32 C
Colombo
Wednesday, October 27, 2021
- Advertisement -spot_img

රටගිය ඇත්තන්ගේ දුක්බර කතාව පිටුපස ඇති ලොක්කන්ගේ කෙරුවාව

Must Read

නිරෝධායනයට හෝටල්වලට ලක්ෂ ගණන් ගෙවන්න වෙලා

මෙරටට පැමිණි විදෙස් ශ්‍රමිකයින්ගේ නිරෝධායනය සම්බන්ධයෙන් සහනදායී වැඩපිළිවෙළක් තිබී නැහැ

  ශ්‍රී ලංකාවේ කෘෂි අපනයන ආදායමෙන් ලැබෙන මුදල මෙන්ම සංචාරක කර්මාන්තයෙන් ලැබෙන අදායම මෙන් දෙගුණයටත් වඩා ප්‍රමාණයක්  විදෙස්ගත ශ‍්‍රමිකයින්ගෙන් අපේ රටට විදේශ විනිමය ලෙස ලැබේ. ඒ අයුරින් ගත් කල විදේශගත ශී‍්‍ර ලාංකිකයින්ගෙන් අපේ රටට ලැබෙන ආදායම විශාල ප්‍රමාණයකි.

   මහ බැංකු වාර්තාවලට අනුව  2017 වර්ෂය ගතහොත්  විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන්ගෙන් ලැබුණු විදේශ විනිමය ඇමරිකන් ඩොලර් මිලියන 7,164කි. නමුත් 2017 වසරේ සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ආදායම ඇමරිකන් ඩොලර් ඩො.මි. 3,631කි. මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල සේවාවක් සිදුකරනු ලබන විදෙස්ගත ශ‍්‍රමිකයන් සම්බන්ධයෙන් අප රට දක්වන සැලකිල්ල ප්‍රමාණවත් නොවන බව, කොරෝනා වසංගතයත් සමඟ විවිධ අපහසුතාවන්ට ලක්වූ විදෙස්ගත ශ්‍රමිකයින මුහුණදුන් ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමේදී අනාවරණය වූ දෙයකි.

  කෙසේ නමුත් අද වනවිට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට බොහෝ සෙයින් සිදුවන අනතුරු මෙන්ම නොසැලකීම් හේතුවෙන් ඔවුන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ද දැඩි අසීරු තත්වයකට පත් වීමට සිදුව ඇතත් ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය ප්‍රමාණවත් නොවීම කනගාටුදායකය.

  මේ ආකාරයෙන් කොරෝනා වෛරස් වසංගතය ලෝකයේ රටවල් වෙළාගැනීමත් සමඟ විදෙස් ශ්‍රමිකයන් ලෙස සේවයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් රැකියා අහිමි වීම හේතුවෙන් දැඩි අපහසුතාවන්ට ලක්විය. තම මව් රටට පැමිණීම හැර වෙනත් ක්‍රියාමාර්ගයක් ඔවුනට නොතිබූ නමුත් ලෝකයේ බොහොමයක් රටවල් ගුවන් වාර සීමා කිරීම නිසා එයද පහසු කාරණයක් නොවී ය.

  මෙවැනි තත්වයක් තුළ කෙසේ හෝ තම මව් රටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටි ශ්‍රමිකයින්ට රජයේ වියදමින් මව් රටට පැමිණීමට නම්  මාස ගණනක් තම වාරය පැමිණෙන තෙක් සිටීමට සිදු වූ අතර එම අවස්ථාවද හිමි වූයේ සීමිත පිරිසකට පමණි.

 මේ ආකාරයෙන් කොරෝනා වසංගතය පැතිරයාමෙන් අනතුරුව 2020 දෙසැම්බර් මස 30 දක්වා කාලය තුළ දී මැදපෙරදිග රටවලින් පමණක් ශ්‍රමිකයන් 31,102 දෙනෙකු ලංකාවට පැමිණ ඇති අතර ඉන් බොහෝ දෙනෙකුට තම වියදමින් මව් රටට පැමිණීමට සිදුව තිබෙන බව තොරතුරු දැනගැනීමේ පනත මගින් විදේශ සේවා නියුක්ති  කාර්යංශයෙන් ලබාගත් තොරතුරු මගින් අනාවරණය වේ. මීට අමතරව කොරියාව ඇතුළු තවත් බොහෝ රටවල්වල සිටි ශ්‍රමිකයන් එම කාලය තුළ විවිධ හේතු මත ලංකාවට පැමිණ තිබේ.

   ඒ අනුව මැදපෙරදිග රටවල්වලින් පමණක් ඉහත කාලය තුළදී විදේශසේවා නියුක්ති  කාර්යංශයේ වියදමින් ගෙන්වා ගෙන ඇත්තේ ශ්‍රමිකයන් පස් (05) දෙනෙකු පමණක් වන අතර ඒ කුවේට් රාජ්‍යයේ සුරක්ෂ නිවාසයේ රැදී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 05 දෙනෙකි. ඔවුන් ගෙන්වා ගැනීම සඳහා එක් අයෙකුට ගුවන් ටිකට් පත් හා PCR පරීක්ෂණ සඳහා රුපියල් 134,480ක (එක් ලක්ෂ තිස්හතරදහස් හාරසිය අසූවක්) පමණ මුදලක් යොදවා ඇති අතර එහි  සමස්ත වියදම රුපියල් හය ලක්ෂ හැත්තෑ දෙදාස් හාරසියයක් ( 672,400) වේ.

 මිට අමතරව විදේශසේවා නියුක්ති කාර්යංශය මගින් Gulf Insurance යටතේ නැවත අයකරගැනීමේ පදනම මත 13 දෙනෙකු සඳහා ද සහන රක්ෂණය යටතේ නැවත අයකරගැනීමේ පදනම මත 18 දෙනෙකු සදහා PCR පරික්ෂණ හා ගුවන් ටිකට් පත් සඳහා ගෙවීම් සිදු කර තිබේ.

නිරෝධායනය සහන වැඩපිළිවෙළක් තිබී නෑ

 මිට අමතරව කොරෝනා වසංගත තත්වය මෙන්ම විසා කාලය අවසන් වූ ශ්‍රමිකයින්ට පවා ලංකාවට පැමිණෙන විටදී එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් මෙරටදී මුදල්ගෙවා නිරෝධානයනය වීමට කැමැත්ත පළ කරමින් තානාපති කාර්යාලය මගින් දෙන ලද ලිපියකට අත්සන් කළ යුතුව තිබුණු බව සෞදි අරාබියේ වසර දෙකක පමණ කාලයක් ගෘහසේවයේ යෙදී සිට 2021 මාර්තු මස ලංකාවට පැමිණි වසන්තා දිසානායක මහත්මිය පැවසුවාය.

”මට ලංකාවට එන්න බැරිවෙලා හිරවෙලා හිටියේ. ගුවන් ටිකට් පත දෙසැරයක් අලුත්කරන්න වුණා. පස්සේ සල්ලිවලට  නිරෝධායනය වෙන්න කැමතියි කියල අත්සන් කළාට පස්සේ තමයි තානාපති කාර්යාලයෙන් මාව ලංකාවට එව්වේ. ඒ වගේ තවත් ගොඩක් අය හිටියා, මට හෝටලේ නිරෝධායනය වෙන්න රුපියල් එක්ලක්ෂ හතලිස් දාහක් විතර යනව කියල කිවුවා. මගේ ළඟ එතරම් සල්ලි තිබුණේ නෑ.  ඒකත් ගෙවුවේ පවුලේ අය. අපි කොච්චර දුක් විඳලා සල්ලි හම්බ කරලා ආවත් නොමිලයේ නිරෝධායන පහසුකම්වත් අපිට ලැබුණේ නෑ.”

කොරියාවේ වසර  05ක පමණ කාලයක් සේවයේ යෙදී සිටි උදාර පුෂ්ප කුමාර (42) මහතා සිය අත්දැකීම මෙසේ හෙළි කළේය.

උදාර පුෂ්ප කුමාර

 ”අපිට ලංකාවට එන්න ඕන නම් මුලින්ම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වෙන්න වුණා. මම මුලින්ම 2020 අගෝස්තු මාසේ ලියාපදිංචි වුණා. රජයේ නිරෝධායනයට එන්න මම ලියාපදිංචි වෙනකොටත් 9,000ක් විතර ලියාපදිංචි වෙලා හිටියා. මට ලංකාවට එන්න සූදානම් වෙන්න කියලා තානාපති කාර්යාලයෙන් කිව්වේ ඔක්තෝබර් මාසයේ. එහෙම ඉන්නකොට ආපහු තානාපති කාර්යාලයෙන් කිවුවා රජයේ නිරෝධායනයට යන්න බෑ පුද්ගලික නිරෝධායනයට යනව නම් විතරයි යන්න පුළුවන් කියලා. ලොකු ගණනක් යන නිසා අපි ටිකක් බලාගෙන හිටියා. නමුත් ඒක සාර්ථක වුණේ නැති නිසා අතින් සල්ලි ගෙවලා නිරෝධායනය වෙන්න කැමතියි කියලා තානාපති කාර්යාලය දැනුවත් කළාට පස්සේ  2020 දෙසැම්බර් මාසයේ ලංකාවට එන්න  සූදානම් වුණා. එවිට කොරියාවේදී මුලින්ම PCR පරීක්ෂණයක් කළා. ඒකට ලංකාවේ රුපියල්වලින් විසිදාහක් (20,000ක්) විතර ගියා. අපි ආවේ මත්තල ගුවන්තොටුපොළට. අපි ආපු ගුවන්යානයේ 290ක් ආවා. මෙහිදීත් අපෙන් නැවත PCR එකක් කළා. ඒකටත් රුපියල් 7,000ක් විතර ගෙව්වා. පස්සේ නිරෝධායනය වෙන්න එක් අයකුගෙන් රුපියල් එක් ලක්ෂ පන්දාහක (රු.105,000ක්) මුදලක් ලබාගත්තා. එක කාමරේ දෙන්නෙක් හිටියා. ඒ කියන්නෙ එක කාමරයට රුපියල් දෙලක්ෂ දහදාහක (රු.210,000ක) මුදලක් ගෙවන්න වුණා. අපිට කෑම ඇරෙන්න වෙනත් කිසිදු පහසුකමක් ඒ හෝටල්වලින් ලබා දුන්නේ නෑ”

‘‘අපි වැඩි මුදලක් ගෙවල තමයි ශ්‍රී ලංකන් ගුවන්සේවයෙන් ටිකට් එක ගත්තෙත්. මේ වගේ තමයි අපේ රටේ රට විරුවන්ට සලකන්නේ ” උදාර මහතා වැඩිදුරටත් පැවසුවේය.

  මේ අතර කොරෝනා වෛරස් තත්වය හමුවේ ලංකාවට පැමිණි විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් නිරෝධායන කටයුතු සිදුකිරීම වෙනුවෙන්  විදේශසේවා නියුක්ති  කාර්යංශය මගින් යෙදූ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමසූ අවස්ථාවේ ඒ සඳහා පිළිතුරු දෙමින් සඳහන් කර ඇත්තේ 2021.04.12 සිට තරු තුන සහිත හෝටල් 10ක් කුලී පදනම මත ලබාගෙන ඇති බවත් ඉන් පුද්ගලයන් 640 දෙනෙකු හට නිරෝධායන පහසුකම් ලබාදීමට හැකියාව පවතින බවත් ය.

  මේ තුලින් මනාව පෙනී යන්නේ 2021.04.12 දිනට පෙර පැමිණි විදෙස් ශ්‍රමිකයන්ට ලංකාවට පැමිණි විට නොමිලයේ හෝ අඩුම තරමේ සහනදායි ආකාරයකට හෝ නිරෝධායනය වීම සඳහා ක්‍රමවේදයක් විදේශ සේවා නියුක්ති  කාර්යංශය මගින් සකසා නොතිබූ බවයි.

ප්‍රමාණවත් වන්දි මුදලක් නැති මරණ

    මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය  පුද්ගලයන් 70 දෙනෙකුගේ පමණ අවසන් කටයුතු වෙනුවෙන් ලබාදෙන රුපියල් 40,000ක මුදල ලබාගැනීම සඳහා ලිපිගොනු භාර දී ඇති අතර මේ වනවිටත් එම මුදල ගෙවා ඇත්තේ 37 දෙනකු සඳහා පමණි. ඊට අමතරව මෙම මිය ගිය අයගෙන් රක්ෂණ වන්දි මුදල ගෙවීමට ලිපිගොනු භාරදී  ඇත්තේ 40 දෙනෙකු පමණ වන අතර ඒ අතරින් එම රක්ෂණ වන්දි මුදල්  මේ වනවිට ගෙවා ඇත්තේ 11 දෙනෙකුට පමණක් බවත් රක්ෂණ වන්දි මුදල් ඉල්ලුම් කළ නොහැකි පුද්ගලයන් තුන් දෙනෙකු සඳහා සේවක සුභසාධක අරමුදලින් වන්දි ගෙවා තිබෙන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබාගත් තොරතුරු මගින් අනාවරණය වේ.

  එමෙන්ම මේ වනවිට විදේශගතවන ශ්‍රමිකයන් වෙනුවෙන් විදේශසේවා නියුක්ති කාර්යාංශය මගින් රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දී ඇති අතර ඉන් මියගිය අයෙකු වෙනුවෙන් ලැබෙන්නේ  රුපියල් ලක්ෂ හතරක් පහක් පමණ මුදලක් බවත් එය මියගිය අයගේ පවුල් සඳහා ජීවත්වීමට කිසිසේත් සරිලන මුදලක් නොවන බවත්  කුවෙට්හිදී ස්වාමියා මියගිය, ගාල්ලේ පදිංචි ඩබ්ලිව්. නෙල්කා මහත්මිය කියා සිටි.

එමෙන්ම මැදපෙරදිග රටවල සේවය කරන ගෘහ සේවිකාවන් ඇතුළු පිරිස් සම්බන්ධයෙන් කොරෝනා සමයේද දැක්වූයේ අඩු සැලකිල්ලක් බව, “අයිතීන් උදෙසා කාන්තාවෝ” සංවිධානයේ ලේකම්, සමන්මලී ගුණසිංහ මහත්මිය පවසා සිටි.

 ”පසුගිය කොරෝනා කාලයේදී මැදපෙරදිග හිටපු ගෘහ සේවිකාවන් ඇතුළු විදෙස්ගත ශ්‍රමිකයන්ට ලංකාවට එන්න බැරිව තිබුණා. ඒ කාලයේ ආණ්ඩුව අවසර දීල තිබුණේ නෑ තමන්ගේ පුරවැසියන්ට ලංකාවට එන්න. ඒ නිසා ඒ අයට පසුව එන්න හැකියාව ලැබුණේ විදේශ කටයුතු අමාත්‍යංශයේ  ලියාපදිංචි වෙලා පෝලිමේ ඉදලා. ඒ සඳහාත් ඒ අයට සල්ලි ගෙවල නම ඇතුළත් කරන්න තමයි සිද්ධ වුණේ. ඒ වගේම නිරෝධායන ගාස්තු PCR ගාස්තු පවා මේ අයගෙන් අයකරගෙන තිබුණා. ඒ නිසා  ලංකාවට ආපු මේ ශ්‍රමිකයින්ට වතුර බෝතලයේ ඉඳන් ගෙවන්න සිද්ධ වුණා. ඇමතිවරුන්ගේ වාහන ගෙන්වන්න කෝටි ගණන් වියදම් කරන රජය රට විරුවන් සේ නම් කරගෙන ඉන්න, ලංකාවට විදේශ විනිමය ගෙන එන මේ ශ්‍රමිකයන් කෙරෙහි දක්වන්නේ අඩු තක්සේරුවක් ”

  මෙම එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හා ඒ වෙනුවෙන් විදේශසේවා නියුක්ති  කාර්යාංශය ගෙන ඇති පියවරවල් සම්බන්ධයෙන් කරුණු විමසිමේදී අදහස් දැක්වූ විදේශසේවා නියුක්ති  කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය මහතා මෙසේ පැවසුවේය.

 ”අපි මේ වැඩපිළිවෙළ මුලින් පටන් ගත්තේ රජයේ නිරෝධායන මධ්‍යස්ථාන මගින්. පස්සේ ඒ සඳහා හමුදාවේ පුහුණු කඳවුරු මූලික නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගත්තා. ඒ වගේම ලොක්ඩවුන් කාලයේදී පුහුණු මධ්‍යස්ථානත් යොදා ගත්තා ඒ අනුව රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත දල වසයෙන් පිටරට හිටිය ශ්‍රමිකයින් 75,000ක් පමණ ගෙනවිත් තියෙනවා එතකොට සාමාන්‍යයෙන් තිබුණේ ඇඳන්  15,000ක් පමණයි. මේ අය ගියාම ඒවා නැවත සුද්දකරලා ගන්න දින 20ක් වගේ ගත කරන්න වුණා. ඊට පස්සේ තමයි තවත් 15,000ක් අපිට ගෙන එන්න හැකි වුණේ. ඒ වගේම ලංකාවේ හිටපු ආශ්‍රිතයිනටත් නිරෝධායනය වෙන්න සිද්ද වුනා. ඒ අය දැම්මෙත් මේ රජයේ නිරෝධායනය මධ්‍යස්ථානවලට. මේ නිසා හෝටල්වල නිරෝධායනය වෙන්න කැමති අයට ලංකාවට ඉක්මනින් එන්න අවස්ථාව ලබා දුන්නා. ඒක තමයි මෙතන සිද්ද වුණේ. ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් හෝටල් වෙන්කරලා 1,000කට අසන්න පිරිසක් ගෙන්නුවා. මේ වනවිට එතරම් පිරිසක් ලංකාවට පැමිණෙන්නට නොමැති නිසා ඒ වැඩ සටහන තාවකාලිකව නවතා තිබෙනවා. අවශ්‍යතාවක් වුණොත් පමණක් නැවතත් අවශ්‍ය පියවර ගන්නවා ”

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් සියයට 27ක් ම(27%) කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය.

කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් පසු  මියගිය 2345 දෙනෙක්  ලබාගත් එන්නත් පිළිබඳව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නෑ  මෙරට කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img