32 C
Colombo
Wednesday, October 27, 2021
- Advertisement -spot_img

ළමුන් ආරක්‍ෂා කිරීමට ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරිය අසමත් ද ?

Must Read

ශ්‍රී ලාංකික සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කණ්ඩායම  ළමයින්‍ ය.  ළමුන් අපයෝජනයට ලක්වීමට ඇති ප්‍රවනතාවය ඉහලය.  ළමා අපයෝජනය යනු දරුවෙකු වෙත එල්ල වන ශාරීරික හිංසනය පමණක් නොවේ. එය වැඩිහිටියෙකු විසින් කරන ඕනෑම ආකාරයක හිංසනයකි, එය දරුවෙකුට ප්‍රචණ්ඩකාරී හෝ තර්ජනයක් වේ. ළමා අපයෝජනය මානව මතවාදයන්ගේ සදාචාරාත්මක බිඳවැටීමක් ලෙස හඳුනාගත හැකිය. ළමයින් අපයෝජනයෙන් ආරක්‍ෂා කිරීම සඳහා බොහෝ නීති රීති තිබුණද  ළමා අපයෝජන විශාල ලෙස ඉහළ ගොස් තිබේ. මෙය බරපතල මානව ආරක්‍ෂණ ප්‍රශ්නයක් ලෙසට ද හැඳින්විය හැකිය. ළමා අපයෝජනය හුදෙක් අපරාධයක් නොවන අතර එය රටේ සමස්ත ජාතික ආරක්ෂාවට සෘජුවම සම්බන්ධ වන හා බලපාන අපරාධයකි.

ශ්‍රී ලංකාවේ 2020 වසරේදී  ස්ත්‍රී දූෂණ 1,953 ක් ඇතුළුව ළමා අපයෝජන සිද්ධීන් 2,055 ක් වාර්තා වී ඇති අතර එක් වරදකරුවෙකු හෝ නීතිය ඉදිරියට ගෙන ඒමට පොලිසිය අපොහොසත් වී තිබේ. පොලිස් දත්ත වලට අනුව 2019 වසරේදී  ළමයින් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධීන් 26 ක් වාර්තා වී ඇති අතර ඇති අතර, ඉන්  සිද්ධීන් 8 ක වරදකරුවන් දුර්වළ සාක්‍ෂි ගොනු කිරීම් නිසා අධිකරණයෙන් නිදහස් වී ඇත. ඉතිරි සිද්ධීන් 18  ක විමර්ශන තවමත් අවසන් වී නොමැත. තවද, 2019 දී ළමයින්ට හිංසා කිරීමේ නඩු 80 ක් පොලීසියට ඉදිරිපත් කර ඇති අතර, ඉන් 3 ක් පමණක් බැහැර කර ඇති අතර, එක්  සිද්ධියක පමණක් නීතිය මගින් වරදකරුවෙකු වී තිබේ. ළමයින්ට හිංසා කිරීමේ නඩු 50 ක් තවමත් පොලිසිය විසින් විමර්ශනය කරමින් සිටින අතර, ඉන් 27 ක්  නීතිපතිවරයා වෙත යොමු කොට තිබේ. 

ශ්‍රී ලංකාව ළමා අපයෝජන පිළිබඳ අර්බුදයකට මුහුණ දී සිටින බව පැහැදිලිය. සංඛ්‍යා ලේඛනවලට අනුව, වාර්තා වී ඇති අපයෝජනයට ලක්වූ ළමුන් ගේ සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් දක්නට ලැබේ. තවත් බොහෝ  සංඛ්‍යාවක් වාර්තා නොවී පවතියි.  නූගත්භාවය, සිදුවීම් වාර්තා කිරීමට ඇති බිය සහ පැමිණිල්ලක් ගොනු කිරීමේ ක්‍රියා පටිපාටීන් නොදැන සිටීම හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල වාර්තා නොවූ ළමා අපයෝජන විශාල ප්‍රමාණයක් පවතියි. මේ හැර ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල  අපයෝජන හා ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ ළමුන්ට පුනරුත්ථාපන සහ උපකාරක සේවාවන් සඳහා ප්‍රවේශයක් නොමැති බව පෙනී යයි.
 ළමා අපයෝජකයන්ට එරෙහිම ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීම වීම ඉතා දුර්වළ මට්ටමක තිබේ. මේ නිසා බොහෝ ළමා අපයෝජකයෝ නීතියේ රැහැනින් මිදී යති. මෙය ඉතා භයානක ප්‍රවනතාවයකි. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවූ මහා ළමා ලිංගික අපයෝජනය වන බාල වයස්කාර දරුවන් රාශියක් ලිංගිකව අපයෝජනය කරමින් එම ලිංගික අපයෝජන වීඩියෝ ගත කර සීඩී තැටි වලට නඟා යුරෝපයේ, ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ විකෘති කාමාතුරයන්ට අලෙවි කිරීම පිලිබඳව චෝදනා ලබා තිබෙන නිරන්ත එදිරිසිංහ සහ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන හේවා ජයසිංහලාගේ උපුල් කුමාර හෙවත් උපුල් හේවා නම් පුද්ගලයා සම්බන්ධයෙන් බලධාරීන් විසින් අනුගමනය කොට ඇත්තේ ඉතා මන්දගාමී පිළිවෙතකි. ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික වෛද්‍යවරයා පිලිබඳව මෙතෙක් කරන ලද විමර්ශන පවා මේ දක්වා ඕස්ට්‍රේලියානු බලධාරීන් වෙත ලබා දී නොමැත. මේ නිසා ඉදිරි කාලයේදී මෙම අපයෝජකයන් නීතියෙන් බේරී යාම නියතය. 
ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන සිද්ධීන් වැඩිවීම මෙන්ම අපයෝජකයන් නීතියේ සිදුරින් බේරී පළා යාම රටේ ළමා ආරක්‍ෂණ වගකීම දරන ප්‍රධාන අධිකාරිය වන ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරියේ දුර්වළතාවක් බව පෙනී යයි. ළමා අපචාර පැමිණිලි සහ නඩු කිසිදු ප්‍රගතියක් නොමැතිව සිරවී ඇත. අපචාරවලට ගොදුරු වූ වින් දිත ළමුන් වැඩිහිටියන් වන තෙක් බොහෝ නඩු  අවසන් කර නොමැති බව පෙනී යයි. මේ සඳහා ළමා ආරක්‍ෂණ අධිකාරියේ දුර්වළ නායකත්වයද වග කිව යුතුය. ළමා ආරක්‍ෂණ මූලධර්ම තිබියදීත්, ජාතික, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් දුර්වල සම්බන්ධීකරණය හේතුවෙන් ගුණාත්මක හා නිසි ළමා ආරක්‍ෂණ සේවාවක් සැපයීමට ළමා ආරක්‍ෂණ අධිකාරිය අපොහොසත්වී තිබේ.  මෙය එක්තරා ආකාරයකට අපයෝජකයන් දිරිමත් කිරීමකි. ළමුන් ආරක්‍ෂා කිරීමට ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරිය අසමත් වීම නිසා ළමා වින්දිතයින් යුක්තිය පිළිබඳ කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව බිහිසුණු මතකයන්ගෙන් පීඩා විඳිමින් සිටිති. 
 ළමා අපයෝජන අවම කර ගැනීම සඳහා ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරියට බොහෝ වගකීම් තිබේ. ළමුන් ආරක්‍ෂා කර ගැනීම සඳහා ළමා අපයෝජකයින්ගේ උපාය මාර්ග හඳුනා ගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ජාතික, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් පුහුණු කළ යුතුය. ඊට අමතරව, සූරාකෑමේ සිද්ධීන් වාර්තා කිරීම සඳහා වින්දිතයින්ට හිතකර පැමිණිලි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. ළමා ආරක්ෂාව හා සම්බන්ධ අපරාධ යුක්තිය පිළිබඳ වෘත්තිකයින් පුහුණු කළ යුතුය. විශ්වාසවන්ත පුද්ගලයින් හඳුනා ගන්නේ කෙසේද සහ ශාරීරික, ලිංගික හා චිත්තවේගීය හිංසනය, නොසලකා හැරීම, පවුල් හිංසනය සහ හිරිහැර කිරීම පිළිබඳව දරුවන් දැනුවත් කළ යුතුය. ළමා ආරක්ෂණ ගැටළු වලින් පෙළෙන හා පීඩාවට පත්ව සිටින ළමුන් සඳහා රැකවරණය හා පුනරුත්ථාපනය සඳහා ප්‍රවේශ විය හැකි සේවාවන් සමඟ අධ්‍යාපන හා සෞඛ්‍ය යන අංශ වැඩිදියුණු කළ යුතුය. මේ හැර අධිකරණ පද්ධතිය ස්වාධීන විය යුතු අතර දේශපාලන මැදිහත්වීම වැළැක්විය යුතුය.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් සියයට 27ක් ම(27%) කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය.

කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් පසු  මියගිය 2345 දෙනෙක්  ලබාගත් එන්නත් පිළිබඳව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නෑ  මෙරට කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img