාර්‍යාලය එසේ කියා සිටියද,වැව් අයිති ආයතනය වන ගොවිජන සේවා සංවර්ධන දෙපාර්මේන්තුව කියා සිටින්නේ,සිරිසර පිවිසුම හරහා ප්‍රතිසංස්කරණය කල කිසිදු වැවක් යුධ හමුදාව විසින් මෙතෙක් භාරදී නොමැති බවයි.

වැඩ අවසන් වු ව්‍යාපෘතියන්හි ගෙවීම් සිදුකරනු ලබන්නේ,ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය මගිනි. වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු නිසි ආකාරයෙන් සිදුවී ඇද්ද යන්න නිර්දේශ කරනු ලබන්නේ,සිරිසිර පිවිසුම ඉදි කිරීම් ඒකකයේ යුධ හමුදා ඉංජිනේරුවන් සහ වැව අදාළ ගොවිජන සේවා සංවර්ධන දෙපාර්මේන්තුවේ ඉංජිනේරුවන් විසිනි.එසේ,නිර්දේශ ලබාදුන් පසු අවසන් කර ඇති කටයුතු සදහා මුදල් ගෙවීම සිදු කරන බව ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය කියා සිටි.

  කිතුල්උතුව වැවේ ප්‍රතිසංස්කරණ මුළුමනින්ම අසාර්ථකයි

සිරිසර පිවිසුම යටතේ ප්‍රතිසංස්කරණය කල මොරවැව 10 කණුව කිතුල්උතුව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු මුළුමනින්ම අසාර්ථක වු බව කිතුල්උතුව ගොවි සමිතිය චෝදනාකර සිටිති. කිතුල්උතුව වැවේ  පිටත වාන වසරක් ගතවීමටත් පෙර මුළුමනින්ම බිදී ගොස් ඇති අතර,සිරිසර පිවිසුමෙන් සංවර්ධනය කල බව කියන කිතුල්උතුව වැවේ මේ වන විට එකදු වතුර බිදුවක් හෝ නොමැතිනමින් මෙවර යල කන්නයේ වගා කිරීමට ජලය නොමැතිව ගොවීහු අසරණ වී සිටිති.සිරිසර පිවිසුම යටතේ කිතුල්උතුව වැවේ සිදුකළ බව කියන  ප්‍රතිසංස්කරණ කටයුතු මගින් අපේක්ෂිත අරමුණු කිසිවක් ඉටුවී නොමැති බව කිතුල්උතුව ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික ලක්ෂිත ප්‍රදීප් මහතා පෙන්වා දෙයි.

කිතුල්උතුව ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික ලක්ෂිත ප්‍රදීප් මහතා

“වැවේ රොන්මඩ අයින් කරලා,ඇල මාර්ගය කිලෝ මීටරයක් කොන්ක්‍රීට් කරලා තව සොරොව්වත් හදලා පිටත වානත් අලුත් වැඩියාකරලා බේසම හදනවා කියලා තමා අපිට වැඩේ පටන් ගනිද්දී කිව්වේ.නමුත් මේ බේසම කඩලම අවුරුද්දක් විතර ගියා.නැවත හදනවා කියල කිව්වත් ඒක කියපු හැටියට සිද්ධ වුනේ නැහැ.හමුදාව මේ වැඩේ කරපු නිසා අපිට ඒ ගැන ප්‍රශ්න කරන්න අවස්ථාවක් ලැබුණෙත් නැහැ.නමුත් අපි මේ ගැන ගොවිජන සේවා එකට පැමිණිලි කළා.ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දුන්නා.නමුත් කිසිම කෙනෙක් ඒ ගැන උනන්දුවක් දැක්කුවේ නැහැ.අන්තිමේ වැවේ පිටත වාන කඩලා යනකම් වැව ගැන බලධාරීන්  හෙව්වේ නැහැ. ඒකෙන්  අපිට වුණේ,යල කන්නේ කුඹුරු කරන්න තිබ්බ වතුර ටිකත් නැති වෙලා ගිය විතරයි..“

හමුදාව වැව හදද්දී ගොවිජනේ නිලධාරීන් කරඇරලා

වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු යුධ හමුදාව භාරයේ තිබු බැවින්,ගමේ කිසිදු අයෙකුට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ අවස්ථාවක් නොලද  බවට ගම්වාසීන් දක්වන අදහස එක අතකින් සැබෑවකි. එසේම මේ සම්බන්දයෙන් අවස්ථා කිහිපයකදී ගම්වාසීන් යුධ හමුදාවට විවිධ යෝජනා ඉදිරිපත් කළද,ගොවීන්ගේ යෝජනා ඉදිකිරීම් භාරව සිටි යුධ හමුදාව  සැලකිල්ලට නොගත් බවට දක්වන අදහස බැහැර කල නොහැක.

මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීම වැව අයත් අදාළ ආයතනයේ වගකීමක් බව සිරිසර ව්‍යාපෘති වාර්තාවේ සදහන්ය.ඒ අනුව,ගොවිජන සේවා දෙපාර්මේන්තුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ හා එම ව්‍යාපෘතියේ අවසාන ගෙවීම් සිදු කිරීමේදී සිය නිර්දේශ ලබාදිය යුතු බවත්,එම නිර්දේශ වලට අනුකූලව යුධ හමුදාව වෙත ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් කාර්‍යාලය හරහා ගෙවීම් සිදුකළ බවත් ත්‍රීකුණාමලය හිටපු දිස්ත්‍රීක් ලේකම් එන්.ඒ.ඒ.පුෂ්පකුමාර මහතා කියා සිටි.එහෙත්,ගොවිජන සේවා දෙපාර්මේන්තුව අදාළ වගකීම කුමන හෝ හේතුවක් මත පැහැර හැර ඇති බව පෙනේ.

“ මේක වෙද්දී අපි හමුදාවේ අයට  ගොවිජන එකේ නිලධාරීන්ට මේකෙ අඩුපාඩු ලිඛිතව හා වාචිකව ඉදිරිපත් කළත්,බලධාරීන් ඒවා කණකටවත් ගත්තේ නැහැ.මේකෙ බේසම කඩලා තියෙද්දීත් අපි කිව්වා ඒක ඉක්මනට හදන්න.නැත්නම් මේ වැස්සට වැවේ වතුර වැඩි වෙනකොට පිටවාන කැඩෙයි කියලා.එහෙම කිව්වහම එයාලා ඇවිත් වැලි කොට්ටා ගහලා අපිව රවට්ටලා ගියා.අන්තිමේ වැවේ පිටවාන කැඩෙනකම්ම බලධාරීයෙක් ආවේ නැහැ..“එසේ කියන්නේ,කිතුල් උත්තුවේ ජී.ආර්.චන්දන කුමාර මහතායි.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගත් තොරතුරු වලට අනුව කිතුල් උතුව වැව සදහා සිරිසර ව්‍යාපෘතිය යටතේ,වෙන්කර තිබු මුදල රුපියල් එක්කෝටි හත් ලක්ෂ විසිදහස් පන්සිය පනස් හයකි.(15,720,556).ඒ වැවේ රොන්මඩ ඉවත් කිරීම,පිටත වානේ බේසම ප්‍රතිසංස්කරණය,සොරොව්ව අලුත් වැඩියා කිරීම,කිලෝ මීටරයක පමණ  දුරක් ඇල මාර්ගය කොන්ක්‍රීට් කිරීම සහ වැව් බැම්ම පස් පුරවා පිඩලි අල්ලා වැවේ ධාරිතාව වැඩිකිරීම යන කටයුතු වෙනුවෙනි.එහෙත්,වැවේ රොන්මඩ යම් ප්‍රමාණයක් ඉවත් කිරීම සහ වැව් බැම්මට අගලක පමණ පස් තට්ටුවක් දමා තැලීම හැරීම වෙනත් කිසිවක් සිදු කර නොමැති බවත්,එයද නිසි ප්‍රමිතියකින් ඉටු නොකළ බවත් කිතුල් උතුවේ දමයන්ති දිසානායක මහත්මිය සහතික කර සිටි.

දමයන්ති දිසානායක මහත්මිය

“සාමානයෙන් බැම්මට පස් දාන්න කලින් වැව් බැම්ම පඩි පෙල වගේ කපලා ඊට පස්සේ පස් දාලා තලන්න ඕනේ.ඊට පස්සේ පිඩලි අල්ලන්න ඕනේ.නමුත් මේ වැඩේ එහෙම වුනේ නැහැ.වැඩිම වුනොත්,මේ වැඩේට ලක්ෂ දහයක් වියදම් වෙන්න ඇති.අපිට තියෙන එකම ප්‍රශ්නේ ඉතිරි සල්ලි ටිකට මොකද වුනේ කියන එක..“එසේ ප්‍රශ්න කර සිටින්නේ,ලක්ෂිත ප්‍රදීප් මහතායි.

පැය ගණනිනුත් හොරාකාලා!

සිරිසර ව්‍යාපෘතියට අවශ්‍ය යන්ත්‍රෝපකරණ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව තෝර ගත්තද,එම යන්ත්‍ර ක්‍රියාත්මක කරන පැය ප්‍රමාණය කොතෙක්දැයි ගණනය කිරීමට හෝ වැජ කටයුතු අධීක්ෂනය කිරීමට කිසිදු බලධාරීයෙකු නොවු බව ගම්මුන්ගේ අදහසයි.එම යන්ත්‍රවල ක්‍රියාකරුවන් ගම්මුන්ට හෙළිකර ඇත්තේ,තමන් සේවය කළ පැය ප්‍රමාණයට වඩා වැඩි පැය ප්‍රමාණයක් ධාවන පත්‍රිකාවේ සටහන් කර,නම සදහන් කල නොහැකි  පිරිසක් එම යන්ත්‍රවල ඉන්දන හා පැය ගණන සොරා ගන්නා බවයි.මේ මෙම අක්‍රමිතාවට තම ආයතන හිමිකරුවන්ද සහයදෙන බවට සැකයක් පවතින බව ඔවුහු හෙලිකර තිබේ.

“අපි වැව හදන එක බලන්න ආපු හැම වෙලාවෙම ඩෝසර් එකක් හෝ දෙකක් තමා වැඩ කරන්නේ.සමහරක් ඒවා පාක් කරලා.සමහරක් ඒවා කැඩිලලු..මේ ගැන හොයන්න කියලා අපි ගොවිජන සේවා එකට කිව්වහම එයාලා ඒක අපිට අයිති වැඩක් නෙවෙයි,ඔයාලට පුළුවන් දෙයක් කරන්න කියලා කියනවා..“ එසේ කියන්නේ,කිතුල් උතුවේ.ජී.ආර්.චමින්ද කුමාර   මහතායි.

හමුදාව තවමත් වැව් භාර දී නැහැ

සිරිසර පිවිසුම වැඩ සටහන යටතේ මොරවැව දහය කණුව කිතුල් උතුව වැව ප්‍රතිසංස්කරණය කිරීමේදී අඩුම තරමින් මිලියන දහයක් පමණ අවභාවිතා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති නමුදු,ඒ සම්බන්දයෙන් ප්‍රශ්න කිරීමට හෝ පරීක්ෂණයක් සිදු කිරීමට හැකියාවක් නැති බව ගොවිජන සේවා දෙපාර්මේන්තුවේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික් සහකාර කොමසාරිස් එස්.වරුණි මහත්මියගේ අදහස් දැක්වීමෙන් ගම්‍ය වේ.

“අපි දන්නේ නැහැ මේ වැවට  කොපමණ මුදලක් වැය කළාද,තව කීයක් මුදල්  ඉතිරිවෙලා තියෙනවද කියලා.ඇත්තම කියනවා නම් යුධ හමුදාව තවම මේ වැව් ටික අපිට වැඩ ඉවරයි කියලා භාරදීලත් නැහැ.වැව් ටික ඇස්තමේන්තු කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව..වැඩ කළේ යුධ හමුදාව.ඉතින් අපිට මේකට මැදිහත් වෙන්නඉඩක් ලැබුනෙම නැති නිසා අදහසක් දක්වන්න බැහැ.හැබැයි,අපිත් මේ වෙන කොට විශාල ගැටලුවකට මුහුණ දීලා ඉන්නේ මේ ඉදි කිරීම් අසාර්ථකවීම නිසා.අනෙක් කාරණය තමා හමුදාව තවම අපිට මේ වැව භාරදීලත් නැහැ..“

ගොවිජන සංවර්ධන දෙපාර්මේන්තුවට මේ සදහා මැදිහත්වීමට අවස්ථාවක් නොලද බව දිස්ත්‍රීක් සහකාර කොමසාරිස්වරිය කියා සිටියද තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලියුම්කරු ඉල්ලා සිටි තොරතුරු වලට පිලිතුරු ලබා දෙමින් ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය කියා සිටින්නේ,2019.05.13 දිනැති  GAT/EST/SP/Ma3/2019/T/Gen දරන ලිපිය මගින් වැව් අධීක්ෂණ කටයුතු සිදු කරන ලෙස ගොවිජන සේවා දෙපාර්මේන්තුවට දන්වා ඇති බවයි.ඊට අමතරව මෙම ව්‍යාපෘති අධීක්ෂණය සදහා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සහකාර අධ්‍යක්ෂ අයි.යු.කේ.සෙනෙවිරත්න මහතා සිරිසර පිවිසුම ව්‍යාපෘති අධීක්ෂණ කටයුතු සදහා සෘජුවම පත්කර තිබු බවයි.මේ අනුව පෙනී යන්නේ, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කුමන හෝ හේතුවක් මත සිය රාජකාරිය පැහැර හැරීම හේතුවෙන් සිරිසර පිවිසුම ව්‍යාපෘතිය මගින් ප්‍රතිසංස්කරණය කරන ලද වැව් රැසක අපේක්ෂිත අභිලාෂයන් ඉටුවී නැති බවයි.

යුධ හමුදාවට වෙන්කළ මුදල් ගැන අහන්න එපාලු!

  කිතුල් උත්ව වැව නැවත ගොවිජන සේවා සංවර්ධන දෙපාර්මේන්තුව වෙත භාරදී නැති බව එස්.වරුණි මහත්මිය කියා සිටියද,මේ වන විට නව රජය විසින් ක්‍රියාත්මක කර ඇති  වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ කිතුල් උතුව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු නැවත ආරම්භකර තිබේ.ඒ වාරිමාර්ග දෙපාර්මේන්තුවේ මෙහෙයවීමෙනි.

මෙම කටයුතු ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මහතාගේ හා ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරුණු අතර එම වැව ප්‍රතිසංස්කරණය සදහා යුධ හමුදාවට වෙන්  කළ මුදල් සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස වාරිමාර්ග දෙපාර්මේන්තුවේ උසස් නිලධාරියෙකු එහිදී ගම්මුන්ට දැනුම් දී තිබේ.

ගෝමරන්කඩවල විල්පනාකුලම වැවද සිරිසර පිවිසුම වැඩ සටහන යටතේ අති විශාල මුදල් සම්භාරයක් වැය කර අපේක්ෂිත අරමුණු ඉටු නොවු ව්‍යාපෘතියකි.විල්පනාකුලම වැවේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය,වාන ප්‍රතිසංස්කරණය හා රොන් මඩ ඉවත් කිරීම යන කටයුතු විල්පනාකුලම වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට අදාළ වු අතර,ඒ සදහා වාරිමාර්ග දෙපාර්මේන්තුවේ ඇස්තමේන්තු ගත මුදල වූයේ,  රුපියල් එක් කෝටි අනූහය ලක්ෂයක පමණ මුදලකි.(19,600,000.00 කි.) නමුත් යුධ හමුදාවේ ඇස්තමේන්තු ගත මුදලට අනුව වියදම් කිරීමට අපේක්ෂිත මුදල ලෙස රුපියල් එක් කෝටි හැත්තෑ හතර ලක්ෂ අසූහත් දහස් අටසිය විසි තුනක් (17,487,823.85) ලෙස දක්වා තිබේ.

ගොවිජන සේවා නිර්දේශ නැතිව මුදල් ගෙව්වේ කොහොමද?

මෙම වැවේ ඉදි කිරීම් පූර්ණ වශයෙන් යුධ හමුදා ඉදිකිරීම් ඒකකය විසින් සිදුකර ඇති අතර,විටින් විට වැව අයත් ආයතනය වු ගොවිජන සේවා දෙපාර්මේන්තුව  සිය නිර්දේශ යුධ හමුදාව වෙත නිකුත් කර ඇති බව කියැවේ.එහෙත්,යුධ හමුදා ඉදි කිරීම් ඒකකය විසින් එම නිර්දේශ තැකීමක් කර නැති බව පෙනේ.සිරිසර පිවිසුම ව්‍යාපෘතියේ සෘජු අධීක්ෂක ලෙස කටයුතු කළ ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය කියන අන්දමට වැවේ රොන්මඩ ඉවත් කිරීම අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් වගකීම ඇත්තේ,වැව අයත් ගොවිජන සේවා දෙපාර්මේන්තුවටයි.එහෙත්,සිරිසර පිවිසුම ව්‍යාපෘතියේ කිසිදු අධීක්ෂණ කටයුත්තකට හෝ එම ආයතනය සහභාගිකරවා ගැනීමට යුධ හමුදාව කටයුතුකර නොමැති තත්වයක ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය අවසාන ගෙවීම් සිදුකර ඇත්තේ කුමන නිර්ණායකයක් මතද යන්න මතභේදාත්මක කාරණයකි.

විල්පනාකුලම වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා යුධ හමුදාවට අවශ්‍ය   යන්ත්‍රොපකරණ ඔවුන් සතුව නොමැති බැවින් ඒ සදහා අවශ්‍ය යන්ත්‍ර  සූත්‍ර දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය යුධ හමුදාවේ ඇස්තමේන්තුවට අනුව අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පැය පදනමින් ප්‍රසම්පාදනය කර,එකී පැය ගණන සදහා යන්‍ත්‍ර සපයන සැපයුම් කරුවන් සපයා ගෙන තිබේ.

මේ සදහා විවෘත මිළ ගණන් කැදවීමේ පරිපාටිය අනුගමනය කරමින් ප්‍රසිද්ධ පුවත්පත් වල 2019.02.20 වන දින භාෂා ත්‍රිත්වයෙන් දැන්වීම් පළකර ඒ සදහා වු අයදුම්පත් තාක්ෂණික අගයුම් කමිටුවක් හරහා සලකා බලා ඒ මත ප්‍රසම්පාදන තීරණ ගෙන ඇති බව ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් කාර්‍යාලයේ එවකට පරිපාලන නිලධාරි එස්.කේ.නෙරංජන් මහතා කියා සිටි.GAT/EST/SP/Ma3/2019/T/Gen හා 2019.05.13 දිනැති ලිපිය මගින් වැව් අධීක්ෂණ කටයුතු සිදු කරන ලෙස ගොවිජන සේවා දෙපාර්මේන්තුවට දැනුම් දී ඇති බව හෙතෙම වැඩි දුරටත් කියා සිටි.

  ප්‍රතිසංස්කරණ කටයුතු නිසිපරිදි සිදුවී නෑ.

කෙසේ නමුත්,විල්පනාකුලම වැවේ   ප්‍රතිසංස්කරණ කටයුතු 2019.12.31 වන දින නිම කර,වැව අයත් ආයතනය වන ගොවිජන සේවා දෙපාර්මේන්තුවට භාර දීමට නියමිතව පැවතියද,අපේක්ෂිත අයුරින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු නොවී තිබීම හේතුවෙන් මේ වන තුරුත් වැව භාර ගැණීම තම ආයතනය ප්‍රතික්ෂේප කර ඇති බව ගොවිජන සේවා දෙපාර්මේන්තුවේ  ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් සහකාර කොමසාරිස් එස්.වරුණි   මහත්මිය කියා සිටි.

ගෝමරන්කඩවල කන්දමලාව වැවද යුධ හමුදා ඉදිකිරීම් ඒකකයේ තවත් මතභේදයට තුඩුදුන් ව්‍යාපෘතියකි.කන්දමලාව වැවේ පිටතවාන වාරිමාර්ග දෙපාර්මේන්තුවේ හෝ ගොවිජන සංවර්ධන දෙපාර්මේන්තුවේ අනුමැතියකින් තොරව අඩියක් ඉස්සීම හේතුවෙන් මොරවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රලපනාව,බෙල්ලක්කඩවල වැව් යටතේ පෝෂණය වන කුඹුරු අක්කර 40 ක් පමණ යටවීමේ අවධානමට ලක්වු බව ගෝමරන්කඩවල නෙළුම් ගොවි සංවිධානයේ සභාපති පී.ජී.අමරදාස මහතා කියා සිටි.

පී.ජී.අමරදාස මහතා

සිරිසර පිවිසුම යටතේ කන්දමලාව වැවේ පිටතවාන ඉස්සීමට යෝජිත නොවුනද,වානම අලුත් වැඩියා කිරීමට රුපියල්  විසිහය ලක්ෂ අසූහත් දහස් පන්සිය පනස් තුනක (2,687,553.00) මුදලක් ඇස්තමේන්තු කර තිබු බව ත්‍රීකුණාමලය ගොවිජන දෙපාර්මේන්තුවේ දිස්ත්‍රීක් සහකාර කොමසාරිස් එස්.වරුණි මහත්මිය තහවුරු කරසිටි.කෙසේ වෙතත්,මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක අවස්ථාවේ ප්‍රාදේශීය දේශපාලන මැදිහත්වීමක්  මත යුධ හමුදා ඉදිකිරීම් ඒකකය කන්දමලාව වැවේ පිටත වාන අඩියක ප්‍රමාණයක් අවධිමත් ලෙස ඉස්සීමට එරෙහිව නෙළුම් ගොවි සංවිධානය හා මහසෙන් ගොවි සංවිධානය අධිකරණයේ පිහිට පැතු අතර,අවසානයේ අවධිමත් ඉදි කිරීම් සිදුකළ පිටත වාන අඩි තිහක පමණ ප්‍රමාණයක් නැවත කඩා ඉවත් කිරීමට යුධ හමුදාවටම සිදුවිය.ඒ තුළින් සිදුවු මහජන මුදල් නාස්තිය ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ දහයකට ආසන්න බවත්,ඊට වගකිව යුත්තේ කවුරුන්ද යන්න සොයා බලා ඊට පියවර ගත යුතු බවත් පී.ජී.අමරදාස මහතා වැඩි දුරටත් කියා සිටි.

හමුදාව පිටින් තියලා වෙන පිරිසක් ගහපු ගේමක්ද?

ගෝමරන්කඩවල කොට්ඨාශයටම අයත් කුරුදුගම සහ ඔට්ටිච්චාකුලම් වැව් දෙක සදහා සිරිසර පිවිසුම වැඩ සටහන යටතේ,රුපියල්   කෝටි හයාමාරකට  අධික(65,276,331 )සුවිශාල මුදල් ප්‍රමාණයක් වැය කර ඇතත්,අපේක්ෂිත ප්‍රතිලාභ කිසිවක් ඒ තුළින් ඉටුවී නැති බව ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ගොවි සංවිධාන බල මණ්ඩලයේ සභාපති එච්.එම්.සුගත් රාමනායක මහතා පෙන්වා දෙයි.

එච්.එම්.සුගත් රාමනායක මහතා

“කුරුදුගම වැවේ සොරොව් දෙක හදලා නැහැ.බන්ට් එකට පස් දාලා තලනවා කියලා කිව්වට ඒක කරලත් නැහැ.වාන උස්සලා ජල ධාරිතාව වැඩි කරලා තව අක්කර 150 වගා කරන්න හදලා දෙනවා කිව්වට තවමත් අර කලින් කරපු කුඹුරු ටිකම තමා කරන්නේ.මෙතන තියෙන්නේ,මම දකින විධිහට තාක්ෂණික ප්‍රශ්නයක්.අපිට ගොවිජන සේවා එකෙන් රුපියල් ලක්ෂ 25 ක් දිලා වැවේ මොකක් හරි කරන්න කියපුවහම අපි එයාලගේ අධීක්ෂණය යටතේ ඒ වැඩේ හොදටම කරනවා.නමුත්,මේ තරම් මුදලක් වියදම් කරලත්,වැඩිපුර එක අක්කරයක්වත් අස්වද්දන්න බැරි වුණා කියන්නේ,හමුදාව අනිත් හැම එකකදිම ඉදිරියෙන් සිටියත්,මේ වැව් හැදීමේ කටයුත්තෙදී අසාර්ථකයි කියන  එකයි.මේ සිදුවෙච්ච මුදල් නාස්තිය සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදු කළ යුතුයි.අපිට සැකයක් තියෙනවා, මේක හමුදාව පිටින් තියලා වෙන පිරිසක් ගහපු ගේමක්ද කියලා..“

සොරොව්වක් නැති වැවක් පිළිබද කථා කිරීම විහිළුවකි.ගෝමරන්නඩවල කුරුඳුගම පදිංචි චන්දන පියසේන මහතා කියන්නේ,ඔවුන්ගේ වැවට වැය කළ මුදල් සම්බන්ධයෙන් හෝ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හැකියාවක් නොමැති බවයි.

සිරිසර පිවිසුම යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොටඨාශයට අයත් ඉදි වැව සම්බන්දයෙන්ද ගොවීන්ට ඇත්තේ,බරපතල ගැටලු රාශියකි.ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමකදී අදහස් දැක්වු ඉදි වැව ගොවි සංවිධානයේ සභාපති එස්.ඩී.දීපානි මහත්මිය යුධ හමුදා ඉදි කිරීම් ඒකකයට චෝදනා කරමින්  කියා සිටියේ යුධ හමුදාව තම වැව ප්‍රතිසංස්කරණය කළා නොව තිබුණ තරමටත් වඩා විනාශ කර ඇති බවයි.තම වැවට කෝටියක මුදලක් වැය කර ප්‍රතිසංස්කරණය කළ වැවේ සොරොව්ව බිදී යාමට ආසන්න බවත්,වෙනත් වැවක රොන් මඩ තම වැවේ බැම්මට යෙදීම තුළ මේ වන විට වැව් බැම්ම බරපතල අවධානමකට මුහුණ දී තිබෙන බවත් ඇය කියා සිටි.

කච්චේරියේ  නිලධාරිනුයි,හමුදාවේ මහත්වරුයි එකතු වෙලා වංචා කරලා!

“දැන් බලාගෙන ගියහම නටපු තොවිලෙකුත් නැහැ.බෙරේ පලුවකුත් නැහැ වගේ වැඩක් තමා වෙලා තියෙන්නේ.හමුදාවට වැඩක් භාර දෙන්නේ,අඩු වියදමකින් කරන්න.නමුත්,අපේ වැවට පාස් වුණු සල්ලී කච්චේරියේ ඉහල නිලධාරිනුයි,හමුදාවේ මහත්වරුයි එකතුවෙලා වංචා කරපු බව අපි බය නැතිව කියනවා..“ එස්.ඩී.දීපානි මහත්මිය වැඩි දුරටත් කියා සිටි.

සිරිසර පිවිසුම හරහා ප්‍රතිසංස්කරණය කරන ලද වැව් දහයකින් කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකි තත්වයක් උදාවී ඇති බවත්,මොනයම් හෝ ව්‍යාපෘතියක් හරහා එම වැව් කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ගොවි ජනතාවට සහන සැලසීම තම අරමුණ බවත්  වත්මන් ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල මහතා කියා සිටි.ඒ සම්බන්දයෙන් පරීක්ෂණයක් කිරීමට කාලයක් ගත වන බව පෙන්වා දෙන  දිස්ත්‍රීක් ලේකම්වරයා කියා සිටින්නේ,පරීක්ෂණ සිදුකර කාලය වැය කිරීමට වඩා මෙම වැව් ටික වෙනත් ව්‍යාපෘතියක මුදල් යොදවා හෝ කඩිනමින් ප්‍රතිසංස්කරණය කල යුතු බවයි.

රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල මහතා

“අපි මේ වනවිට සිරිසරේ තිබුණු වැව් දහයක් වාරි සෞභාග්‍යා වැඩ සටහනට ඇතුළත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ජනතාව ඉල්ලා සිටියොත්,අපි ඒ සම්බන්ධයෙන් අදාළ ආයතන දැනුවත් කර ක්‍රියාමාර්ග ගන්නා බව ද කියන්න ඕනේ..“

සිරිසර ව්‍යාපෘතියේ අසාර්ථකභාවය සහ ඒ තුළින් සිදුව ඇති බවට පෙනී යන බරපතල මූල්‍ය වංචාව සම්බන්ධයෙන් එම ව්‍යාපෘතියේ ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතාගෙන් කළවිමසීමේදී ඔහු කියා සිටියේ, පටු දේශපාලන හා මතවාදී  අරමුණු ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාපෘතිය අඩාල කිරීමට කටයුතු කළේ, නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ පසුව  ජනාධිපති ලේකම්  ලෙස ද  කටයුතු කළ ඔස්ටින් ප්‍රනාන්දු මහතා බවයි.

ඔස්ටින් ප්‍රනාන්දු මහතා

තමා විසින් වසර විස්සකට වැඩි කාලයක් මුළුල්ලේ ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ වැව් පද්ධතිය සම්බන්දයෙන් සිදුකළ පර්යේෂණයක් මගින් සැකසු මෙම පස් අවුරුදු වැඩ පිලිවෙලට  2017 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය හිමිවු බවත් ඒ සදහා ජනාධිපතිවරයා  රුපියල් බිලියන පහක මුදලක් වෙන් කල බවත් ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා කියා සිටි.

ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා

මේ සදහා එවකට ජනාධිපති ලේකම් ලෙස කටයුතු කල පී.බී.අබේකෝන් මහතා සහ හිටපු යුධ හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහතාත්,ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කල කරුණාසේන කොඩිතුවක්කු මහතාද විශාල දායකත්වයක් ලබා දුන් නමුදු,එවකට නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කල ඔස්ටින් ප්‍රනාන්දු මහතා මෙම ව්‍යාපෘතියට අකුල් හෙලු බවයි.එහෙත්,එවකට ජනාධිපති ලේකම් ලෙස කටයුතු කල පී.බී.අබේකෝන් මහතාගේ මැදිහත්වීමෙන් එය වැලකී තිබු නමුදු, 2018 වසරේදී ජනාධිපති ලේකම්වරයාගේ හදිසි ඉල්ලා අස්වීම හා ආරක්ෂක ලේකම්වරයාගේ හා යුධ හමුදාපතිවරයාගේ වෙනස්වීම මෙම ව්‍යාපෘතිය අඩාල කිරීමට  බලපෑ බව කියා සිටි.

අනතුරුව ජනාධිපති ලේකම්වරයා ලෙස පත්වු ඔස්ටින් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අඩාල කොට එම මුදල් උතුරට ලබාදීමට රහසිගත වැඩ සටහනක් දියත් කළ බවත්,එතකින් නොනැවතී සිරිසර පිවිසුම හරහා ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ වැව් ප්‍රතිසංස්කරණය සදහා ඉතිහාසයේ ලැබුණු විශාගතම මුදල වු  රුපියල් බිලියන පහක් ගෙන ආ තමාට එරෙහිව බරපතල මූල්‍ය වංචා චෝදනා ඉදිරිපත් කරමින් මෙම ව්‍යාපෘතියෙන් තමා ඉවත් කර,ඒ සදහා ජනාධිපති ලේකම් කාර්‍යාලයේ ඔහුට හිතවත් රවින්ද්‍රනාත් නැමැති අයෙකු 2018 වසරේ මැද භාගයේදී   පත් කර එවීමට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා කටයුතු කල බව  ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා අවධාරණය කර සිටි.

අනතුරුව ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතාගේ විශේෂ අධ්‍යක්ෂ තනතුර සදහා ත්‍රීකුණාමලය සේරුවිල ශ්‍රී.ල.නි.ප.ආසන සංවිධායක ජයන්ත විජේසේකර මහතාව පත්කර ඇත.

සිරිසර පිවිසුම වැව් ව්‍යාපෘතියේ අසාර්ථකත්වය සම්බන්දයෙන් එහි ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කල ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වු ඔස්ටින් ප්‍රනාන්දු මහතාට එල්ල කරන චෝදනාව සම්බන්දයෙන් ඒ මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

“ඔය සිරිසර පිවිසුම වැව් ව්‍යාපෘතිය සම්බන්දයෙන් විවිධ වංචා දූෂණ හා අවධිමත් ලෙස කටයුතු කිරීම් වාර්තා වූ නිසා මට සිද්ධවුණා ඒක නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සදහා ඒ සදහා සුදුසු නිළධාරියෙකු පත් කිරීමට.ඒ අනුව මම ජනාධිපති ලේකම් කාර්‍යාලයේ අතිරේක ලේකම්වරයෙකු ඒ සදහා පත් කරනු ලැබුවා.මේ ව්‍යාපෘතියට එරෙහිව පරිසර වාර්තා පැහැර හැරීම්,අවසරයකින් තොරව ගල්කෝරි පවත්වා ගෙන යෑම් වගේම වංචා දූෂණත් වාර්තා වූ නිසයි මම එවැනි තීරණයක් ගනු ලැබුවේ.ඒ මුදල් මම උතුරට යැව්වා හෝ යවන්න උත්සහ කරා කියන එක අමූලික බොරුවක්.මොකද මේ මුදල් වියදම් කල හැක්කේ,ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කය තුල පමණයි.ඒ උතුරට යවන්න හැදුවා කියන එක ප්‍රීයන්ත ප්‍රේමකුමාර මහතා මෙම ප්‍රහ්ණය වෙනත් මානයකට යොමු කිරීමේ උවමනාවෙන් සිදු කරන්නක් බව පැහැදිලිවම කිව යුතුයි..“ යනුවෙන් කියා සිටියේය.

 මෙම සිරිසර ව්‍යාපෘතිය හරහා වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ වත්මන් තත්වය කවරේද යන්න දැන ගැනීමට  යුධ හමුදා ඉදි කිරීම් ඒකකයේ බ්‍රිගේඩියර් ඊ.එන්.රාමණායක මහතා සම්බන්ධ  කරගැනීමට කිහිප අවස්ථාවකදීම උත්සහ කළද එය අසාර්ථක විය. අනතුරුව දැඩි උත්සහයකින් පසු එහි තවත් ආරම්බක නිලධාරියෙකු වු කර්නල් බෝපෙආරච්චි මහතා සම්බන්ද කරගැනීමට හැකිවුවද කර්නල් බෝපෙආරච්චි මහතා   කියා සිටියේ තමා මේ වන විට එම ව්‍යාපෘතියෙන් වෙනත් ව්‍යාපෘතියකට මාරු කර ඇති බැවින් ඒ සම්බන්දයෙන් අදහස් දැක්විය නොහැකි බවයි.

යුධ හමුදාව කෙරෙහි අප තුළ ඇත්තේ,ගෞරව සම්ප්‍රයුක්ත භක්තියාදරයකි.තිස් පස් වසරක යුද්ධය නිමා කිරීමට ජීවිත මෙන්ම අත් පාද අහිමි කර ගනිමින් ඔවුන් දැක්වු  කැප කිරීම අති මහත්ය. එවන් මුර දේවාතාවුන්ගේ අභිමානය සහ ඔවුන් පිළිබදව ඇති විශ්වාසය  අප අතරින් හීනවී යාමට කවර හෝ පාර්ශවයක් කටයුතු කරන්නේ නම් එය අභාග්‍යකි.

ත්‍රීවිධ හමුදාවේ ශ්‍රම බලකාය රටේ උන්නතිය විවිධ අවස්ථාවලදී  යොදා ගත්තද,වැව් හා වාරි කර්මාන්තය වැනි වැනි රටේ තීරණාත්මක සංවර්ධන ව්‍යාපෘති වලදී අදාළ ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනද නොසලකා හැර හමුදාවට අධිකාරමය බලයක් ලබාදී දේශපාලන ව්‍යාපෘති ක්‍රීයාත්මක කිරීමට උත්සාහ කිරීම එතරම් උචිත නොවන්නක් බවත්,ඒ තුලින් රටේ මුර දේවාතාවුන් සේ සලකන යුධ හමුදාවට එරෙහිව නැගෙන අවලාද සුළුපට නොවන බවත්  බළධාරීන් අවබෝධ කර ගත යුතුව ඇත.

වෙනත් වැවකින් ගෙනා රොන් මඩ බැම්මට යොදා අවධිමත් ලෙස ප්‍රතිසංස්කරණය කල තඹලගමුව ඉදි වැව හා වැස්සට හානි වු වැව් බැම්ම

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -