32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

කාලය අවසන් වනතුරු කෝටි තිහකින් විදේශ සංචාර, වැඩමුළු , නිලධාරීන් පුහුණුව හා කාර්යාල නඩත්තුව

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

අනුරාධපුර නගර සංවර්ධනයට ලබාදුන් ප්‍රංශ ණය  යහපාලන වසර පහේ  දී විනාශ වූ හැටි

දාගැබ් දිස්වවූ වැව්තල දසුන් වසාගෙන   අවන්හල් ගොඩනැගිලි අහසට එසවෙමින් 58 වසරේ තැනූ අනුරාධපුර මහනගර සැලැස්ම හා පූජානගර සැලැස්ම විකෘති වෙමින් පවතී.  සංචාරකයින්ට අනුරාධපුර ඉපැරණි ශ්‍රී විභූතිය පෙන්වා ධනය ඉපයීමට බලධාරීන් දරන වෑයමේ ප්‍රතිවිපාකය ලෙස රට ණය බරින් හෙම්බත්කරවන දැවැන්ත මුදල් නාස්තියකුත් පරිසර විනාශයකුත් ජනජීවිතයේ භයානක වෙනසකුත් කරලියට පැමිණ ඇතැයි අනුරාධපුර නගර වැසියෝ කියති. ඒ අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ගැන ය.

නාගරික සංවර්ධන , ජලසම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යංශය යටතේ 2016-02-01 දින සිට ආරම්භකර ක්‍රියාත්මකකළ උපාය මාර්ගික නගර සංවර්ධන සැලැස්ම යටතේ  වූ එම වැඩසටහන  2020 වසර අවසන් වන විට   රුපියල් කෝටි 28ක් වැයකර තිබුණේ එකදු ගඩොලක් වත් බැඳීමෙන් තොර බවට උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා කළ ප්‍රකාශයකින් මහත් ආන්දෝලනයක් හටගත්තේ ය.

මෙම සංවර්ධන යෝජනාක්‍රමය සඳහා මුදල් වැය කෙරෙන්නේ ප්‍රංශ රජයෙන් ලබාගත් ණය මුදලකිනි . එම ණය මුදල ඇමරිකන් ඩොලර් මිලියන 57.5කි. එනම් රුපියල් මිලියන 8625කි. ඊට අමතරව ශ්‍රී ලංකා රජයේ මුදලින් ඇමරිකන් ඩොලර් මිලියන 10ක් හෙවත් රුපියල් මිලියන 1500ක් වැය කෙරේ. ඇමරිකන් ඩොලර් මිලියන 67.5ක් වූ මෙම සමස්ත ආයෝජනයෙන් 2020.06.19 දින වන විට වැයකර ඇති මුදල රුපියල් කෝටි 28 ඉක්මවී ය. ඒ සම්බන්ධයෙන් ගතවු වසර පහ  පුරාම විමසිල්ලේන් සිටි අනුරාධපුර වාණිජ කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාට පැමිණිලි කරමින් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිටියේ ය. ආණ්ඩුකාරවරයාගේ යම් යම් මැදිහත්වීම් හරහා ව්‍යාපෘතිය නැවත  කඩිනම් කරන ලෙස කළ බලපෑම් ද නිසා මේ වන විට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.

මෙම ව්‍යාපෘතියෙන් සිදු කිරීමට අපේක්ෂිත ප්‍රධාන සංවර්ධන යෝජනාවන් වන්නේ  සංචාරක ප්‍රවර්ධනය,ජලසම්පත හා කසල කලමනාකරණය, ප්‍රවාහනය හා ප්‍රවේශ මාර්ග සංවර්ධනය සහ ආයතන ධාරිතා සංවර්ධනය යන ක්‍රියාකරකම් ය.

යෝජිත උප ව්‍යාපෘතින්

ඒවා ව්‍යාපෘතීන් ලෙස සිංහකණුව වටරවුම ප්‍රතිසංවර්ධනය කිරීම, මධ්‍යම දුම්රිය ස්ථානය ඉදිරිපිට පොදු මහජන චතුරශ්‍රය ඉදිකිරීම,  ශ්‍රී මහාබෝධිය නැගෙන හිර රථගාල ඉදිකිරීම සහ මල්කඩ පිහිටි ප්‍රදේශය භූ දර්ශනය කිරීම, පූජා ප්‍රදේශ තුළ අර්ථ නිරූපණ පුවරු ස්ථාපනය කිරීම, උතුරු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (පැරණි බස්නැවතුම්පොල  හා මධ්‍යම දුම්රිය ස්ථානය එක්බද්ධකර) ඉදිකිරීම, දක්ෂිණ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (පැරණි බස්නැවතුම්පල හා නවදුම්රිය ස්ථානය ඒකාබද්ධකර) ඉදිකිරීම, රියැදුරු විවේක ස්ථානය ඉදිකිරීම, බණ්ඩාරනායක කෞතුකාගාර භූමියේ අමුත්තන්ගේ මධ්‍යස්ථානය ඉදිකිරීම, පොල හා ඒකාබද්ධ රථගාල සංවර්ධනය කිරීම, පොල මාර්ගය, කූම්බිච්චන්කුලම  අවට භූදර්ශනය කිරීම, ධර්මපාල මාවත දෙපස භූදර්ශනය කිරීම, ඩී.එස්.වටරවුම භූදර්ශනය කිරීම, පූජා භූමිය තුළ රථගාල් සංවර්ධනය , (ශ්‍රී මහා බෝධි දක්ෂිණ ප්‍රවේශය, මිරිසවැටිය, රුවන්වැලි සෑය, අක්කර 8, ජේතවනාරාමය සහ ලංකාරාමය), වැසිජල කලමනාකාරණය සඳහා ඇළ මාර්ග සංවර්ධනය කිරීම, සුරපුර රඟහල ප්‍රතිසංවර්ධනය කිරීම, රජරට ගුවන්විදුලි සේවයේ විවෘත රඟහල සංවර්ධනය කිරීම, නව නගරයෙහි හා පූජා නගරයෙහි මාර්ග දිශාව දැක්වෙන පුවරු ස්ථාපිත කිරීම, අනුරාධපුර මහා නගර සභාවේ කසල එකතු කිරීමේ වැඩසටහන සඳහා අවශ්‍ය රථ ලබාදීම, මහා නගර සභාව අසල සනීපාරක්ෂණ පහසුකම් මධ්‍යස්ථානය ඉදිකිරීම, රන්මසු උයන ප්‍රතිනිර්මාණය කිරීම, ඇතුළුනුවර උරුමයන් සංරක්ෂණය කිරීම සඳහා  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහාය විම, නාගරික සංවර්ධන අධිකාරියේ ධාරිතාවය සංවර්ධනය කිරීම සඳහා තාක්ෂනිණික සහාය ලබාදීම, උප ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන ආයතනයන්හි ධාරිතා වර්ධනයකිරීම, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ උදේශන සේවාව, ඉදිකිරීම් අධීක්ෂණ උපදේශන සේවාව සහ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සන්නිවේදන සැලැස්ම මූලික ව්‍යාපෘති වාර්තාවේ දැක්වේ.

කාලය අවසන්- එතෙක් වැඩ නෑ

පසුගිය නොවැම්බර් 27වැනිදා පැවැති  අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී    පළාත් අණ්ඩුකාර වරයා එල්ලකළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් අනුරාධපුර නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ එච්. ඩබ්ලිව්. සෝමරත්න පිළිතුරු දුන්නේ ය. නාගරික සංවර්ධන හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශයෙන් , නාගරික  සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය භාරගෙන එදිනට මාස දෙකක් බවත් අදාල ව්‍යාපෘතියට ලබාගෙන ඇති කාලය ලබන 2021 අප්‍රේල් මාසයෙන් අවසන් වන බැවින් කාලය දික්කර ගත යුතු බවත්  අධ්‍යක්ෂවරයා කීවේ ය.

ව්‍යාපෘති බලධාරීන් මෙම ව්‍යාපෘතියේ කාලය දික්කරගැනීම සම්බන්ධයෙන් මේ වන විට ප්‍රංශ තානාපති කාර්යාල නිලධාරීන් සමඟ සාකච්ඡාකරගෙන යන බව ඉකුත් 17වැනිදා කළ විමසීමේදී  ඔහු කීවේ ය. මේ වන විට ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරිමට ද අදාල අමාත්‍යංශය පියවර  ගෙනතිබේ.

එහෙත්  ව්‍යාපෘතිය ප්‍රමාදවීම තුළ රටට  සිදුවන ප්‍රධාන අයහපත නම් රටේ සංවර්ධනය මන්දගාමී වීම හා  නිකරුණේ මුදල් නාස්තිය බව ආණ්ඩුකාරවරයා පෙන්වා දෙයි. ආණ්ඩුකාරවරයාට මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අනුරාධපුර උතුරුමැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී.බි.දිසානායක මහතා පවසන්නේ ප්‍රමාදය තුළ නිලධාරීන් අධික ලෙස මූල්‍ය දූෂණයක් සිදුකරන බවයි. අනෙක් අතට දිගින් දිගටම පුහුණු  සැසි , දැනුවත් කිරීම්, උපදේශන, වැඩමුළු විදේශ සංචාර ආදිය පැවැත්වුවත් මෙම ව්‍යාපෘතින් නගරවාසීන්ගේ ඉල්ලීම් කිසිවක් සිදු නොවන බවයි.

ප්‍රධාන පාර්ශවකරුවාගෙත් ඇස වහලා

අනුරාධපුර   වාණිජ මණ්ඩලය මෙහි කමිටු රැස්වීම් නියෝජනය කර ඇත්තේ ප්‍රධාන පාර්ශවකරුවෙක් හැටියට බව මෙතෙක් පැවැති  කමිටු වාර්තාවල දැක්වේ. එහෙත් බණ්ඩාරණායක උද්‍යාන භූමිය යනු අසාර්ථක වූ ව්‍යාපෘතියක් ඉදිකළ නිරන්තරයෙන් ජලයෙන් යටවන ස්ථානයක් බැවින් මේ තරම් විදේශ ණය ප්‍රමාණයක් යොදවා එහි ගංවතුරට යටවන්නට ඉදිකිරීම් නොකරන ලෙස වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පලාත් සභා වේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ බලධාරීන්ට අඛණ්ඩව දැනුම් දෙමින් විරෝධය දක්වා තිබේ. ඒ බව ව්‍යාපෘතියේ ලිපිගොනුවල දැක්වේ. එමෙන්ම මෙම ව්‍යෘතිය නගරවාසීන්ගේන් හෝ පළාතේ පුරවැසියන්ගේ දැනුවත් භාවකින් තොරව හිතුවක්කාරව සිදුවන්නක් බව ද වාණිජ මණ්ඩලය අවස්ථා ගණනාවක දීම දක්වා ඇත. ව්‍යාපෘතියේ ප්‍රමාදය තුළ මුදල් ආපසුයාම, ඉදිකිරීම් ප්‍රමිතිය බාලවීම හා නිලධාරින් ටෙන්ඩර් මගඩිවලට පාර කපාගැනීම යන අයථා ක්‍රියාවන් සිදුවිය හැකි බවට වාණිජ මණ්ඩලය මුල සිටම අනාවැකි කියා තිබෙන බවට එම ලිපිගොනු සාක්ෂි දරයි.

එහෙත් වාණිජ මණ්ඩලයේ විරෝධයට තර්ක ඉදිරිපත් කිරීමක් මිස සාධනීය වෙනසක් කිරීමට ව්‍යාපෘතිය පියවර ගෙන නොමැති බව හුවමාරුවූ ලිපි වලින් පෙනේ. 2020 සිදු වූ ආණ්ඩු මාරුවත් සමඟ ඇතිවූ තත්ත්වය මත ඒ වන විට පත්වූමෙම  ආණ්ඩුකාර වරයා ඔහුගේ දෘෂ්ඨියේ හැටියට ව්‍යාපෘතිය ප්‍රමාද විම ගැන පළාතේ දේශපාලන නායකයින්ටත් නිලධාරීන්ටත් දොස් නැගුවේ ය. ආණ්ඩුකාරවරයා මෙම දෝස්නැගීම   කළේ සත්භාවයෙන්ද නැතහොත් ද්වේශයෙන්ද යන්න අප වැඩි විමසිල්ලට ලක්කළ කරුණ ය.

පුහුණුවට රට ගිය නිලධාරීන් ආගිය අතක් නෑ

එහෙත් අවාසනාවට තවත් කරුණක් නම් මෙම ව්‍යාපෘතියට වගකිව යුතු නිලධාරීන් කිසිවෙක් මේ වන විට නොවීම ය.  නාගරික සංවර්ධන අධිකාරියේ උතුරුමැද පළාත් අධ්‍යක්ෂවරුන් ද මාරුවීගොස් ය. ඒකාබද්ධ නගර සංවර්ධන ව්‍යාපෘතියේ මේ සිටින්නේ තුන් වන අධ්‍යක්ෂ වරයායි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද්දැකීම් හා දනුම ලබාගෙන ඒමට ප්‍රංශයට ගිය ප්‍රධානම නිලධාරීන් තිදෙනා අනුරාධපුර නාගරික කොමසාරිස්, අනුරාධපුර පුරාවිද්‍යා අධ්‍යක්ෂ සහ නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂ යි. ඒ කිසිවෙක් දැන් අදාළ තනතුරුවල නොවේ. ඔවුන් ස්ථාන මාරුවී ගොසිනි. විදේශ සංචාර වෙනුවෙන් ඔවුන්ට වැය කළ මුදලින් කිසිම ප්‍රයෝජනයක් ලැබී නොමැති බව වර්තමාන නිලධාරීහු කියති.

දැනට ඉතිරිවී තිබෙන කාල රාමුව හා අභියෝග හමුවේ ව්‍යපෘතියේ සෑහෙන උපව්‍යාපෘතින් ප්‍රමාණයක් මඟහැරිය හැකි බව උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම් එච්. එම්.පී. බණ්ඩාර මහතා පවසයි.

එච්. එම්.පී. බණ්ඩාර මහතා

ආරම්භයේ දක්වා තිබූ ඉහත සඳහන් උප ව්‍යාපෘතීන් වෙනුවට තවත් යෝජනා රාශියක්ද අලුතින් භාරගෙන තිබේ. ඉන්කිහිපයක් අටමස්ථානයේ නාහිමිවරුන් විසින් කරන ලද ඉල්ලිම් ය. ඒවා මුල් සැල්සමේ නොමැතිව තිබිය දී මුදල් වියදම්කරන්නේ කෙසේදැයි යන ප්‍රශ්නයට පිළිතුරු නොවේ.

මිලියන එකසිය හතලිස් හතරක් වැයකර සිංහකණුව  කුඩාකරයි

කෙසේ වෙතත් බස්නැවතුම් පොලවල් දෙක සහ අමුත්තන්ගේ මධ්‍යස්ථානය ඉදිකිරීම යන යෝජනා වලට නගර වැසියන්ගේ විරෝධයක් නොවේ. එහෙත් ඒ සියල්ල සම්බන්ධයෙන් වැය කරන මුදල අදහාගත නොහැකි බව ජනතා මතයයි. එක් උදාහරණයක්නම් සිංහ කණුව වටරවුම හා දුම්රිය ස්ථානයේ පොදු මහජන මධ්‍යස්ථානය සඳහා වන යෝජනාවයි. එය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. ඊට වැයකරන මුදල රුපියල් මිලියන 144කි. ඒ සඳහා නාගරික මන්ත්‍රිවරුන්ගේ දැඩි විරෝධක් මතුව ඇත්තේ පැවැති වටරවුමේ විශ්කම්භය වූ මීටර් 11 නව සැලැස්මට අනුව මිටර් 6දක්වා අඩුකිරීමට තීරණයකර තිබීමෙනි. පවතින වටරවුමේ කිසිදු අඩුපාඩුවක් හෝ 58 සැලැස්මේ ප්‍රකාරව අවලස්සනයක් නොමැතිව තිබිය දි මිලියන 144ක් වැයකර එය කුඩාකරන්නේ මැන්දැයි නාගරික මන්ත්‍රි නලීන් සිරිවර්ධන මහතා විමසයි.

නාගරික මන්ත්‍රි නලීන් සිරිවර්ධන

‘‘මේ කරන්නේ නගර වාසීන්ගේ හෝ සභාවේ අවශ්‍යතාවක් නොවෙයි. අනවශ්‍ය විකෘතියක්. මේ වගේ වෙනසක් කරාම නගරයේ ඉඩකඩ අඩුවෙලා අනවශ්‍ය ප්‍රශ්න ගොඩගැනෙවා.අපේ  විරෝධය ගණන් ගන්නේ නෑ. මේ අය ව්‍යාපෘතිය අවසන් කරලා යාවි. අපි මේ නගරය නිවැරදි කරගන්නේ කවදා ද?‘‘ යි ඒ මහතා කී ය.

මේ දක්වා ව්‍යාපෘතියේ වැඩ ඇරඹීම සඳහා ප්‍රමාදය වූයේ තමාට පෙර සිටි අධ්‍යක්ෂ දෙදෙනාගේ   සමයේ බව පෙන්වා දෙන වර්තමාන අධ්‍යක්ෂ සෝමරත්න මහතා ඉඩම් අත්පත්කරගැනීම, ආරක්ෂණ විධිවලට අනුව වැඩකිරීම සහ සැලස්ම්වල ප්‍රමාදය නිසා බව පවසයි. මේ වනවිට ජනතා අදහස් විමසමින් හා ජනතාව දැනුවත් කරමින් පූජා නගරයේ රථගාල් ඉදිකිරීම් ආදිය පිළිබඳ කටයුතු කරමින් යන බව ඔහු කියයි. ව්‍යාපෘතියේ කාලය 2023 වසර දක්වා දීර්ඝකරගත් බවද ඒ මහතා පැවැසුවේ ය. ව්‍යාපෘතිය ප්‍රමාදවීම තුළ රටටත් මුදල් සම්භාරයටත් වූ හානිය සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන්දැයි කළ විමසීමට පිළිතුරු දුන් සෝමරත්න මහතා හිටපු නිලධාරින් සම්බන්ධයෙන් යම් පරීක්ෂණයක් සිදුවිය යුතු බවතමා පිළිගන්නේ නමුත් තමන්ගේ වෑයම වන්නේ කෙසේ හෝ ව්‍යාපෘතිය ඉතිරි කාලය තුළ අවසන් කිරීම බව කියයි.

කොන්ත්‍රාත් කාරයින්ට ණය මුදලෙන් පුහුණුව

2020 ජූනි මාසයේ ප්‍රගති වාර්තාවට අනුව විදේශීය ණය වලින් රුපියල් මිලියන 256.93ක් ද දේශීය ප්‍රතිපාදන වලින් මිලියන9.51ක්ද වැයවි තිබේ. ඔවුන් එය දක්වා ඇත්තේ උපදේශණ සේවා හා කාර්යාල වියදම් ද, මැණුම් වියදම් හා බදුද වශයෙනි. මේ සම්බන්ධයෙන් ගැඹුරින් විග්‍රහ කරන විට පෙනි යන්නේ මෙම මුදල් වැය කර ඇත්තේ නිලධාරින්ට දීමනා, කාර්යාල, වාහන, කොළඹ අමාත්‍යංශය තුළ කෙරෙන වියදම්, වෙනම කාර්යාල කිහිපයක් පවත්වාගෙන යාම ,විදේශ ගමන්, රථවාහන මිලට ගැනීම හා ඒවා නඩත්තුව ආදියට වසර හතරක් තිස්සේ කළ වියදම් ලෙස ය. හැකියාවන්  වර්ධනය, තාක්ෂණික සහාය, ධාරිතා සංවර්ධනය, ඉදිකිරීම් අධීක්ෂණය, දැනුවත් කිරීමේ සන්නිවේදන සැලැස්ම ආදිය ලෙස අර්ථ දන්වාඇති වියදම් තුළම හෙළිවන්නේ නාගරික සංවර්ධන අධිකාරියට අදාළ ව්‍යාපෘතිය සිදුකිරීමට තරම් හැකියාවක් ධාරීතාවක් නැතිව තිබිය දි මෙම මුදල් ලබානෙ තිබෙන බව යැයි නාගරික මන්ත්‍රි ‍ නීතිඥ ප්‍රේමසිරි හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙයි. එයට හේතුව වන්නේ මෙහි ව්‍යාපෘති ශීර්ෂවලම කියන පරිදි නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ පුහුණුව මෙන්ම ඔවුන් විසින් යොදවන කොන්ත්‍රාත්කාර සමාගමේ පිරිසට ද පුහුණුව සඳහා වියදම් කිරීම ය. එසේ වියදම් කළ ද ඔවුන්ට නියමිත කාලයට ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමට පවා නොහැකි වීමෙන් කර ඇත්තේ බරපතල වරදක් බව ඔහු කියාසිටී.

නාගරික මන්ත්‍රි ‍ නීතිඥ ප්‍රේමසිරි හෙට්ටිආරච්චි

 රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්   

 මෙය අගනුවර සිටින නිලධාරින් පිරිසකගේ    අවශ්‍යතාවයට හදාගත් සැලැස්මක් බවපෙන්වාදෙන හෙට්ටිආරච්චි මහතා මෙයින් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් කර ඇති බවද අනාවරණය කරයි.

 ‘‘ 13වන වආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව  සම්මත කරන ලද පළාත් සභා පනතට අනුව සැලසුම් විෂය අයත් වන්නේ පළාත් සභාව බලතල යටතට, මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නාගරික සංවර්ධන අධිකාරියට විරුද්ධව ලබාදුන් නඩු තීන්දුවක් තිබෙනවා. අංකය SCSD/03/2011. නගර සංවර්ධන  හා ග්‍රාම නිර්මාණ පනත අනුව අනුරාධපුරයේ  සිදුකළ සැලැස්මකට විරුද්ධව  වෙරංජන් කුරුකුලසූරිය මහතාටයි මෙම තින්දුව ලබාදි ඇත්තේ .

‘‘ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 ව්‍යවස්ථාව සමග තිබිය යුතු 123 ව්‍යවස්ථාව ප්‍රකාරව, පනත් කෙටුම්පත පළාත් සභා ලැයිස්තුවේ දක්වා ඇති කරුණකට සම්බන්ද බැවින් අතිගරු ජනාධිපතිතුමා විසින් 154(උ) (3) ව්‍යවස්ථාවෙන් දක්වා ඇති පරිදි  සෑම පළාත් සභාවකටම යොමු නොකළහොත් එය නීතියක් බවට පත් නොවන බව  අධිකරණය තීරණ කර ඇත. තවද පනත් කෙටුම්පත  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (උ) (3) ව්‍යවස්ථාවේ විධවිධාන වලට අනුකූල නොවන පරිදි  පාර්ලිමේන්තු න්‍යායපත්‍රයේ  ඇතුළත්කොට ඇති  බැවින් අධිකරණය මේ අවස්ථාවේ දී  කලින් ඉදිරිපත් කර ඇති  සෙසු නෛතික තර්කයන් පිළිබඳව තීරණයක් නොදෙන බව දන්වා ඇත.‘‘කියලා තීන්දුවේ  සඳහන්.

සමගාමී විෂයක් ලෙස  සලකා පළාතක   කිසියම් සංවර්ධනයකට සැලැස්මක් හදන්නේ නම් 87/42 දරණ පලාත් සභා පනතේ 22 වන වගන්තියට අනුව ආණ්ඩුව  විසින් පළාතක සංවර්ධන යෝජනාක්‍රමයක් සඳහා ලබාදෙන විදේශ ආධාර ආණ්ඩුව විසින් පළාත් සභාවට  වෙන්කර දිය යුතුයි කියා ද කියවෙනවා.  

දැනට පළාත් සභාවල  මහජන නියෝජිතයින්  නැති නිසා ගැටුම් නෑ. නිලධාරින්ට නීතිරීතිත් ජනමතයත් දෙකම වැඩක් නෑ. මේක ව්‍යවස්ථා අර්බුධයක් පෙන්වන හරස්කඩක්.

පළාත් සභාව යනු නිලධාරීන් නොවේ

දැනට ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වුවත් පළාත් සභාවන් ක්‍රියාත්මක නෑ. පළාත් සභාවන් යනු ආණ්ඩුකාරවරයා, ප්‍රධාන ලේකම් හෝ විෂය භාර ඇමති නොවේ. ඒ ගැන නිලධාරින්ට ද ඇත්තේ   වැරදි වැටහීමක්.   මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුකාර වරයා හෝ ප්‍රධාන ලේකම් අනුමැති දුන්නානම් ඔවුන්ට     එරෙහිව   අධිකරණයේ නඩු පවරන්න පුළුවන්.‘‘ යි ඔහු කියාසිටියේ ය.

මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ කමිටු රැස්ව ඇත්තේ උතුරුමැද පළාත් සභාවේ  ප්‍රධාන ලේකම්වරයා ප්‍රධානත්වයෙන් බව සෑම වාර්තාවකම ලිපි ශීර්ෂවලින් හා අත්සනින්  පෙනියයි. තමා හා මහ දිසාපතිවරයා ප්‍රධානීන් ලෙස කමිටුවේ අසුන්ගන්වා ගත්ත ද ව්‍යපෘතියේ කටයුතු වලදි තමන්ට කළ හැකි  කිසිම බලපෑමක් නොවන බව ප්‍රධාන ලේකම් එච්.එම්.පි. බණ්ඩාර මහතා පැවැසුවේ ය.

මෙම සැලැසුම් සකස්කරන්නට ඇත්තේ විදේශ  සම්පත් දෙපාර්තමේන්තුව මගින් බව පළාත් සභාවේ නිලධාරීහු පවසති. ප්‍රංශයෙන් වෙනත් රටවල් වලට සංවර්ධන ණය ලබාදෙන බවට හදිසියේ ලැබුණු ආරංචියකට අනුව මෙවැනි සැලසුමක් සකස්කර ණය ඉල්ලන්නට ඇති බව එම නිලධාරීන්ගේ අදහසයි. මහ බැංකුවේ නිලධාරීන්ගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී උතුරුමැද පළාතේ එවැනි විදේශ ණය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බවක් තමන්  නොදන්නා බව ඔවුහු කියති.

තවත් සැඟවුණු ව්‍යාපෘති 17ක්

කෙසේ වෙතත් මෙවැනිම තවත් විදේශ ණය ව්‍යාපෘතින් 17ක් උතුරුමැද පළාතේ ක්‍රියාත්මක බව මෙම කරුණු සෙවීමේ දී හෙළිවිය.   

ප්‍රංශ ණය ව්‍යාපෘතිය විදේශ ණය ඉල්ලන්නන් වාලේ ඉල්ලාගෙන නිලධාරීන්ගේ සුඛ විහරණයට තනාගත් ධනඋල්පතක් බව මෙම විමසීම් වලින් පෙනේ.එහෙයින් උතුරුමැද පළාතේ නිලධාරින්ද නිශ්ශබ්දව සිටි, එවක  ජන නායකයින් ද සොයා නොබැලූ මේ මෙම ව්‍යාපෘති 18ම පිළිබඳව  ඉහළ විමර්ශනයක්  සිදු කළ යුතුව   තිබේ.

සරත් මනුල වික්‍රම

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -