32 C
Colombo
Wednesday, October 27, 2021
- Advertisement -spot_img

සුරකිමු ගංගා ව්‍යාපෘතිය සැබෑ පරිසර ව්‍යාපෘතියක් වේද?

Must Read

 ප්‍රචාරණයට ලක්ෂ 41ක්

සුරකිමු ගංගාව්‍යාපෘතියේ  සමස්ත එක්දින උත්සව වියදම රුපියල් ලක්ෂ 47ක්

 ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට ලක්ෂ 35ට අධික මුදලක්

උත්සව පැවැත්වූවාට වැඩ පටන්ගන්න සුලසුම් හදල නෑ

   අද වනවිට  සමාජයේ විවිධ පාර්ශ්වයන්ගේ දැඩි අවධානයට ලක්වී ඇති කාරණයක් ලෙස පරිසර විනාශය පෙන්වා දිය හැකි ය.  සැබවින්ම මේ නිසා ආණ්ඩුවේ දේශපාලඥයින්, සිවිල් සංවිධාන මෙන්ම ස්වාධින පුරවැසියන් අතර ද විවිධ මත ගැටුම් ඇතිවෙමින් තිබේ. නමුත් මේ සෑම කාරණයක්ම හුදෙක්  දේශපාලනික කාරණාවක් බවට ඒත්තු ගන්වමින් දේශපානඥයින් ජනතාව මුලාකිරිම සිදුකරන්නේ තවත් අවිධිමත් ව්‍යාපෘති විධිමත් ලෙස ජනතාවට පෙන්වා දෙමිනි. මේ ආකාරයෙන් ජනතාව මුලාකිරීමට දේශපානඥයින් යොදා ගන්නේ ද ජනතාවගේ බදු මුදලින් ගොඩනැගෙන මහජන මුදල් ය.

  ඒ අයුරින්  ගංගා සංරක්ෂණය තුළින් ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම මෙන්ම පරිසර හා ජෛව සම්පත් ආරක්ෂා කිරීම මෙන්ම සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යංශයේ සම්බන්ධීකරණය යටතේ මධ්‍යම පරිසර අධිකාරිය  මගින් ක්‍රියාත්මක කෙරෙන ”සුරකිමු ගංගා” ජාතික වැඩසටහන ආරම්භය සඳහා පමණක්  මහජන මුදල් විශාල ලෙස  ගිලගත් ව්‍යාපෘතියක් බව තොරතුරු දැනගැනීමේ පනත මගින් මධ්‍යම පරිසර අධිකාරියෙන්  ලබාගත් තොරතුරු අනුව  සිදුකළ සොයා බැලීමක දී අනාවරණය කරගැනීමට හැකි විය.

 ගංගා පද්ධතීන් අතිශයින්ම පවිත්‍ර කළ යුතු කාරණාවක් සේම එය  කාලයක් තිස්සේ පවතින අතිශයින්ම සොයා බලා කඩනමින් විසඳුම්   සෙවිය යුතු විශාල සමාජ ගැටළුවක් ලෙස ද පෙන්වා දිය හැකි ය. නමුත් එය යථාර්තයක්  බවට පත්කිරීම පසෙක ලා තම දේශපාලනික අරමුණු මුදුන්පමුණුවා ගැනීමට උත්සව හා ප්‍රවර්ධනය වෙනුවෙන්  මහජන මුදල් භාවිත කිරීම බරපතල තත්වයකි.

  ඒ අනුව 2021 මාර්තු මස 22 දින ආරම්භ කෙරුණු ”සුරකිමු ගංගා”ජාතික වැඩසටහනේ සමාරම්භක ප්‍රධාන උත්සවය කතරගම දී පැවැත්වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු තවත් මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් රාශියකගේ සහභාගිත්වයෙනි. එමෙන්ම එම උත්සවයට සමගාමිව තවත්  පළාත් අටක පළාත් උත්සව 08ක් ද පවත්වන ලදී.

  මහා භාණ්ඩාගාරයෙන් පරිසර අමාත්‍යාංශය වෙත ලබාදෙන ප්‍රතිපාදන මගින්  ”සුරකිමු ගංගා”ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ සඳහා මිලියන 200ක් වෙන්කර තිබෙන අතර එහි මූලික අදියරේ කටයුතු වෙනුවෙන් ලබාදී ඇත්තේ රුපියල් මිලියන 11ක මුදලකි.

 මේ ආකාරයෙන් ගංගා පද්ධති සුරක්ෂිත කරලීමේ අරමුණින් මූලික අදියරේ කටයුතු වෙනුවෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 11 (එක් කෝටි දසලක්ෂය ) තුලින් රුපියල් මිලියන අටකට වඩා එනම් රුපියල්  අසු නවලක්‍ෂ තිස්පන්දහස් දෙසිය පනස් හතක (8935257) මුදලක් වෙන්කර තිබෙන්නේ  ”සුරකිමු ගංගා” වැඩ සටහනේ උත්සව කටයුතු සහ ප්‍රචාරක මෙන්ම  ප්‍රවර්ධන කටයුතු වෙනුවෙනි. එය පළමු සමාරම්භක කටයුතු වෙනුවෙන් ලබාදුන් මුදලින්(89%) සියයට අසු නවයකි.

එක් දින  උත්සව සදහා ලක්ෂ 47ක්

මෙහි දී  කතරගම දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති    ”සුරකිමු ගංගා” ජාතික වැඩසටහනේ සමාරම්භක ප්‍රධාන උත්සවය වෙනුවෙන් පමණක් රුපියල් තිස්පන්ලක්ෂ පනස්නමදහස් හයසීයක(3559600) මුදලක් යොදවා ඇති අතර එම මුදල් යොදවා ඇත්තේ උත්සව කළමනාකරණය, නිවේදන කටයුතු මෙන්ම නර්තනාංග හා ආහාරපාන කටයුතු වෙනුවෙනි. එමෙන්ම   ”සුරකිමු ගංගා” ජාතික වැඩසටහනට සමගාමිව අනෙකුත් පළාත් අටක පැවති පළාත් උත්සව හා සමාරම්භක කටයුතු වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය මගින් රුපියල් එක්ලක්ෂ පනස්දහස (150000) බැගින් රුපියල් දොළොස් ලක්ෂයක (1200000) මුදලක් වැයකර තිබේ. ඒ අනුව ”සුරකිමු ගංගා” ව්‍යාපෘතියේ  සමස්ත එක්දින උත්සව වියදම රුපියල් හතලිස් හත්ලක්ෂ පනස් නමදහස් හයසියයකි. (4759600)

මේ ආකාරයෙන් විශාල මුදලක් උත්සව කටයුතු වෙනුවෙන් යොදවා ආරම්භ කෙරුණු  ”සුරකිමු ගංගා” ව්‍යාපෘතියේ මුලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර නොමැතිවීම කණගාටුවට කරුණකි. සිදුකර ඇත්තේ එක් සංදර්ශනයක් පමණක් බව ඒ සම්බන්ධයන් සිදුකළ සොයා බැලීමේදී අනාවරණය වූ දෙයකි.

නිදසුනක් ලෙස දකුණු පළාත් උත්සවය පැවති අම්බලන්තොට වලවේ ගඟ කේන්ද්‍ර කරගත් උත්සවය පෙන්වා දිය හැකි ය. මෙම උත්සවය සඳහා ද පෙර පෙන්වා දුන් ආකාරයට රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ලබාදී ඇති අතර උත්සවයෙන් අනතුරුව ගඟේ පවිත්‍ර කිරීම් දක්නට ලැබුණේ දින දෙකක පමණ කාලයක දී පමණ ය. එය ද වලවේ ගඟේ ස්ථාන කීපයක ජපන් ජබර ඉවත් කිරීම පමණි. ඊට වැඩි යමක් එම මුදලින් කළ නොහැකිකම නිසා එම ක්‍රියාවලිය ද මේ වනවිට නතර කර තිබේ.

  ”සුරකිමු ගංගා” වැඩසටහන යටතේ   ගංගා පවිත්‍ර කිරීම සඳහා නිසි අයුරින් මේ වනවිටත් ව්‍යාපෘති වාර්තා සකස්කර නොමැති බව ද  තොරතුරු දැනගැනීමේ පනත මගින් මධ්‍යම පරිසර අධිකාරියෙන් ලද තොරතුරු අනුව පැහැදිලි වූ කාරණාවක් වේ. ඒ බව අනාවරණය වූයේ ”සුරකිමු ගංගා ”වැඩ සටහන යටතේ අම්බලන්තොට වලවේ ගඟ පවිත්‍ර කිරීම සඳහා ලබා දී ඇති මුදල හා වෙන්කර ඇති මුදල සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී ය. එහි දී ලබා දුන් පිළිතුර වූයේ ”දැනට වලවේ ගඟ පවිත්‍ර කිරීම සදහා ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කර තිබෙන ප්‍රාදේශීය කමිටුව මගින් විධිමත් ව්‍යාපෘති වාර්තාවක් ලැබී නොමැති නිසා මේ වනවිට මුදල් වෙන්කිරීමක් සිදුකර නොමැති බවයි” ඒ මගින් තහවුරු වන්නේ මෙය නිසි සැලසුමක් නොමැතිව ක්‍රියාත්මක කළ කටයුත්තක් බව නොවේ ද?

සුරකිමු ගංගාප්‍රචාරණයට ලක්ෂ 41ක්

රාජ්‍ය උත්සව හා ප්‍රචාරණයන්ට විශාල මුදලක් නාස්ති කිරීම් සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ  දේශපාලඥයින් අතර  දේශපාලනික වශයෙන් ආණ්ඩු මාරු වනවිට දැඩි විවේචන තිබේ. ඒ අයුරින් පසුගිය යහපාලන සමයේ දී නිවාස අමාත්‍යංශය මගින් මෙන්ම සමෘද්ධි සංවර්ධන අධිකාරිය මගින් ප්‍රචාරණ කටයුතු සහ උත්සව සඳහා  සිදුකළ විශාල මුදල් නාස්තිය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් සිදුකළ අනාවරණ හමුවේ එය දැඩිසේ විවේචනයට ලක්වූ අතර එකල විපක්ෂයේ සිටින වර්තමාන රජයේ මැති ඇමතිවරුන් ද එය දැඩි සේ විවේචනය කරන ලදී.

 එවන් පසුබිමක ”සුරකිමු ගංගා” වැඩසටහනේ දැන්වීම් හා ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් මේ වනවිට රුපියල් හතලිස් එක්ලක්ෂ හැත්තෑපන්දහස් හයසිය පනස් හතක (4175657) මුදක් මේ වනවිටත් යොදවා අවසන් ය. මේ ආකාරයෙන් වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට වඩා ප්‍රවර්ධනය හා උත්සව කටයුතු වෙනුවෙන් සිදුකළ මුදල් නාස්තිය හේතුවෙන් ”සුරකිමු ගංගා ” වැඩසටහන වෙනුවෙන් වෙන්කර තිබෙන සම්පුර්ණ මුදල වන  රුපියල් මිලියන 200ක  මුදලින් මේ වනවිටත් සියයට හතරක (4%) මුදලක් ගිලගෙන ඇත්තේ “නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ” යන කියමන පසක් කරමිනි.

  ඉහත පෙන්වා දුන් සියලු වියදම් ඍජු වියදම් වන අතර මෙම උත්සව සඳහා පැමිණෙන දේශපාලඥයින් ,රාජ්‍ය නිලධාරීන් ගේ ප්‍රවාහණ, ආරක්ෂක වියදම්  ඇතුළු පහසුකම් වෙනුවෙන් ද තවත් විශාල මුදලක් වක්‍ර ලෙස වැය වන අතර එය ගණනය නොකෙරුණත්  ඒ වෙනුවෙන් යොදවන කාලයේ වටිනාකම ද අසීමිත ය. ඒ සියලු දේ සඳහා යොදවනු ලබන්නේ මහජන මුදල් බව බොහෝ දෙනෙකුට අමතක වීම බරපතල තත්වයකි.

කෙසේ නමුත් මේ සියලු කාරණා සම්බන්ධයෙන්   මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ මෙවන් අදහසක්

”සුරකිමු ගංගා” වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා සියලු කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ සඳහා මේ වනවිට යෝජනා ලබාගැනීම සිදුකරනවා”

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ

 එමෙන්ම මෙම වැඩසටහන ආරම්භයට පෙර සැලසුම් හා යෝජනා නොගත්තේ ඇයිද යන්න පිළිබදව විමසූ විට සභපතිවරයා කියා සිටියේ ”අපිට ඕනෑකම තිබුණේ මේක ලෝක ජල දිනයට පටන් ගන්න විතරයි. මිලියන 200ක් වෙන් කරගෙන අපි මුලින් මේ ව්‍යාපෘතිය පටන් ගත්තා. මුළු ගඟටම ව්‍යාපෘති වාර්තා හදලා පටන්ගන්න ගියා නම් මේ වසරේ මේක පටන්ගන්න වෙන්නේ නෑ ”

එමෙන්ම උත්සව සම්බන්ධයෙන් කළ වියදම් සමබන්ධයෙන් විමසූ විට  අමරසිංහ මහතා කියා සිටියේ ඒ සඳහා එතරම් මුදලක් යොදවා නොමැති බවයි .” උත්සව පැවැත්වීම රටේ concept එකක් ලෙස හැදිලා තියෙනවා. මෙහි කිසිම වැඩක් නැති වියදමක් දරල නෑ. ඒ වගේම මෙහෙම media campaign එකක් නොකළා නම් රටේ මිනිස්සු දන්නේ නෑ මෙහෙම ගංගා සුද්දකරන්න ඕනේ, කිලිටි කරන්න හොඳ නෑ කියලා ”බවයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ.

”සුරකිමු ගංගා” ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා

” ලබන වසරේ තමයි මේකේ සංවර්ධන කටයුතු කෙරෙන්නේ. මේ වසරේ කෙරන්නේ මේකේ සැලසුම් හදන එක. මේ මිලියන දෙසීය වෙන් කළේ මේකේ පොඩි පොඩි වැඩ කරන්න. මේක ලොකු ව්‍යාපෘතියේ එකක් විතරයි. මේක අවුරුද්දකින් නවතින එකක් නොවේ. මේක 2024, 2025 පමණ වනවිට අවසන් වෙන්න ඕනේ ,මේකේදී ගංගා රක්ෂිත  දෙපස සිටින මිනිසුන් නිකන් අයින් කරන්න වෙන්නේ නෑ, ඔවුන්ට වන්දි ගෙවන්න වෙනවා, නැත්නම් ඉඩම්දීලා ගෙවල් හදල දෙන්න වෙයි, ඒ නිසා මේ ප්‍රායෝගික ප්‍රශ්නත් මග හැරගෙන ඕන මේක කරන්න ”

ගංගා රක්ෂිත සුරැකිය යුතු අයුරු

   විශේෂයෙන්ම ගංගා පද්ධතියක් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගංගා රක්ෂිත සුරක්ෂිත කළ යුතු ය. ගංගා රක්ෂිත සම්බන්ධයෙන් 1930 මෙන්ම 1949 දී පනත් කෙටුම්පත් සකස් විය. එහිදී 1949 දී රජයේ ඉඩම් අඥාපනතේ ජල මාර්ගයන්හි රක්ෂිත වෙන්කිරීම සිදුවිය. ඒ අනුව පතුලේ පළල අඩි 10ට වඩා අඩු නම් ඉවුරේ සිට අඩි 16 ක් පළල් කළ යුතු ය. පතුලේ පළල අඩි 10 සිට 25 දක්වා නම් එම ප්‍රමාණය අඩි 33 දක්වා ද ,25 සිට 50 දක්වා නම් අඩි 66 ක් ද 50 සිට 75 දක්වා නම් අඩි 66 දක්වා ද රක්ෂිත පළල් විය යුතු ය. නමුත් මෙම නීති, පොත්වලට පමණක් සිමා වී තිබේ. ඒ නිසාම අද වන විට ලංකාවේ ජලමාර්ග රක්ෂිතයන්හි විවිධ අනවසර ඉදිකිරීම් වර්ධනය වෙමින් තිබේ. මෙහිදී සිදුවන විවිධ මානව ක්‍රියාවන් නිසා  විශාල වශයෙන් ජලමාර්ග අපවිත්‍ර වීම සිදු වේ.

 මේ තත්වය ඇතිවී ඇත්තේ කාලාන්තරයක් තිස්සේ ඇති වූ ක්‍රියාවලියක් තුළ ය. නමුත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු අංශ ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීම හේතුවෙන් එය සමාජ ප්‍රශ්න, පාරිසරික ප්‍රශ්න දක්වා උත්සන්න වීමෙන් අනතුරුව ඒ සඳහා මිලියන ගණනක ජනතා මුදල් යොදවා දේශපාලනික පිළියම් යොදනු ලැබේ.

  ඒ සඳහා කදිම නිදසුන් සපයන   වලවේ ගඟේ රක්ෂිත ප්‍රදේශය  වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මායිම් ගල්වලට පමණක් සිමා වී තිබිය දී තවත් පිරිසක් තම බලපුළුවන්කාරකම් අනුව බලධාරින්ගේ හා දේශපාලඥයින්ගේ  ආශීර්වාදය ලබාගනිමින් රිසි සේ තම ස්ථිර  ඉදිකිරීම් සිදුකරන්නේ රටේ පවතින නීතිය සැමට සමාන බව බිඳලමිණි. මෙය රටේ බොහොමයක් ගංගා රක්ෂිත තුල දක්නට ඇති පොදු තත්වයකි.

කළ යුත්තේ කුමක්ද?

  විශාල මුදල් කන්දරාවක් යොදාගනිමින් විවිධ ව්‍යාපෘති සකස්කරනු ලැබුවත් එම පද්ධතීන් සුරක්ෂිත කිරීම සඳහා අදාල වගකිවයුතු රාජ්‍ය ආයතන නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා  ගංගා හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතීන් සුරක්ෂිත කිරීම තුළ ගැටළු සහගත තත්වයක් මතුවී තිබේ. ඒ සම්බන්ධයෙන් රජයේ ආයතන සඳහා ඇති බලතල මෙන්ම ක්‍රියාත්මක වියයුතු ආකාරයන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පරිසරවේදියෙකු වන ආචාර්ය නීතිඥ ජගත් ගුණවර්ධන මහතා

ආචාර්ය නීතිඥ ජගත් ගුණවර්ධන මහතා

 ”ලංකාවේ සමහර පරිසර හා වෙනත් පද්ධති තියෙනවා. එක නීතියක් එක ආයතනයක් කියලා නැතිව එක එක ආයතන සඳහා විවිධ වෙනස් වගකීම් පවරලා තියෙනවා. ඒ වගකීම් සමුදායම සාර්ථක වුණොත් තමයි එම පරිසර හෝ වෙනත් පද්ධතින්හට ආරක්ෂාව ලැබෙන්නේ. ගංගාවල් පැත්තෙන් ගත්තත් මේකම තමයි කාරණාව මොකද ගංගාවක් කියන්නේ ඉතා දිග ප්‍රදේශයක් ඔස්සේ ගලා බසින ජල මාර්ගයක්. එතකොට මේකේ තියෙන ජලයේ තියෙන ගුණාත්මක භාවයත් පසත් ආරක්ෂා කර ගැනීමට විවිධ පනත් මගින් විවිධ ආයතනවලට වගකීම් පවරලා තියෙනවා. ඒ නිසා මේ ආයතන සම්බන්ධීකරණය කරලා ඒ දේ ඉෂ්ට කර ගන්න ඕන තත්වයක් තමයි මම දකින්නේ.”

  ”ඉහල කඳුකරයේ ඇති ජල පෝෂක සහ ඒ ජල පෝෂකවලට ආසන්නයේ ඇති භූමිවලින් සිදුවන හානිය වලක්වන්න පාංශු සංරක්ෂණ පනතේ ප්‍රතිපාදන තියෙනවා. ඒ නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු වගකීමක්. එමෙන්ම ජලයේ ගුණාත්මක භාවය ආරක්ෂා කරගැනීමටත් ගඟට කැලිකසල බැහැරවීම වැලැක්වීමට වගකීම ඇති ආයතන තියෙනවා. එයිනුත් ප්‍රධාන ආයතන වන්නේ ඒ ප්‍රදේශවල තියෙන පළාත්පාලන ආයතන. එමෙන්ම මධ්‍යම පරිසර ආධිකාරියට ජල දුෂණය වැලැක්වීම සඳහා ප්‍රතිපාදන තියෙනවා. ඊ ළඟ කාරණය තමයි මේ ගංගාවල් බොහොමයක් වාරිමාර්ග අඥාපනතින් ආරක්ෂා වෙලා තියෙනව, ජල දූෂණය,ජලයට අප ද්‍රව්‍ය  එකතුකිරිම ආදිය සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු කරන්න. ඒ වගේම රජයේ ඉඩම් අඥාපනතේ ප්‍රතිපාදන අනුව   සෑම ගංගාවකම ගඟ පතුල අයිති වන්නේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාට හා දිස්ත්‍රික් ලේකම්වරයාට. ඒ නිසා ගඟක් ආරක්ෂා කරගැනීමේදී ආයතන ගණනාවක් සඳහා වගකීම් පැවරිලා තියෙනවා. මේ අය හැම කෙනෙක්ම එකතුවෙලා තම තමන්ගේ වපසරියට අනුව කටයුතු කරනවා නම් අපිට මේ ගංගාවල් ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබෙනවා.”

DCIM\100MEDIA\DJI_0100.JPG
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් සියයට 27ක් ම(27%) කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය.

කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් පසු  මියගිය 2345 දෙනෙක්  ලබාගත් එන්නත් පිළිබඳව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නෑ  මෙරට කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img